ගායන අංකයෙහි භාෂා ශෛලිය, හඬ හැසිරවීම සහ නාදරටාවේ සුවිශේෂ ලක්‌ෂණ :-
ගුවන් විදුලි මාධ්‍ය තුළින් නර්තනය හා බැඳි ගීතයක් රස විඳීමේ දී ද සජීවි අවස්‌ථාවක දී සේම එහි භාෂාව හැසිරවීම පිළිබඳව විචාරාත්මකව බැලීම අවශ්‍යවේ. වැරදි ලෙස වචන උච්චාරණය කිරීම, අරුත විකෘති වන ආකාරයෙන් නුසුදුසු අවස්‌ථා වලදී පදභින්න කිරීම ගායනයක් නිසිලෙස රසවීදීමට බාධා පමුණුවයි. ගායන සුන්දරත්වය හා ලාලිත්වය අතිවන ආකාරයෙන් හඬ හැසිරවීම තවත් වැදගත් කරුණකි. එසේම නිවැරදි නාදරටාව පවත්වා ගන්නේ ද යන්න වඩාත්ම වැදගත් කාර්ය වේ.
උතුම් බුදු රුවනේ
ලොව් තුරු දහම් සරනේ
සමඟ සඟ සරනේ
සදා නමදිමු මෙතුන් සරනේ
මෙය ශාන්තිකර්මයක එන අනාඝාතාත්මක පැදියකි. මෙම ගායනයේ අන්තර්ගතයත් ගායනා කරන අවස්‌ථාවන් අනුව භක්‌තිය මුසුවන කරුණා රසයක් උද්දීපනය වන සේ විලම්හලයෙන් ගායනය කිරීම සාමාන්‍ය සිරිතයි. එය දෘතලයෙන් ගායනය කළ හොත් භාවමය ලක්‌ෂණයට හානියක් සිදුවේ. එය ඉතා මුදු ස්‌වරයෙන් ලයාන්විතව ගායනය කරනු ලබන්නකි.
පහත නිදර්ශනය බලන්න.
කාසි රට ඈතව
දේස ගුරුහට ජාතව
ආඬි මවු කුසිතව
උපන් අභිමාන යකු භුතව
එම කව ද අනාඝාතාත්මක කවියකි. නමුත් එයින් කියැවෙන්නේ ගායනය ඉතා උස් හඬින් මෙන්ම තරමක් දෘතලය ස්‌වභාවයකින් ගායනය කෙරේ. අපි මුලින් සඳහන් කළ "උතුම් බුදු රුවනේ" කවිය ගායනා කරන ලයාන්විත ආකාරයට මෙම කවිය ගායනා කළ හොත් එම කවිය හා බැඳි නර්තන අවස්‌ථාවටත්, ගායනයටත් සිදුවන්නේ හානියකි. මේ අනුව ගායනයක නාදරටාව සහ හඬ හැසිරවීමේ සුවිශේෂ ලක්‌ෂණ පිළිබඳව ඉතාම උවමනාවෙන් සොයා බැලීම කළ යුතුවේ. ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන නර්තනය හා බැඳි ගීතයක මෙම ලක්‌ෂණය කවර ප්‍රමාණයකට රැඳී තිබේද යන්න රස වින්දනයේ දී විමසා බැලිය යුතුවේ.