මිනිසා වූ කලී ස්‌වභාව දහමට අයත් එක් සත්ව කොට්‌ඨාසයකි. නමුදු අනෙක් සත්ව කොට්‌ඨාස වලට වඩා මිනිසා සතු සුවිශේෂී වෙනස වන්නේ බුද්ධිය මෙහෙයවා වැඩ කටයුතු කිරීමේ හැකියාවයි. ඒ අනුව මිනිසා විවිධ දේ අත් හදා බලමින්, හඳුනා ගනිමින්, සොයා බලමින් සංවර්ධනය විය. එය දිනක මාසයක අවුරුද්දක හෝ අවුරුදු සියයක සංවර්ධනයක් නොවේ. වර්තමාන තත්වයට මිනිසා දියුණු වී ඇත්තේ වසර මිලියන ගණනක කාලයක් තුලය. කොතෙක් දියුණු තත්වයට පත්වුවත් සොබා දහමේ තවත් විස්‌මිත ශක්‌තීන් පරාජය කිරීමට වර්තමාන මිනිස් සමාජයට පවා හැකියාවක් නැත.
ආදී කල්පිත මානවයා ඉතාමත් අඩු අවශ්‍යතාවයන් ගෙන් යුතු සොබාදහමේ කොටසක් ලෙස ජීවත් වූහ. ඔවුන් ගේ ප්‍රධාන අවශ්‍යතාවය වූයේ කෑමට හා බීමට යමක් සොයා ගැනීම පමණකි. එයද සොබාදහමේ සම්පත් අතරින් සොයාගත් කොළ, ගෙඩි, අල , හා සතුන් ගේ මාංශ ආදියයි. ඔවුන්ට ස්‌ථිර නිවහනක් නොවීය. වන සතුන් ගෙන් හා ස්‌වාභාවික වැස්‌ස, සුළග ආදියෙන් මිදීම සඳහා, ගල් ලෙන්, ගස් බෙන ආදියෙහි වාසය කලහ. විටෙක නියඟ, සාගත, ලැවු ගිනි ආදියෙන් ඔවුන් ගේ ජීවිත බිලිගත්හ. ඔවුන් සොබා දහම සමග නිරන්තර අරගලයක යෙදෙමින් ජීවත් වූවෝ වූහ.
ජීවත් වීමට කෙරුනු මේ අරගලයේදී ඔවුන්ට එවාට මුහුණ දීම සඳහා හා ගැලවීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කිරීමට පුරුදු වුහ. ආහාර සොයා ගැනීමටත්, විපත් වලින් මිදීමටත් උපක්‍රම සොයා ගත්හ.
තමාට මේ විපත් පමුණු වන්නෙකු සිටිය හැකියයි ඔවුන් සිතූහ. තමා කෙරෙහි අමනාප වී මේ බලවේගය විපත් කරණ බව සිතූහ. එම නිසා මේ අදෘස්‍යමාන බලවේග අමනාප නොකර තබා ගැනීමට ඔවුන් සතුටු කල හැකි ක්‍රම කෙරෙහි අවදානය යොමු කලෝය. මේ බලවේගය හිරු යැයි සිතූහ. බැගෑපත් ව හිරුට කන්නලවු කිරීම, ගායනා පවත්වා නැටුම් ඉදිරිපත් කර එම බලවේග සතුටු කිරීමට ආදි වාසී මිනිසා පෙළඹුනේය. මේ අනුව ඉර, සඳ, ගින්න, සුළග ආදීයට ගැත්තන් වූ ඔවුහූ ඒවාට ගරු කරමින් පුද සත්කාර කරනු ලැබීය.
මේ අයුරින් සොබා දහම පිලිබඳ තර්කානුකූල නිගමනයකට පැමිණීමට නොහැකි වූ ආදී මිනිසා සොබා දහමට ගරු සත්කාර, පුද පුජා, නැටුම් ගැයුම් කරමින් තම බිය පහ කරගත්හ.විවිධ අයුරුන් හඩ නගා උස් හඩින් ගායනා පවත්වමින් නර්තනයේ යෙදුනේ මෙම බලවේග තුටු කිරීම බලාපොරොත්තුවෙනි.
නර්තන කලාවේ ප්‍රභවය ඇති වූයේද මෙවැනි පුද පුජා ආශ්‍රයෙන් බව බොහෝ වියතුන් ගේ මතයකි. පුද පුජා සඳහාම පමනක් නොව හුදු විනෝදාස්‌වය සඳහා ද ඔවුන් ප්‍රීති ඝෝෂා කරමින් නැටූහ. උදාහරණයක් ලෙස සතෙකු දඩයම් කරගත් අවස්‌තාවක එම සතුට නටා සැමරූහ. මේවා හුදු ආවේගයන් සඳහා උපන් නැටුම් හා චලව වූ අතර මනා සංවිධානයක් ඒ තුල දක්‌නට නොලැබිනි. කල් යත්ම ගායනයේ හෝ රැගුමෙහි දක්‍ෂයන් ප්‍රධාන පූජකයකු හෝ යකැදුරෙකු බවට පත්වී ඔහු විසින් උගන්වන ලද යම් චලන හෝ ගායනා සංවිධානාත්මක විය.
කල් යත්ම නර්තනය විනෝදාස්‌වාදය සඳහා කරන ලද්දක් බවට පත්විය. පුද පුජා ආශ්‍රිතව පටන් ගැනුනු නර්තන ක්‍රම විනෝදාස්‌වාදය සඳහාද භාවිතා කලහ. වර්තමානයේ අපේ ශාන්ති කර්ම වල ඇතුලත් නැටුම් අංග විනෝදාස්‌වාදය සඳහා යොදා ගැනීම උදාහරණයක් ලෙස දැක්‌විය හැකිය.
වර්තමානයේ ලොව ජීවත් වන නොදියුණු මිනිස් ගෝත්‍ර පිලිබඳ කරන පර්යේශණ මගින් සනාත වන්නේ ඔවුන් විනෝදාස්‌වාදයට වඩා පුද පුජා සඳහා නැටුම් භාවිතා කරන බවකි.
මෙසේ ආරම්භ වූ නර්තන කලාව විවිධ කාල වකවානු වලදී දියුණු වෙමින් අද පවතින තත්වයන් දක්‌වා දියුණු වී ඇති අතර සමහරක් දෑ වර්තමානය විනාශ වී හෝ පිරිහෙමින් පවතී.