සුභාෂිතය විචාරය
 



 

 

සමාජයේ  විවිධ පැතිවලට බර වු පුද්ගලයන් ගේ සිතුම් පැතුම් හා  ක්‍රියාකාරීත්වයන් විග්‍රහ කිරීම සුභාෂිතයේ ලක්‌ෂණයයි. මෙහි දී හොද, නරක, උත්තම, අධම, සුදන, දුදන ආදි වශයෙන් එකින් එක ප්‍රතිවිරුද්ධ චරිත ලක්ෂණ හදුන්වාදීම මගින් සමාජය සුචරිතවාදී කිරීමට උත්සාහ ගෙන ඇති බව පෙනේ. දුදන හා සුදනා ගේ ගතිපැවතුම් ක්‍රියාකාරීත්වය හදුන්වා දෙන්නේ මෙසේ ය.

කුලුණු ගුණෙන් යුතු උතුමන් සිත       මහරු                          
දුදන බසින් නොයෙදෙයි කරනට       නපුරු          
නව රුවනින් පිරි මහ සමුදුර           ගැඹුරු    
තණ සුළගින් උණු කළ හැකි වෙද     කවුරු


කරුණා ගුණයෙන් යුත් උතුමන් ගේ සිත දුදනන් ගේ වචනයෙන් නපුරු කිරීමට නොහැකි වෙයි. නවරත්නයෙන් පිරුණා වු ගැඹුරු මහා සාගරය තණ සුළකින් උණු කිරීමට කවුරුනම් සමත් වේ ද? උත්තමයෙක් දුදනා ගේ වචනයෙන් වෙනසකට පත් නොවේ. ඒ උත්තමයන් තුළ ඇති උතුම් ගුණයකි. මේ ගුණාංගය කියාපාන්නේ ඊට ම සරිලන උපමාවකිනි. මහා සාගරය තණ සුළකින් උණු කිරීමට යමෙක් උත්සාහ ගන්නේ නම් එය අසාර්ථක කියා මාර්ගයකි. උතුමන් තුළ ඇති ස්ථීරසාර ගුණය මෙයින් ප්‍රකාශිත ය.                                    


පැනසර නොවන නිරිදුන් ලද රජ     සැපත    
ගොරතර නිරා දුකටත් වැඩියෙන්      විපත     
තිරසර නැණැති නරවර ලද එම      සැපත   
සුරපුර සැපතටත් සිය ගුණෙනි     යහපත     


 නුවනින් සාර නොවන රජවරුන් ලබාගන්නා වු රාජ සම්පත්තිය ඉතා භායානක වු අපාය දුකටත් වඩා විපත්තියකි. ස්ථිරසාර වු නුවණින් යුත් උතුමන් ලබන ඒ සම්පත්තිය ම දිව්‍යලෝක සම්පත්තියට සිය ගුණයකින් යහපත් ය. යහපත් ගුණ නුවණ වැදගත් කොට සැලකීම මෙයින්ද බලාපොරොත්තු වී ඇත. රජ සැප උසස් එකකි. එහෙත් එය අඥානයෙකුට ලැබුණ හොත් ඔහුට පමණක් නොව, මුළු රටවැසියාට ම සිදු වන්නේ විපතකි. නමුත් ඥානවන්ත ගුණයෙන් උසස් රජෙකු ලබන රාජ සම්පත්තිය දිව්‍ය සම්පත්තියට ද වඩා උසස් යැයි කියන්නේ ඉන් රටවැසියාට සිදු වන යහපත සලකා ය. රාජ්‍ය පාලනය ගුණයෙන් හා නුවණින් කළ යුත් එකක් බව මින් අවධාරණය කරයි.


බලැත්තවුන් හට බත් වෙරෙහි    නොනැවත      
විපත් පැමිණියත් ඉන් කිසි නිගා        නැත        
මහත් විදුරු ගිරි බිතකට වැද           අහුත             
සුනත් දළ අතුට ලොව අපහසෙක්      නැත


බලවන්තයින් නොකඩවා බදින ලද වෛරයෙහි දී විපත්තියක් සිදු වුව හොත් ඉන් කිසිදු නින්දාවක් නොවේ. මහත් වු වජ්‍ර පර්වතයකට ඇන, දළ බිදී ගියත් ඇතාට ලෝකයෙහි අපහාසයක් නැත්තේ ය. ගුණයෙන් දනයෙන් හා ඥානයෙන් උසස් අයට නොකඩවා බදින ලද වෛරයන් නිසා කිසියම් උපහාසයක් විදීමට සිදු වුව ද ඉන් ඔහුට හානියක් සිදු නො වේ. මින් දෙන උපදේශය වන්නේ ගුණයෙන් උසස් අයට වෛර කිරීමෙන් ඒ අය අවමානයට හෝ අපහාසයට පත් කළ නොහැකි බවයි.                    


පරසිදු පබු දනන් සෙවි පමණින්       මහරු        
බෙලනිදු මද වුවත් නොරෙති රුපුන්    සරු               
බරණිදු ගෙලෙ වසන නා රද වෙමින්    ගරු         
ගුරුළිදු අතින් ඇසි කිම යහළු       තොරතුරු          


ප්‍රසිද්ධ වුත් පිදිය යුතු වුත් ප්‍රභු ජනයා ඇසුරු කළ පමණින් බලයෙන් අඩු වුවත් දුබලයන් සතුරන්ට නොසලකයි. ඊශ්වරයා ගේ බෙල්ලෙහි වසන නාග රාජයා අහංකාරයෙන් ගුරුලු රාජයාගෙන් යහළුව, කෙසේ ද තොරතුරු අසයි. ගුරුළා නාගයා ගේ හතුරා ය. ඊශ්වරයා බලසම්පන්නෙකි. ඔහු ලගට කිට්‌ටු වීමට ගුරුළාට නොහැකි ය. ඔහු ගේ ගෙලේ වසන නාග රාජයා ගුරුළා ගෙන් සැප දුක් අසන්නේ ඊශ්වරයා ගේ බෙල්ලේ සිටින නිසා ය. නාගයා හුදකලාව සිටින විට ගුරුළා දුටුව හොත් බියෙන් හැකිලෙයි. බලවතා ලග සිටින දුබලයා මෙසේ වන්නේ අහංකාරකම නිසා ය. වත්මන් සමාජයේ මෙවන් පුද්ගලයන් අපමණ ඇත. අන් අය ගේ බලපුළුවන්කාරකම් සිතා හිස උදුම්මාගන්නා අයට මින් සියුම් උපහාසයක් දෙමින් එසේ නොවන ලෙස උපදෙස් ලබා දෙයි.                                     


සත්ගුණ යුත් සතන් හට වැඩ කළොත්      සරු        
අත්පිට දියුණුව ම පල දේය             නිරතුරු     
වත්කළ දිය නෙරළු තුරු මුලට           පියකරු     
දෙත් මුදුනින් පලසර රැගෙන            අමයුරු           
      


සත්පුරුෂ ගුණයෙන් යුත් අයට යහපතක් කළ හොත් එය දෙගුණ කොට අත් පිට ම යහපත් ප්‍රතිඵල ලබාදෙයි. පොල්ගස් මුලට වත්කරන ලද ජලය ලබාගෙන ඒ ගසේ මුදුනින් අමරස වන් ඵල ලබා දෙයි. මින් කළගුණ දන්නා සමාජයක් බිහි කිරීමට අවශය උපදේශයන් ලබාදෙයි. යහපත් තැනැත්තනට කරන ලද උපකාරය අමතක නොකර ප්‍රත්‍යපකාර කරයි. ගුණධර්ම දන්නා සමාජයක් බිහි කිරීමට මින් ලබා දෙන උපදේශය වැදගත් ය. සුභාෂිතයේ සියලු කරුනක් ම උපමාවකින් පැහැදිලි කරන අතර මෙය ද උචිත උපමාවක් මගින් දක්වා ඇත.



තිරසර ගුණෙන් යුත් උතුමන් හට          පවර    
සමුදුර සියල් කිදලෙක තුඹසෙක         සුනෙර
පුවතර මෙ දඔදිව මළුවෙක සිය         ගෙදර   
ඔහුතර කර නොවන සැපතෙක්එබැවින්   කවර

උතුම්, ස්ථීර සාර වු ගුණයෙන් යුක්ත උත්තමයෙකු හට මුළු මහත් සමුද්‍රය කුඩා දිය වළෙකි. මහමේරු පර්වතය තුඹසකි. ප්‍රසිද්ධ වු මේ දඹදිව තමා ගේ ගෙදර මිදුලකි. ඒ නිසා ඔහු අතට පත් නොවන සම්පත්තිය කුමක් ද? ලොව විශාල වශයෙන් සැලකෙන වස්තු සමුහයක් මගින් ස්ථාවර වු ගුණයෙන් හා අධිෂ්ඨානයෙන් යුත් තැනැත්තන් ගේ වැදගත් කම මෙහි දී දක්වා ඇත. පහසුවෙන් දත නොහැකි සමුදුර කුඩා දිය වළෙක්යැයි කීමෙන් පළල් වු ඥාණ ශක්තිය පෙන්නුම් කරයි. මහාමේරු පර්වතය කුඩා තුබසක් ලෙස හැදින්වීමෙන්, ස්ථීරසාර වු ගුණය දක්වයි. ස්ථීරසාර වු ගුණයෙන් යත් අයට තම බලාපොරොත්තු වන සැප සම්පත් නො අඩුව ලබාගත හැකි බව මෙහිදී දක්වයි.


සසොබන මහතුනට වන් නොමද            ගරුතර         
දින දින පුරුදු වීමෙන් කෙරෙති               අනදර
නොමදින සුවද විහිදෙන සොද සදුන්           හර             
හිමිවන වසන වැදි අගනෝ කෙරෙති             දර


බොහෝ සෙයින් යහපත් වු මහත්මයන්ට වුවත් දිනපතා පුරුදු වීම නිසා අගෞරව කරති. බොහෝ සෙයින් සුවද විහිදෙන්නා වු සදුන් අරටුව හිමාලයෙහි වසන වැදි අගනන් දර පිණිස ගනිති. ‘උදේ හවස දකින කුකුළා ගේ කරමලය සුදු පාටට පෙනෙයි’ යනුවෙන් ගැමි කියමනක් ඇත. එසේ ම ගරු කටයුතු යහපත් අයෙකු වුවත් ළගින් ඇසුරු කිරීම නිසා ගරු සැලකිලි නොදැක්‌විය යුතු අයෙක් ලෙස සලකයි. ගරු කළ යුත්තාට ගරු කිරීම සමාජ සාර ධර්මයකි. යෝගය උපමාවක් ද යොදා ගනිමින් දක්වා ඇති මේ අදහස සාරධර්ම නගාසිටුවීම සදහා උපකාර වන්නකි.


නදර ගුණ නුවණ යුතු උතුමෝ            මහත        
නොගෙන කිසි කරුණු සත සුවපත්       කෙරෙන        
දිළෙන සා මඬුළු යුතු පෙල                 දිමුතු        
යනෙන සත සතපමින් ගිම් දුරු             හරිත         


සිත් පිනවන ගුණයෙන් හා නුවණින් යුත් උත්තමයන් කිසි ම කරුණක් නොසලකා සත්වයින් සුවපත් කරයි. ගුණ නුවණින් යුත් උත්තමයින් සත්වයින්ට සෙත් පිණිස ක්‍රියාකරන්නේ ඵල ප්‍රයෝජන කිසිත් නොසලකාය. මිනිසුන් ගේ ග්‍රීෂ්මය දුරු කර ගස්, කුලියක් නො ඉල්ලයි. තාන්නමාන්න නොසලකා අනුන්ට උපකාර කරන අයගේ උසස් ගුණය මින් වර්ණිතයි. මේ අයුරින් කවි ගණනාවක් උතුම් පුද්ගලයන් ගේ ගුණ නුවණ කියාපෑමෙන් අන් අය ද ගුණයෙන් උසස් අය කිරීමටත් එහි වටිනාකමක් දැක්වීමටත් උත්සාහ ගත් බව පෙනේ. සුදනන් ගේ වැදගත්කම කියාපෑමට ද සුභාෂිතයේ කවි ගණනාවක් ඉදිරිපත් කර ඇත.


තුල සිය දිවි පුරුදුව විසුවද             නොමද                
දුල ගුණ සුදනන් ගෙ නොදනිති දනෝ    දද        
විල වැඩි මැඩිහු නොදනති පියුමෙහි      සුවද      
වල බිගු එමුවරද ගෙන මත්ව දෙති       නද


විලේ සිටින මැඩියා එහි ඇති පියුමෙහි සුවද නොහදුනයි. එහෙත් කැලයේ සිට එන මී මැස්සන් එහි රොන් රස බී සතුටු වෙති. එමෙන් යහපත් අය සමග එකට විසූවත් දුදනා කිසිදාක සුදනෙක් නොවයි. දුර්ජන ගති පැවතුම් ඇති අය ගේ ඒ ගති ලක්ෂණ වෙනස් නොකරන බව මෙයින් අදහස් කරයි.


වනත් නොයෙක් ගං හෝ ඇළ කදුරු   පැන           
මහත්ගැඹුරු සිදුනොය නෙව්වෙරල     පැන  
ලදත් මෙ මුළු දඹදිව රජ සිරි සිරිත්    
සිරිත් ලෙසට පවතී උඩගු        නොවමින   


අනෙක විද ගංගා ඇළ දොළින් ද ජලය පැමිණියත් මහත් වු ගැඹුරු සාගරය වෙරළ ඉක්මවා නොයන්නාක් මෙන්, සත්පුර්ෂයාමේ මුලු දඹදිව ම රාජ ශ්‍රිය වින්දත් අහංකාර නොවී සාමාන්‍ය ලෙස ජීවත් වෙයි. මහ මුහුද වෙරල ඉක්මවා නො යාම ස්වාභාවික ය. සත්පුර්ෂයා කෙතරම් සම්පත් ලැබුවත් අහංකාර නොවීම ද එසේ ය. උපමාවක් මගින් උඩගුව කටයුතු නොකිරීමේ අගය මින් දක්වයි. සුදනා ගේ තවත් ලක්ෂණයක් වන්නේ අන් අයට කොතෙක් යහපත් දේ කළ ද තමා ගේ ගුණය අඩු නොකිරීමයි. එය නිදසුනකින් දක්වන්නේ ඒක් පහනකින් පහන් සියයක් දැල්වුවත් මුල් පහනේ ආලෝකය අඩු නොවන්නා සේ ය.


අසත්පුර්ෂ දුර්ජනයා කෙතරම් දරුණු අයෙක් ද යත් සර්පයෙකුට වඩා භායානක බව කියයි. සර්පයෙක් දෂ්ට කළ හොත් මරණයට පත් වන්නේ සර්ප දෂ්ටයට ලක් වු නැනැත්තා පමණී. නමුත් අසත් පුර්ෂ දුර්ජනයාට මුළු ලොවම විනාශ කළ හැක. ඉන් තමා ද අවසානයේ විනාශයට පත් වන බව කවියා මෙසේ දක්වයි.


සපෙක් එකෙකු කෑ නම් නසිනේ            නොවෙද           
අනෙක් ලොවින් නොනැසෙයි සතෙකුත්     එකද              
පසක් දුදන පබුකන මුව ළං               කෙළෙද                   
වගක් නසී එමත්ද වැනසෙයි               ඔහුද
                            
“සර්ප දුර්ජනයෝර් මධ්‍යයේ වරං සර්පො නදුර්ජන යන සර්පයාට වඩා දුර්ජනයා පහත් බව කියන” හිතෝපදේශයේ අරුත මෙහි දී සුභාෂිතකරුවා  යොදා ගෙන ඇති බව පෙනේ. පොදු මිනිස් සමිජයේ දක්නට ඇති සිතුම් පැතුම් හා කියාකාරීත්වයන් ද සුභාෂිතයේ දක්නට ලබෙයි. එය පහත සදහන් කවියෙන් ඉදිරිපත් කරන්නේ මෙසේ ය.


මිනිස් හට සොදුරු ගුණ සහ නුගුණ      ඇත                  
නිදොස් කෙනෙක් මෙදියන උපදිනේ    නැත
වෙසෙස් සිනිදු මුවරද බර සහස්         පත             
කොරොස් නලින් යුතුවෙයි කටු පෙළිනි   යුත


සිනිදු පෙති හා මල් පැණීවලින් යුක්ත වුව ද නෙළුම් මලේ දණ්ඩෙහි කටු ඇත. එමෙන්ම කෙතෙක් හොද පුද්ගලයෙකු  සතුව වුව ද දුර්වලකම් ඇත. කොතෙක් නරක පුද්ගලයෙකු තුළ වුව ද යහපත් ගුණ දක්නට ඇත. මෙය මිනිස් සමාජයේ පවත්තා යථාර්ථවාදී දර්ශනයකී. ලෝකෝත්තර තත්ත්වයට පත් නොවු සියලු දෙනා තුළ මේ ධර්මතාවය පිහිටා ඇත. සුභාෂිතයේ දක්නට ඇති දාර්ශනික සංකල්පයක් ලෙස මෙය සැලකිය හැකි ය.


 

 

නොමින් ලොව සියලු දේ දන්නා          ඇසට                
තමන් සැටි මදක්වත් නොපෙනෙන      ලෙසට              
අනුන් දොස් දකින අනුවන දන           කපට              
එමෙන් සිය නුගුණ නොදනිති නියම     කොට

සමාජයේ වැඩි දෙනෙකු තුළ දක්නට ඇති මේ ලක්ෂණය පොදු මිනිස් දුර්වලතාවයකි. තමා ගේ වරද නොපිළිගන්නා අය අනුන් ගේ දොස්‌ දැක ඉහලින් ඉස්මතු කර දැක්වීමට උත්සහා ගනී. සමාජයේ පවනින මෙ බදු දුර්වලකම් ඉවත දා තමා ගේ වැරදි හදුනා ගෙන ඉන් වැලකී යහපත් අයෙක් වීමට මෙයින් ලබා දෙන උපදේශ කවර කාලයකට වුව ද වැදගත් ය.


තැන තැන නිදන් කොට නොතබා සැම    දිනම         
කව බොව යදින් හට දන් දෙව වඩා      පෙම              
මිහිබැද බිගුන් හට වන ලෙස දැක       දැකම            
නව නව ලොබින් දන රැස්‌කර තබනු      කිම                                                         


ආශාවෙන් මී බැද මී පැණී රුස් කරන මී මැස්සන්ට සිදුවන්නේ වෙනත් අය පැමිණ පැණි රැගෙන යද්දි නිසොල්මනේ සිටීමටය. නිසි පරිදි ප්‍රයෝජනයට නොගෙන ධනය රැස්‌ කරන අයට ද වන්නේ එබන්දකි. සපයා ගන්නා දනය දුගීමගී යාචකයන්ට දිමෙන් අනුන්ගේ ප්‍රයෝජනයට ද යෙදිය යුතු බවත් තැන්පත් කර තැබිම තමාට ද ප්‍රයෝජනයක්‌ නොවන බවත් මින් දක්වනු ලබන අදහසයි.


පොදුවේ ගත්කල සුභෂිතයේ සියළුම පද්‍ය වලින් යහපත් සමාජයක් ගොඩනැගිමට ඉවහල් වන උපදේස් රැසක් ඉදිරිපත් කර ඇත. මේ උපදෙස්, සාරදර්ම වලින් පිරි සමාජයක් ගොඩනැගීමට උපකාර වෙයි. සර්ව කාලීන අගයකින් යුත් සුභාෂිතයේ භාෂාව සරලය පොදු ජන ජීවිතයට හුරු පුරුදු උපමා මගින් එය සරසා ඇත. එය සුභාෂිතයේ භාෂාව සරලය. පොදු ජන ජිවිතයට හුරු පුරුදු උපමා මගින් එය සරසා ඇත. එය සුභාෂිතයේ අගය වැඩි වීමට හේතු වන තවත් සාධකයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017