කලාකෘතියක්‌ ලෙස අගය කිරීම.
  තත්කාලීන මුද්‍රා නාට්‍ය නිර්මාණ අතර " කරදිය මුද්‍රා නාට්‍යය " අග්‍රගණ්‍ය නිර්මාණයක්‌ වූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එසේම පසුකාලීනව නිර්මාණය වූ බොහෝ මුද්‍රා නාට්‍යයන් ආභාෂය ලැබුවේ ද කරදිය මුද්‍රා නාට්‍යය තුළිනි. මෙම නාට්‍යයේ කතා තේමාව, නර්තන නිර්මාණය, සංගීතය, රංග රචනය, ආලෝකකරණය, වෙස්‌ ගැන්වීම සහ පසුතල නිර්මාණ, රංගන දායකත්වය යන සියලු ම අංගයන්හි අන්තර්ගත වූ නිපුණතාවත්, සංගත බව හා සුසංයෝගයත් මගින් කරදිය මුද්‍රා නාට්‍යය උසස්‌ මට්‌ටමේ කලා කෘතියක්‌ වූ බව විචාරකයන්ගේ සහ කලා රසිකයන්ගේ පිළිගැනීම වේ.
 
 කරදිය මුද්‍රා නාට්‍යය හෝ ඉන් කොටසක්‌ ඔබ රූපවාහිනී මාධ්‍ය ඔස්‌සේ දකින්නට ඇත. ඇතැම් විට මෙම නාට්‍යය සජීව ලෙස නැරඹීමට ඔබට අවස්‌ථාවක්‌ ලැබී ඇතුවා විය හැකිය. කවර හෝ හේතුවක්‌ නිසා මෙම නාට්‍ය නැරඹීයට ඔබට අවස්‌ථාවක්‌ ලැබී නොමැති නම් ඔබේ ගුරු මහතා සමඟ සාකච්ඡා කර වීඩියෝ පටයක්‌ මගින් එය නැරඹීමට අවස්‌ථාවක්‌ යොදා ගන්න. කරදිය මුද්‍රා නාට්‍ය නැරඹීමේ දී අප මීට කලින් සාකච්ඡා කළ කරුණු එකින් එක අවධානයට ගනිමින් කලා කෘතියක්‌ වශයෙන් කරදිය මුද්‍රා නාට්‍යයේ අගය පිළිබඳ ස්‌වයං තක්‌සේරුවක යෙදීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. 
 
(c) Shilpa Sayura Foundation 2006-2017