කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරන කාලයේ බෝසත්තුමා සාත්තු නායක කුලයක ඉපිද ගැල්වල බඩු පුරවාගෙන වෙළඳාමේ යයි. එම නගරයෙහි එසේ වෙළඳාමේ යන තවත් වෙළෙන්ඳෙක් වෙයි.
දිනක් බෝසත් සාත්තු නායකයා එම වෙළෙන්ඳා ගෙන්වා කරත්ත දහසක් එකවර වෙළඳාමේ යාමෙන් විවිධ ප්‍රශ්න ඇතිවන බැවින් දෙදෙනාගෙන් කවුරු හෝ පළමුව යායුතුව ඇතැයි කීය. අනිත් සාත්තු නායකයා තමන් පළමුව වෙළඳාමේ යන බව බෝසත් සාත්තු නායකයාට කීය.
ඔහු වෙළඳාමේ ගියේය. කාන්තාරයට අධිගෘහිත යක්‌ෂයාට මෙම පිරිස මරා මස් අනුභව කිරීමට අවශ්‍ය විය. මේ නිසා ඔවුන්ගේ ඉදිරියට වැස්‌සෙන් තෙමී ගමන් කරන කරත්ත වෙළෙදුන් පිරිසක් මවා යැවීය. මේ තෙමී ගෙන එන පිරිස දුටු සාත්තු නායකයා, ඉදිරියෙහි වහින බවත්, ගැල් සැහැල්ලු කරගෙන ඉදිරියට යන ලෙසත් දැන්වීය. එයින් පසුව මේ සාත්තු නායකයා ගැල්වල තිබුණු වතුර ඉවත්කර ගැල් සැහැල්ලු කරගෙන ඉදිරියට ගියේය. මෙසේ ගිය පිරිස ජලය ආදිය නොමැතිව මරණයට පත් වූහ.
එයින් කීප දිනකට පසුව බෝසත් සාත්තු නායක එම කාන්තාරයෙන් වෙළඳාමේ ගියේය. පෙර පරිදි යක්‌ෂයා ඔහු ඉදිරියට පැමිණි නමුත් පෙර පරිදි ඔහුගේ කාර්යය ඉටුකර ගැනීමට නොහැකි විය. බෝසතානෝ ජලය ආරක්‌ෂා කරගෙන කතරින් එතරට ගොස් වෙළඳාම් කරගෙන නිරුපද්‍රිතව සිය රට බලා පැමිණියේය.
ජාතක කතාකරු සිය කතා තුළින් ඉදිරිපත් කරන්නේ සුදු කළු චරිතයන්ය. අපණ්‌ණක ජාතකයෙහි එන සාත්තු නායකයන් දෙදෙනාද සුදු කළු චරිත දෙකෙන් යුතු පුද්ගලයන්ය. එයින් පළමුව වෙළඳාමේ ගිය සාත්තු නායකවරයා ආත~මාර්ථකාමිය. ඔහු පළමුව වෙළඳාමේ යාමෙන් තමන්ට වැඩි වාසි අත්විය හැකි බව කල්පනා කළේය. එසේම ඔහු ඥානවන්තයෙකු නොවේ. ඔහු අඥාන පුද්ගලයෙකු වීම නිසාම නිරුදක, ගිනිගෙන දිළිසෙන කාන්තාරයේ, වැස්‌ස ජලය ඇතැයි විශ්වාස කළේය. ඔහුව තමන් ඉදිරියට තෙමීගෙන ආ ගැල් පිරිස යක්‌ෂයා විසින් මවන ලද බව තේරුම් ගැනීමට නොහැකි වීම නිසා, පිරිසත් සමඟම යක්‌ෂයාට ගොදුරු විය. ජාතක කතාකරු දක්‌වන පරිදි ඔහුගේ චරිතය "කළු" චරිතයක් වන්නේය.
බෝසත් සාත්තු නායකයාට තමන් ඉදිරියට වැස්‌ස රැගෙන එන්නේ කාන්තාරයට අධිපති යක්‌ෂයා විසිනැයි තේරුම් ගැනීමේ හැකියාවක් තිබුණි. ඒ නිසා බුද්ධිමත් බෝසත් සාත්තු නායකයාට කාන්තාරයේ යක්‌ෂ පරාජය කොට කාන්තාරයෙන් එතෙරට ගොස් වෙළඳාම් කරගෙන දෙගුණයක් ලාභ ලබා නිරුපද්‍රිතව සිය රටට පැමිණියේය. ජාතක කතාකරු සඳහන් කරන පරිදි බෝසත් සාත්තු නායකයා සුදු චරිතයක් චරිතයෙන් යුතු පුද්ගලයෙකි. ඒ නිසාම ඔහුගේ කාර්යය සළුල විය.
විශේෂයෙන්ම මෙම ජාතක කතාවෙන් ජාතක කතාකරු සමාජයට දෙන්නේ වැදගත් පණිවිඩයකි. යහපත්, හොඳ දේ කරන, ඥාණවන්ත මනුෂ්‍යයා යක්‌ෂයාට පවා නොරැවටී තමාගේ කාර්ය සංසිද්ධිය ඉටුකරගෙන සැපතට පත්වන ආකාරයත් මේ කතාවෙන් ඉදිරිපත් කරන ජාතක කතාකරුවා පොදුවේ මිනිස් ධර්මතා ක්‍රියාත්මක වන ආකාරය මෙම චරිත දෙක පදනම් කරගෙන සමාජය ඉදිරියේ තබා ඇත. එයින් ජාතක කතාකරුවා අපේක්‌ෂා කළේ සමාජයේ දුර්වල තැන්වලට පහර දෙමින් වඩාත් හොඳ සමාජයක් ගොඩනැගීමට චරිතවත් පුද්ගලයන්ට හැකි බව පෙන්වා දීමටය.
යක්‌ෂයා ඉදිරියේ, යක්‌ෂයාගේ උපක්‍රමයට සහ උපක්‍රමශීලිත්වයට අඥාණ වෙළෙන්ඳා අසුවූවත්, ඥාණවන්ත සාත්තු නායකයා කාන්තාරයේ යක්‌ෂයා ජයගෙන ඉදිරියට ගිය බවත් සඳහන් කිරීමෙන් නුවණැත්තාගේ ක්‍රියාකාරිත්වය තුළ පවතින සැලසුම් සහගත සක්‍රියාකාරිත්වය සහ නායක අනුගාමික සහයෝගය මැනැවින් විදහා දැක්‌වීමට ජාතක කතාකරු සමත් වී ඇත.
බෝසත් සාත්තු නායකගේ දුරදර්ශි ඥාණය සහ තමන් සැලසුමක් ඇතිව තම පිරිස සමඟ සාකච්ඡා තීරණ ගන්නා බව යක්‌ෂයාට කියන මේ වදන්වලින් පැවැදිලි වේ. යක්‌ෂයා අමතා -
"....තෙපි හැම පළා යව. අපි හැම වෙළදු නම්. අනික් පැනක් නොදැක අරගත් පැන් නොදම්හ. පැන්දුටු තැනකදී පැන් දමාපියා ගැල් සැහැල්ලු කොට ගෙන යම්හ."
ගැමි බස්‌වහර සමකාලීන යුගයේ ව්‍යවහාර වූ ආකාරයෙන් ජාතක කතාකරුවන් යොදා ගැනීම තුළින් මූලික වශයෙන් අපේක්‌ෂා කළේ පොදු ජන රුචිය වර්ධනය කෙරෙන සමාජ දුබලතා විමර්ශනයට ලක් කෙරෙන බණ පොතක් ලිවීමය. මෙය දේවප්‍රතිරාජ ඇමතිවරයාගේ ආරාධනයෙන් සම්පාදනය කරන ලද ග්‍රන්ථයකි.
අශ්‍යාස හුරුව 1
1. පන්සිය පනස් ජාතක පොත රචනා කරන ලද්දේ කවර යුගයකදීද ?
2. ජාතක පොත ඒක කර්තෘකද, බහු කර්තෘකද ?
3. ජාතක පොත ලිවීමට ආරාධනා කළේ කව්ද ?
4. මේ යුගයේදී රාජ්‍ය විචාල රජතුමා කව් ද ?
5. ජාතක කතාකරු ජාතක කතා ලිවීමෙන් අපේක්‌ෂා කලේ කුමක්‌ද ?
අභ්‍යාස හුරුව 2
1. අභ්‍යන්තර මනෝභාවයන් විනිවිද දැකීම යන මෙයින් අදහස් කළේ කුමක්‌ද ?
2. ජාතක පොත ලිවීම සඳහා යොදාගත් බස්‌වහර කුමක්‌ද ?
3. ජාතක කතාකරුවන් සිය ග්‍රන්ථ අලංකරණය සඳහා උපමා යොදාගත් ආකාරය පැහැදිලි කරන්න.
4. ජාතක කතාවල පොදුවේ දක්‌නට ලැබෙන ලක්‌ෂණ මොනවාද ?
අභ්‍යාස හුරුව 3
1. අපණ්‌ණක ජාතකයෙන් හෙළිවන බෝසත් සාත්තු නායකවරයාගේ චරිතයෙහි දක්‌නට ලැබෙන සුවිශේෂ චරිතාංග මොනවාද ?
2. ශ්‍රේෂ්ඨ නායකත්වය, තැනට සුදුසු නුවණ, ඥාණාන්විතව කටයුතු කිරීම, දූරදර්ශිභාවය, ශ්‍රේෂ්ඨ නායකත්වය, අනුගාමික සහාය මේ ආදී උසස් චරිතාංග දක්‌නට ලැබෙන්නේ කවර සාත්තු නායකයා තුළද ?
3. බොහෝ ජාතක කතා ගැඹුරු ජීවිතය පරිඥානයකින් යුක්‌ත වේ. මේ කියමන විමසන්න.
4. අපණ්‌ණක ජාතකයේ කතා සාරය ඉතා කෙටියෙන් ලියන්න.
5. අපණ්‌ණක ජාතක කතාවේ බස්‌වහර සහ රචනා ශෛලිය පැහැදිලිව හදුන්වා දෙන්න.
අභ්‍යාස හුරුව 4
1. ජාතක කතා හා සිංහල කෙටි කතා අතර සමීප සම්බන්ධතාවය පැහැදිලි කරන්න.
2. අපණ්‌ණක ජාතකයෙන් හෙළිවන සමකාලීන ජීවන දර්ශනය පැහැදිලි කරන්න.
3. සාත්තු නායකයන් දෙදෙනාගේ චරිතාංගවල සමාන අසමානකම් පැහැදිලි කරන්න.
4. වෙළඳ නායකයන් දෙදෙනා සහ කාන්තාරයේ යක්‌ෂයා අතර ඇති වූ සංවාදය පැහැදිලි කරන්න.
5. බෝසත් සාත්තු නායකයාගේ උදාර චරිත ලක්‌ෂණ පැහැදිලි කර කතාවෙන් දෙන පණිවිඩය කුමක්‌දැයි පැහැදිලි කරන්න.
6. අපණ්‌ණක ජාතකයේ එන සිද්ධි අනුපිළිවෙලට ලියන්න.
7. ජාතක කතා හෙළි කරන දර්ශනය කුමක්‌ද ?