ජන කවිය විමසුම
 

හේනේ, පැලේ, කුඹුරේ, තොටේ, කරත්තේ, කමතේ, පතලේ, පාරුවේ, දුම්බර කෙතේ, ගොයම් නෙළුමේ මේ ආදී වශයෙන් එදා අපේ මුතුන් මිත්තන් යෙදී සිටි වෘත්තීයට අනුව කාන්සිය මහන්සිය මග හරවා ගැනීමට මෙසේ ජන කවි ගායනා කළ අතර සමාජයේ ඇතිවූ යම් යම් සිද්ධීන් අනුවද පැරැන්නෝ ජන කවි කීහ.


සිංහල ජනකවිය බිහිවූයේ ජන ජීවිතයේ යම් යම් සිද්ධීන් පදනම් කරගෙන බව මෙයින් පෙනේ. ජනකවියා උගතෙකු නොවීය. එහෙත් ඔහු තුළ ක්‍රියාත්මක වූයේ ඔහුගේ සන්තානය තුළ ක්‍රියාත්මක වු නිර්ව්‍යාජ අකලංක හැඟීම්ය. මෙම අව්‍යාජ හැඟීම් තුළින් කියාපාන්නේ ජනකවියාගේ ජීවිත හා ජීවන ගැටළුවයි. එමෙන්ම ජනකවියා කුශලතා පූර්ණ දක්‌ෂ කවියෙකු නොවුනා සේම ඔහුගේ නිර්මාන වෙත කාව්‍යාලංකාර ඡන්දස්‌ විරිත් ආදිය නිවැරදිව යොදාගැනීමේ අවශ්‍යතාවයක්‌ ද ඔහුට නොවීය. ඔහු ඒ පිළිබඳ සැලකීමක්‌ ද දක්‌වා නැත. ඔහුට තිබුණේ ස්‌වකීය ජීවන ගමන් මාර්ගයේ දී අත්විදි සමාජමය අත්දැකීම් පමණකි.


තමන් අත්විදි සමාජමය අත්දැකීම් හා ස්‌වකීය කාන්සිය මහන්සිය මඟහරවා ගැනීමට ජන කවියා කවිය උපයෝගි කරගත්තා සේම සමාජයේ පවතින ඇතැම් දුබලතාවයන්ට පහර ගැසීමට ද, සමාජ අසාධාරණකම් පිළිබඳව ද ජන කවියා කවිය උපයෝගි කරගත්තේය.


තම මෑණියන්ට යුතුකම් ඉටු නොකළ පුතෙකුගේ චර්යා ධර්මයක්‌ පිළිබඳව කවියා මෙසේ පවසයි.


බඩගිනි වෙලා මා ගිය කළ පුතුගෙ ගෙට
මැනලා වී ටිකක්‌ දුන්නයි මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට


වර්තමාන සමාජයේ ද එදා ජන කවියා දුටු දරුවන් සහ දෙමාපියන් සිටින බව වත්මන් සමාජය දෙස නෙත් සිත් යොමුකරන විට අපට අසන්නට දකින්නට ලැබේ. මේ සනාතන අසාධාරණය ජන කිවියා දුටුවේ මෙයට සියවස්‌ ගණනකට පෙරය. මෙයින් ජන කවියා දුටුවේ බඩගිනි වී සිය පුත්‍රයාගේ නිවසට ගිය විට මැනලා දෙන වී ටිකකි. එහෙත් පෙරලා කවියා මවගේ මුවට නංවන්නේ පුතේ මං උඹට කිරි දුන්නේ මැනලාද යන පිළිවදනකි.


මිනිස්‌ සන්තානයේ සංවේදීතාව කියාපාන මෙවැනි අවස්‌ථා මේ ආකාරයෙන් සමාජ විග්‍රහයක්‌ ලෙස  ජන කවියා එදා දුටුවේ ඔහු තුළ පැවති සමාජය පිළිබඳ අත්දැකීම් සහ මිනිස්‌ දුර්වලතා පිළිබඳව මනා වැටහීමක්‌ ඔහු තුළ පැවති බැවිනි.

අභ්‍යාස හුරුව 1
1. ජන කවිය නමින් හදුන්වන්නේ කුමක්‌ද ?
2. "ජන ශ්‍රැතිය" යනු කුමක්‌ද ?
3. ජන කවියෙහි දක්‌නට ලැබෙන විශේෂ ලක්‌ෂණ මොනවාද ?
4. ජන කවියෙන් අනාවරණය කරන්නේ කුමක්‌ද ?
5. ජන කවි සංඛ්‍යාවට වැටෙන කවි මොනවාදැයි නම් වශයෙන් ඉදිරිපත් කරන්න.


අභ්‍යාස හුරුව 2
1. ජන කවියා ජන කවි කීවේ කුමක්‌ සඳහාද ?
2. ජන කවිය ගොඩ නැගුණේ කුමක්‌ පදනම් කරගෙනද ?
3. ජන කවියක ඇති සංස්‌කෘතිමය වැදගත්කම පැහැදිලි කරන්න.
4. ජන කවියේ ආවේණික ලක්‌ෂණ මොනවාද ?
5. දේශීය සාහිත්‍යාංගයක්‌ වශයෙන් ජන කවිය අගය කරන්න.


අභ්‍යාස හුරුව 3
1. ඔබ දන්නා ජන කවි කීපයක්‌ ඇසුරු කරමින් එම ජන කවිවලින් ඉදිරිපත් කරන දර්ශනය කුමක්‌දැයි පැහැදිලි කරන්න.
2. ඔබට නියමිත ජන කවි පන්තියේ අදහස පද්‍යයෙන් පද්‍යයට වෙන වෙනම ලියන්න.
3. ජන කවිය ජන කවි කීමට පෙළඹුණේ ඔහුගේ ජීවිතය හා සම්බන්ධ විවිධ ගැටළු දුක්‌ දොම්නස්‌ ආදිය පදනම් කරගෙනය. මේ කියමන පිළිබඳ සමාලෝචනයක යෙදෙන්න.
4. පැල් කවි, කරත්ත කවි, පතල් කවි පිළිබඳ විමර්ශනයක යෙදෙන්න.
5. ජන කවිවලින් මතුවන ජීවන දර්ශන ඔබ දන්නා පරිදි සමාලෝචනයට ලක්‌ කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017