ඉසිපතනාරාම පූජා කතාව
 

බුද්ධපුත්‍ර හිමියෝ ඉසිපතනාරාම පූජා කතාව ඉදිරිපත් කිරීමෙන් මූලික වශයෙන් අපේක්‌ෂා කළේ බුද්ධ ගෞරවය සහ බුදුන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවත්, භක්‌තියත්, බෞද්ධයාගේ සන්තානයෙහි ජනිත කරවීමය.


 බුදුන්වහන්සේ සත් සති ගෙවා ධර්මය දේශනා කිරීමට අධිෂ්ඨාන කරගෙන තමන්ට උපකාර කළ පස්‌වග තවුසන් සොයා යන ගමනේ දී මුණ ගැසුණු උපක ආජීවකයා බුදුන්වහන්සේගේ ගමන් විලාශය, සන්සුන් ඉදුරන් ඇති බව, උන්වහන්සේ කෙරෙහි වු නිශ්චල ගතිගුණ පිළිබඳව, ස්‌ථීරසාර වු ගුණය පිළිබඳව, ගාම්භීර වු ගුණය පිළිබඳව ගුණ වර්ණනා කළේ, ස්‌වකීය ජෛන මහාවීර ශාස්‌තෘවරයාට වඩා, ගුණ මහිමයෙන්, බුදුන්වහන්සේ ඉදිරියෙන් සිටීම පිළිබඳව, ඔහුට මනා අවබෝධයක්‌ ලැබුණු නිසාය.


මෙම වර්ණනාවේ දී බුදුන්වහන්සේ දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම, ශක්‍රාතිශක්‍ර ආදී වශයෙන් බුදුන්වහන්සේ ගේ ගුණ මහිමයේ තීව්‍රභාවය වර්ණනා කිරීම තුළින් පැහැදිලි වන්නේ පූජාවලී කතුවරයා හුදෙක්‌ දේව වාදය, දෙවියන් නැමදීම ප්‍රතික්‌ෂේප කළ බවය. එයින් බුදුන්වහන්සේම උත්තරීතර වන්දනා මානයට යෝග්‍ය වු පූජාර්භ වු එකම ශාස්‌තෘවරයා බව සැදැහැවත් ජනයා ඉදිරියේ තැබීම උන්වහන්සේගේ එකම අභිලාෂය විය.


බුදුන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම පිළිබඳව උන්වහන්සේ පස්‌වග තවුසන්ට පැහැදිලි කරදුන් ආකාරය, මාර සංග්‍රාමය පරාජය කළ ආකාරය පමණක්‌ නොව, මාරයාගේ දුහිතෘන් වූ තණ්‌හා, රතී, රගා පරාජය කළ ආකාරය යන මේ අවස්‌ථා පිළිබඳව පූජාවලී කතුවරයා විසින් කරනු ලබන විස්‌තරයෙන් සැදැහැති බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ බුද්ධ භක්‌තිය සහ ශ්‍රද්ධාව තීව්රු කරයි. බුද්ධ විෂය පිළිබඳ වර්ණනා විෂයාතික්‍රාන්ත භාවය තහවුරු කිරීම කතුවරයාගේ මෙම වර්ණනා වලින් පැහැදිලි වෙයි. එයින් පූජාවලී කර්තෘ භුත බුද්ධ පුත්‍ර යතිවරයාණන් තුළ පැවති ඒ ඒ අවස්‌ථා වර්ණනා කිරීම පිළිබඳව පැවති බුද්ධ භක්‌ති හා ශක්‌ති වර්ණනා විෂයාක්‍රාන්ත ප්‍රතිභා ශක්‌තිය මැනවින් විදහාපායි.


පස්‌වග තවුසන් වු කොණ්‌ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්‌සජී යන අයට බුදුන්වහන්සේ විසින් කරන ලද ධර්ම දේශනය පැවති අවස්‌ථාව පිළිබඳව කතුවරයා කරන වර්ණනාව තුළින් මතු කරන්නේ අද්භුත ජනක තත්ත්වයකි. ප්‍රථම ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා පැමිණි අසංඛ්‍ය සංඛ්‍යාත දේව බ්‍රහ්මයන් ගැන කීම පමණක්‌ නොව එම ධර්ම ඝෝෂය මිනිස්‌ ලොව සිට අකනිටා බ්‍රහ්ම ලෝකය දක්‌වා ලෝකයෙන් ලෝකයට විහිදී ගිය ආකාරය වර්ණනා කිරීමෙන් පෙනී යන්නේ විශ්වාසනීයත්වය ඉක්‌මවා යන වර්ණනාවකි.

 

එයින් යම් දෙයක්‌ පිළිබඳව උපාසක උපාසිකා මන යොමු කරවමින් සාධු සාධූයි තවතවත් ධර්ම ශ්‍රවණය කෙරෙහි තම අවධානය යොමු කරවති. ඒ ආකාරයෙන් හා එයට සරිලන භාෂා විලාශයෙන් මෙය රචනා කිරීමෙන් පැහැදිලිවන්නේ පූජාවලී කර්තෘවරයා වෙත චිරත්තන ධර්ම සාහිත්‍ය පිළිබඳව පැවති අවබෝධ ඥාණය සහ බුද්ධ භක්‌තියයි. එය කුළුගන්වන ආකාරයෙන් සහ මෙම අවස්‌ථා උචිතාකාරයෙන් වර්ණනාත්මකව රචනා කිරීම ඔහු තුළ පැවති කුශලතා පූර්ණ රචනා ශක්‌තිය කියාපායි.


පූජාවලී කතුවරයා සිය ග්‍රන්ථය රචනා කිරීමෙන් අපේක්‌ෂා කළේ සාමාන්‍ය ගැමි ජනතාව තුළ බුද්ධ භක්‌තිය දැනවීමය.
සමාජයේ ජීවත්වන පුද්ගලයන් තුළ ක්‍රියාත්මක වන දුර්වලතා මෙහි දී ඉදිරිපත් කරන්නේ උපක ආජීවකයාගේ සහ ඔහුගේ භාර්යාවගේද එසේම ඇයගේ පියාගේද පස්‌වග තවුසන්ගේද චරිත චරිත ආශ්‍රය කරගෙනය. උපක ආජීවකයාගේ චරිතයෙන් සමාජයේ ජීවත්වන බෙලහීන, කාර්යක්‌ෂමතාවයෙන් හා මනා පෞරුෂත්වයෙන් තොර පුද්ගලයන්ගේ චරිත උපහාසයට ලක්‌කරයි. මෙම චරිත උපයෝගි කරගැනීම තුළින් කතුවරයා සමාජ සංශෝධනය කෙරෙහි ස්‌වකීය අවධානය යොමු කරමින් පාපකාරි සමාජ දුර්වලත්වයට දැඩි සේ පහර එල්ල කරයි. එමගින් ගුණ ගරුකත්වයෙන් සහ හැදියාවෙන් යුතු සහ ගුණගරුක සමාජයක්‌ තහවුරු කිරීමට අපේක්‌ෂා කරයි. මෙහිදී උන්වහන්සේ තුළ සජ්ජනවාදී සමාජ සුභවාදී ආකල්පයක්‌ පැවති බව පූජාවලී ග්‍රන්ථය තුළින් විදහා පෙන්වයි.

අභ්‍යාස හුරුව 1
1. පූජාවලිය අයත් වන්නේ කවර සාහිත්‍ය යුගයකටද ?
2. පූජාවලී කතුවරයා පිළිබඳ හැදින්වීමක්‌ කරන්න.
3. පූජාවලී ග්‍රන්ථය රචනා කිරීමේ පරමාර්ථය කුමක්‌ද ?
4. පූජාවලී ග්‍රන්ථයෙහි අන්තර්ගතය කුමක්‌ද ?
5. පොදු ජනයා සඳහා රචිත ග්‍රන්ථයක්‌ වශයෙන් පූජාවලිය අගය කරන්න.


අභ්‍යාස හුරුව 2
1. "අරහං" යන බුද්ධ ගුණය වර්ණනා කිරීමේදී කතුවරයා මුහුණ දුන් ගැටලුව කුමක්‌ද ?
2. ශ්‍රද්ධා භක්‌තිය දනවන පරිදි උචිත උපමා රූපාකාදිය යොදා ගනිමින් පූජාවලී ග්‍රන්ථය රචනා කිරීම පිළිබඳව පූජාවලී කර්තෘවරයා සතුව පැවති කුශලතාවය පැහැදිලි කරන්න.
3. ඉසිපතනාරාම පූජා කතාව ඇසුරෙන් පූජාවලී කර්තෘ බුද්ධ පුත්‍ර හිමියන්ගේ වර්ණනා ශක්‌තිය අගය කරන්න.
4. උපමා යොදා ගැනීම පිළිබඳව පූජාවලී කතුවරයා සතුව පැවති කුශලතාවය පැහැදිලි කරන්න.
5. පූජාවලී කතුවර බුද්ධ පුත්‍ර හිමියන්ගේ බස්‌වහර ඔබට නියමිත පාඩම ඇසුරෙන් විමසීමට ලක්‌ කරන්න.


අභ්‍යාස හුරුව 3
1. පූජාවලී කෘතිය ඇසුරෙන් සමකාලීන ලාංකීය සමාජ තොරතුරු අනාවරණය කරගැනීම පිළිබඳ විමසීමක යෙදෙන්න.
2. පූජාවලී ග්‍රන්ථයෙන් හෙළිකරගත හැකි කතුවරයාගේ රචනා ලක්‌ෂණ විමර්ශණයට ලක්‌ කරන්න.
3. ඔබට නියමිත පාඩමෙහි එන සංවාද කොටස්‌ උපයෝගි කරගනිමින් රස වින්දනයක යෙදෙන්න.
4. පූජාවලී කතුවරයාගේ වර්ණනා චාතුර්යය ඔබට නියමිත පාඩමෙන් නිදසුන් දෙමින් පැහැදිලි කරන්න.
5. ඔබට නියමිත පාඩමෙහි කතා සාරය ලිහිල් බසින් (ඔබේ වචනයෙන්) ව්‍යාකරණානුකුලව ලියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017