පහතරට නැටුම් සම්ප්‍රාදායට අයත් ප්‍රධාන තූර්ය භාණ්‌ඩය වන්නේ පහතරට බෙරයයි. පහතරට නැටුම් සඳහා යොදාගන්නා බැවින් පහටරට බෙරය නමින් හැදින්වෙන මෙම බෙරයට විවිධ නම් භාවිතා කරයි. දෙවොල් මඩු ශාන්තිකර්මයේ ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩය බැවින් දෙවොල් බෙරය නමින්ද, යක් නැටුම් සඳහා වාදනය කරන බැවින් යක් බෙරය ලෙසද, බෙරයේ හැඩය සිලින්ඩරාකාර බැවින් දික් බෙරය නමින්ද, රුහුණු ප්‍රදේශයේ භාවිතා වන නිසා රුහුණු බෙරය නමින්ද, මහත් ඝෝෂාකාරි හඩකින් යුතු හෙයින් ඝොෂක බෙරය නමින්ද හදුන්වයි. නමුත් මෙම බෙරය වඩත් ප්‍රචලිත වන්නේ පහතරට බෙරය නමිනි.
පහතරට බෙරය තුල අන් බෙර වර්ග වලට වඩා විශේෂ ලක්‍ෂණයක් වේ. ඒ මේ බෙරයෙහි බෙර තට්‌ටුව ( ඇස් ) සදා තිබෙන්නේ හරක් බොකු සමකින් බැවිනි. මෙසේ බොකුසමක් භාවිතා කරන එකම වාද්‍ය භාණ්‌ඩය වන්නේද පහතරට බෙරයයි. බොකු සම් භාවිත කරන්නේ නම් එම සම කල්තබා ගැනිමට හම පදම් කිරීමේ අවශ්‍යතාවක් නොමැත. ඒ අනුව බලන කල මෙම බෙරයට බොහෝ දීර්ඝ ඉතිහාසයක් ඇතෙයි අපට අනුමාන කල හැකිය. මන්ද යත් සම් කල්තබා ගැනීමේ ක්‍රමවේද භාවිතා වූයේ ක්‍රමයෙන් මිනිස් සමාජය දියුණු වීමෙන් අනතුරුවය. නමුත් බොකුසම් භාවිතයට එවැනි ක්‍රම වේදයක් අනවශ්‍ය බැවින් අපට මෙසේ නිගමනයකට එලබීමේ හැකියාව ඇත.
පහතරට බෙරය සෑදීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යන් දෙකකි. ලී කොට සහ, හරක් බොකුසම් මේ අමුද්‍රව්‍ය දෙකයි. කිතුල් කොට හො පොල්කොට බහුල වශයෙන් භාවිතා කරයි. මෙම කොට වල හැඩය ස්‌වාභාවිකවම සිලින්ඩරාකාර හැඩයක් ගැනීමත්, එහි ඇතුලත කුහරය ඉතා පහසුවෙන් හාරා සකස් කලහැකි වීම මීට හේතූ වී ඇත.
බෙරයේ හැක්‌ම හා වරපට හා වෙනිවැර ගෙතීම සඳහාත් හරක් හම් භාවිතා කෙරේ. බෙරේ ඇසට හරක් බොකුසම් භාවිතා කරන අතර මෙම සම බෙර සිවිය යන්නෙන් හඳුන්වනු ලැබේ. බෙර ඇස වියතක විශ්කම්බයක් ගනු ලබයි. බෙරයේ දිග වියත් තුනකුත් අඟල් තුනක් වේ. මනා ලෙස කපා සකස් කරගත් කැපුම් හමේ කුඩා සිදුරු විද ඒ සිදුරු අතරින් වෙනිවැර යොදා හැක්‌ම සකස් කරනු ලැබේ. බෙර ඇස මත බෙර සිවිය එලීමෙන් අනතුව හැක්‌ම යොදා වරපට මගින් තද කරනු ලැබේ.
බෙරයේ වම් ඇස හයිතට්‌ටුව සහ දකුණු ඇස සුරල් තට්‌ටුව ලෙස හදුන්වයි. බැලු බැල්මට එක සමාන ලෙස පෙනුනත් හයිතට්‌ටුව සඳහා තරමක් ඝණ කමකින් යුත් සිවියක් බාවිතා කරයි. සුරල් තට්‌ටුව සඳහා ගනු ලබන්නෙ හයිතට්‌ටුවට වඩා සිහින් ඝණකමින් අඩු සිවියකි.
පහටරට බෙරයෙන් උපදින ප්‍රධාන අක්‍ෂර හතරකි.
තත්, දිත්, තොන්, නන් මෙම ප්‍රධාන අක්‍ෂර හතරයි. තත් හා තොන් අක්‍ෂර හයිතට්‌ටුවෙනුත් දිත් හා නන් අක්‍ෂර සුරල් තට්‌ටුවෙනුත් ඉපදේ. මහත් සේ ගිගුම් හඬක් දෙන මෙම පහතරට බෙරයෙන් උපදින ගුන්, දොන්, දැහින්, දිගතම්, ගුහිත ගදිරිකිට රෙගත වැනි අවනද්ධාක්‍ෂර මෙම බෙරයට ආවෙනික වූ හඬවල් වන් අතර වෙනත් කිසිඳු බෙරයකින් මෙම හඬවල් නූපදී.
පහතරට බෙර වාදනයත් නර්තනයත් අතර ඉතා සමීප සබඳතාවයක් පවතී. පහතරට බෙර ශිල්පීයා විසින් ප්‍රගුණ කලයුතු මූලික බෙර සරඹ දොලොසකි. මේවා ප්‍රගුණ කිරීමෙන් පසු මගු බෙර වාදන හා ශාන්තිකර්ම ආශ්‍රිත බෙර පද වාදනයන් කරනු ලබයි.
පහතරට බෙරයේ කොටස්
01. නයි තට්‌ටුව
02. සුරල් තට්‌ටුව
03. කැපුම් හම
04. වැනිවර
05. කන්වරය
06. වරපට
07. බෙර ලණුව
08. බෙරකඳ
09. සුරත් තට්‌ටුව