මහගමසේකර - රන් එතනාට කියන කවි
 

මහගමසේකර ගැන


නිහතමානි කලාකරුවෙක්‌ වු මහගමසේකර කලා ක්‍ෂේත්‍රයේ නිපුණ ලේඛකයෙකි. ඔහු අංශ කීපයකින්ම ස්‌වකීය දක්‌ෂතා ප්‍රදර්ශනය කළේය. චිත්‍ර ශිල්පියෙක්‌ වශයෙන් ද, ගීත රචකයෙක්‌ වශයෙන් ද, කවියෙක්‌ හා නව කතා කැවෙක්‌ වශයෙන් ද, චිත්‍රපට අධ්‍යක්‌ෂවරයෙක්‌ වශයෙන් ද සිය හැකියාවන් ප්‍රදර්ශනය කළේය. තුන්මං හන්දිය හා මනෝ මන්දිර ඔහුගේ නව කතාය. නොමියමි, බෝඩිම ආදී කාව්‍ය පන්ති මහගමසේකරගේ ප්‍රසිද්ධ නිර්මාණයන්ය.


නවීන කාව්‍ය සම්ප්‍රදායක්‌ වශයෙන් නිසැඳැස්‌ පද්‍ය සංකල්පනා බිහිවීම නිසා 1965 පමණ වන විට සිංහල කවිය අවදානම් අවස්‌ථාවකට පත්වෙමින් පැවතුනි. සිංහල කාව්‍ය දුර්වල විය. මෙය මෙසේ පවතිද්දී 1970 ගණන්වලදී තරුණ කවියන් කීප දෙනෙකුගේ ඉදිරිපත්වීම තුළින් එය නව මඟකට යොමුවන්නට විය. කාව්‍යමය භාෂාව සහ අත්දැකීම් ආශ්‍රයෙන් පද්‍ය නව මගකට යොමු කිරීමේ ගෞරවය මහගමසේකරට හිමි වන්නේය. ඔහු පාඨක රුචිකත්වය හදුනාගෙන ස්‌වකීය නිර්මාණ හරවත්ව ඉදිරිපත් කළේය.


මනුෂ්‍ය ජීවිතය කෙරෙහි මනා පරිකල්පනයකින් කටයුතු කළ මහගමසේකර ශුරීන්, මනුෂ්‍ය ජීවිතයට මෙන්ම ස්‌වභාවධර්මයට ද ආදරය කළේය. කවියෙකු තුළ තිබිය යුතු මනා නිරීක්‌ෂණ ශක්‌තියත්, සුසංවේදී බවත් ඔහු තුළ නොඅඩුව තිබිණ.


රන් එතනාට කියන කවි


 'රන් එතනට කියන කවි' පද්‍ය පන්තියට වස්‌තු විෂය වන්නේ වෙල් ඉපනැල්ලක හුදකලාවේ කරල් ඇහිදින ගැමි කාන්තාවකි. ගැමි කාන්තාව සවභාවයෙන්ම පියකරුය. ඒ පියකරු බව, දැකුම්කළු බව, පදනම් කරගෙන පියකරු හැඟීම් මැවීමට මෙම පද්‍ය පන්තිය සඳහා යොදාගත් පදමාලාව හේතු වී ඇත. ජන කවි සම්ප්‍රදාය ආශ්‍රයෙන් මෙම පද්‍ය පන්තිය රචනා කර තිබේ. මහගමසේකර කවිය අවස්‌ථානෝචිත භාෂා මාධ්‍යය උපයෝගි කරගනිමින් වෙළේ කරල් ඇහිදිමින් සිටින රන් එතනාගේ ස්‌වභාව සුන්දර විලාශය පාඨක සිත් තුළ රසාස්‌වාදයක්‌ හා වින්දනාත්මක බවක්‌ ඇතිකරයි.


රන් එළියට හැන්දෑවේ මුදු කෙහෙ දිලිසෙන්නේ
රන් ගෝමර පෙති ඉහිලා ළමැද බබලුවන්නේ
රන් වන් වී කරලක්‌ මෙන් බිමට නැමීඉන්නේ
රන් එතනා ඉපනැල්ලේ මොනවද අහුලන්නේ


ඉරබැස යන සැන්දෑවේ දිළිසෙන්නේ රන් එළියයි. එය ස්‌වභාව සුන්දරත්වයේ සන්ධ්‍යා සුන්දරත්වයයි. එම සුන්දරත්වය තවත් ඔපවත් කළේ රන් එතනාය. ඇගේ මුදු කෙහෙ කළඹ සන්ධ්‍යා ස්‌වර්ණලෝකයෙන් දිලිසෙයි. එසේ දිළිසෙන්නේ ඇගේ කේශ කලාපයද රන් එළිය මෙන් රන්වන් පැහැයෙන් යුක්‌ත වීම නිසාය.


කවියා දකින ආකාරයට රන් එතනා රන්වන් වී කරලක්‌ වැනිය. පැසී ගිය වී කරල් පොළොවට නැමී සිටී. එය කලාත්මක දර්ශනයකි. එසේ පැසුණු කරල් කපා ගැනීමෙන් පසුව සන්ධ්‍යාවේ රන් එතනා කුඹුර පුරා ඇවිදිමින් නැමි නැමී ඇහිදින්නේ ඉපනැල්ලෙහි වැටී ඇති රන්වන් වී කරල් ය. කවියා ඒ බව නොදන්නවා නොවේ. එහෙත් ඔහු කවිය වඩා ඔපවත් කිරීමට, රසිකයා තුළ යම්කිසි ගැටළුවක්‌ ඇති කිරීමට "රන් එතනා ඉපනැල්ලේ මොනවාද අහුලන්නේ" යි අසයි.


"රන් එතනාට කියන කවි" තුළින් මහගමසේකරයන් ජීවිත යථාර්ථය ද ගෙනහැර දක්‌වයි. කෘෂි කර්මාන්තය ජීවිකා වෘත්තීය බවට පත්කරගන්නා සමාජයක ස්‌වරූපය මෙයින් නිරූපනය වෙයි.


රන් පාටට එකතු වෙලා අදුර ගලා එන්නේ
කින්ද පාළු කුඹුරේ තව තනියම පසු වන්නේ


සන්ධ්‍යා කාලය පැමිණ අදුර වැටීගෙන එද්දීත් රන් එතනා කුඹුරේ සිටියි. කවියා ඇයගෙන් විමසන්නේ අදුර වැටී තිබියදීත් තාමත් පාළු කුඹුරේ තනියම පසුවන්නේ කුමක්‌ නිසාද යනුයි. සන්ධ්‍යා අන්ධකාරය ගලා එන ආකාරය පැහැදිලි කරන කවියා රන් එතනා කෙරේ සානුකම්පිත බවක්‌ දක්‌වයි. ඇය තවමත් වෙළේ තනියම පසුවන්නේ අන් කාරණයක්‌ නිසා නොව ඉපනැල්ලේ වැටී ඇති කරල් ඇහිදීමටය. මෙයින් කවියා පවසන්නේ ජීවත්වීම සඳහා මිනිසා කරන සටනය. රන් එතනා ගෙවිලියකි. ඇය කරල් ඇහිදීමෙන් කරන්නේ ද ජීවිත සටනකි.


අභ්‍යාස හුරුව 1
1. මහගමසේකර පිළිබඳ සාමාන්‍ය හැදින්වීමක්‌ කරන්න.
2. මහගමසේකර කවර කාරණයක්‌ නිසා වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේද ?
3. මහගමසේකරගේ කෘති කීපයක්‌ නම් කරන්න.
4. නව කවි සම්ප්‍රදායක්‌ ඇති කිරීමට මහගමසේකර ගත් මඟ කුමක්‌ද ?
5. සිංහල පද්‍ය සාහිත්‍ය බිඳ වැටීමට 1960 ගණන්වලදී බලපෑවේ කුමක්‌ද ?


අභ්‍යාස හුරුව 2
1. පහත සඳහන් පද්‍යයේ අදහස ලියන්න.


උදේ ඉඳන් වැඩ කරලා දැනුයි ගොඩට එන්නේ
වෙළේ තමයි ජීවිතයම අවුවට කර වෙන්නේ
උඹේ කැකිරි හිනා පොදක්‌ මා වෙත හෙළ මින්නේ
හිතේ තියෙන දුක මදකට දුරුකරවා පන්නේ


2. "හිතේ තියෙන දුක මදකට දුරුකරවා පන්නේ" මේ කාගෙන් කරන ඉල්ලීමක්‌ද ?
3. එය කුමක්‌ සඳහා කරන ඉල්ලීමක්‌ද ?
4. "වෙළේ තමයි ජීවිතයම අවුවට කර වෙන්නේ" මෙයින් අදහස්‌ කළේ කුමක්‌ද ?
5. "කින්ද පාළු කුඹුරේ තව තනියම පසුවන්නේ" මෙයින් අදහස්‌ කළේ කුමක්‌ද ?


අභ්‍යාස හුරුව 3
1. මහගම සේකරගේ කෘතිවල දක්‌නට ලැබෙන විශේෂ ලක්‌ෂණ මොනවාද ?
2. ජනහිතකාමි මානව හිතවාදි කවියෙකු වශයෙන් මහගමසේකර හදුන්වන්න.
3. ඔබගේ පාඩම් පොතේ ඇති රන් එතනාට කියන කවි කියවා එහි යෙදී ඇති උපමා රූපක විචිත්‍රත්වය ඇගවීමට ලක්‌ කරන්න.
4. මේ පද්‍ය පන්තියේ එන වෘංගාර්ථවත් තැන් පැහැදිලි කරන්න.
5. සම්පූර්ණ පද්‍ය පන්තිය පිළිබඳ විචාරයක්‌ ලියන්න.


අභ්‍යාස හුරුව 4
1. මහගම සේකරගේ "රන් එතනාට කියන කවි" පද්‍ය පන්තිය ජන කාව්‍යයට සමීප වූවකි. විමසන්න.
2. ජන කවියාගේ ජීවිත දර්ශනය පිළිබඳ විමසීමක යෙදෙන්න.
3. මෙම පද්‍ය පන්තිය ආශ්‍රය කරගෙන හරවත් චිත්‍රයක්‌ අදින්න.
4. මහගම සේකර යොදා ගත් බස්‌ වහර පිළිබඳ විමසීමක යෙදෙන්න.
5. ප්‍රතිභාපූර්ණ කවියෙකු වශයෙන් මහගම සේකරගේ සාහිත්‍ය සේවය අගය කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017