නන්ද කුමරු සිද්ධාර්ථ ගෞතම බුදු රජුන්ගේ සහෝදරයාය. ඔහු සුදෝවුන් රජතුමාගේ පුත්‍රයාය. මහාමායා දේවිය මරණයට පත්වීමෙන් පසුව විවාහ කරගත් මහා ප්‍රජාපතී ගෝතමියගේ පුත්‍රයාය. බුදුන්වහන්සේ සිය අභිනිෂ්ක්‍රමණයෙන් පසුව බුද්ධත්වයට පත්ව කිඹුල්වත් නුවරට වැඩම කළ දෙවන දිනයේ කපිලවස්‌තු පුරයෙහි මහා තෙමඟුල් උත්සවයක් විය. නන්ද කුමරු නව මාලිගාවට පිවිසීම, (ගෙවැදීම) සරණ මංගල්‍ය සහ ඔටපනු පැළදීමේ උත්සවය මෙම තෙමගුලයි.
මෙවැනි උත්සව තුනක් තිබෙන අවස්‌ථාවක බුදුන්වහන්සේ රජ ගෙදර දන් වළඳා විහාරයට යන්නේ නන්ද කුමරු අතට පාත්‍රය දී ඔහුද විහාරයට කැඳවා ගෙනය. මොහු මෙසේ යන ආකාරය ඔහු විවාහ කරගැනීමට සිටි ජනපද කල්‍යාණිය තම නිවසේ සිට බලා සිට, "ගිහින් වහාම එන්නැයි" කියයි. එහෙත් විහාරයට ගිය නන්ද කුමරු බුදුන්ගේ ඉල්ලීම මත පැවිද වෙයි.
එහෙත් ඔහුට මහණ දම් පිරීමට සිතෙහි නිසංසල බවක් නැත. සිතේ ඇත්තේ චංචල බවකි. කල්පනාවකි. එයට හේතුව ජනපද කල්&`ණියට දී ඇති පොරොන්දුව ඉටු කිරීමට නොහැකි වීමය. නන්ද තෙරුන් සසුනේ කලකිරී සිටින බව බුදුන්ට සැලවෙයි. නන්ද කැඳවා බුදුන් කරුණු විමසයි. නන්ද තෙරුන් ජනපද කල්‍යාණිය පිළිබඳ සිද්ධිය බුදුන්වහන්සේට දැනුම් දෙයි. මෙහිදී බුදුන්වහන්සේ නන්ද තෙරුන්ගේ සිත සසුන කෙරෙහි යොමු කරනු සඳහා උපායශීලිව උපක්‍රමයක් යොදයි.
බුදුන්වහන්සේ නන්ද තෙරුන් තව්තිසා දෙව්ලොවට ගෙන ගොස් ලස්‌සන දිව්‍යාංගනාවන් පෙන්වයි. දෙව්ලොවට යන අතර මගදී බුදුන්වහන්සේ නන්ද තෙරුන්ට හේනක දැවී ගිය වැඳිරියක් පෙන්වයි. දෙව්ලොව ගිය බුදුන්වහන්සේ නන්ද තෙරුන්ට කාරනා කියා දෙයි. මෙහිදී හරියටම දෙවඟනන් හා සංසන්දනය කර බලන විට ජනපද කල්‍යාණිය හේනේ දැවී ගිය වැඳිරිය හා සමාන බව නන්ද තෙරුන් විසින්ම ප්‍රකාශ කරයි. මේ ගමනේදී තත්වාබෝධය ලැබූ නන්ද තෙරුන් භාවනා කොට රහත් වෙයි.
මෙයින් පසුව ධර්ම සභා මණ්‌ඩපයේදී භික්‌ෂූන්වහන්සේලා අතර මේ පිළිබඳව ඇති වු සාකච්ඡාව නිරවුල් කළ බුදුන්වහන්සේ අතීතභවයකදීත්, මේ දේ, මෙසේම වී, යයි නන්ද තෙරුන්ගේ ඉකුත්වත දැක්‌වීය.
පෙර බරණැස් නුවර කප්පට නම් වෙළෙන්දකු සිය කොටළුවා පිට බඩු පටවා ගෙන වෙළඳාමේ යන්නේය. පොටළුවා තණ කෑම සඳහා මුදා හැරියේය. මේ අවස්‌ථාවේ එක් කොටළු දෙනක දුටු කොටළුවා ඇය කෙරෙහි සිත් බැඳ වෙළෙන්ඳා සමඟ ආපසු යාමට අකමැති වෙයි. මෙහිදී වෙළෙන්ඳා කොටළුවාට ඊට වඩා ලස්‌සන කොටළු දෙනක දෙන බවට පොරොන්දු කරවාගෙන කොටළුවා සමඟ සිය ගම් පියසට යයි.
එයින් පසුව කොටළුවාට කොටළු දෙනක පාවාදීමෙන් සිදුවන අවාසිය ගැන වෙළෙන්ඳා කියයි. එයින් පසුව ක්‍රමයෙන් කොටළු දෙන කෙරෙහි වු ආලය කොටළුවා කෙරෙන් ඉවත්ව යයි.
නන්ද තෙරුන් කෙරෙහි මෙම සංසාරික පුරුද්ද බලපෑ ආකාරය බුදුන්වහන්සේ භික්‌ෂූන්ට දේශනා කළහ. මෙම කතාවෙන් පැහැදිලිවන්නේ මිනිස් සිතත් යථා ස්‌වභාවය ක්‍රියාකරන ආකාරය සහ ක්‍රියාකාරිත්වයේ යම් ආකාරයේ උපාය මාර්ග සහ උප ක්‍රම අනුගමනය කිරීමෙන් වෙනසකට භාජනය කළ හැකි බවයි.
නන්ද තෙරුන්ගේ කතා වස්‌තුව ඉදිරිපත් කරන සද්ධර්මරත්නාවලී කතුවරයා ශ්‍රව්‍ය ගෝචර සරල භාෂා රටාව සහ උපමාදිය යොදා ගනිමින් එය අසන්නාට මෙන්ම කියවන්නාට ද මධුරත්වයක් හා රසඥතාවයක් දනවන ආකාරයෙන් රචනා කර ඇත. මහා ප්‍රජාපතී ගෝතමියට ධර්ම දේශනා කිරීම, රාහුල කුමරුන් දායාද ඉල්ලා බුදුන් වෙත පැමිණීම, නන්ද කුමරුන් කැඳවාගෙන ගොස් පැවිදිකර නිවනට දායාද කරවීම ආදී මෙම අවස්‌ථා උපමා ආදිය යොදා ගනිමින් හා ගැමි බස්‌වහර උපයෝගි කරගනිමින් සරල ශෛලියකින් සහ ශ්‍රව්‍යගෝචර රටාවකින් රචනාකර තිබීම තුළින් එය අසන්නාට මෙන්ම පාඨකයාටද අවබෝධකරගත හැකි සුගම බස්‌වහරක් මෙන්ම සරල ශෛලිය උපයෝගි කරගනිමින් කරන ලද රචනාවක් හැටියට සැලකිය හැකිය. ධර්මසේන හිමියන්ගේ නිර්ව්‍යාජ භාෂා ශෛලිය සහ ගැමි පරිසරයෙහි හැදී වැඩී සිටීම සහ ගැමි පරිසරයේ අත්දැකීම් ආදිය අනුගමනය කිරීම තුළින් මූලික වශයෙන් ඔහු බලාපොරොත්තු වූයේ යහපත් සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය වාතාවරණය මෙවැනි කතා ආශ්‍රය කරගෙන ඒ තුළින් සමාජ ක්‍රියාකාරීත්වයක් ඇති කිරීමටය. ඔහු යොදාගත් බස්‌වහර, ශෛලිය, උපමා ආදිය තුළින් එය සාර්ථකත්වයට පත්ව ඇත.
අභ්‍යාස හුරුව 1
1. සද්ධර්මරත්නාවලී කතුවරයා පිළිබඳ හැදින්වීමක් කරන්න.
2. දඹදෙනි යුගයේ ජීවත්වූ ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ දක්‌නට ලැබෙන ලක්‌ෂණ මොනවාද ?
3. නන්ද මහ තෙරුන්ගේ කතාව ඉතාමත් කෙටියෙන් ලියන්න.
4. මිනිස් චිත්තයෙහි සමාජමය ක්‍රියාකාරිත්වය නන්ද තෙරුන්ගේ කතාවෙන් පැහැදිලි කරන්න.
5. උපක්‍රමශීලිත්වය තුළින් මිනිස් චිත්තයෙහි වෙනසක් ඇති කිරීමට ඇති ශක්‍යතාවය නන්ද තෙර කතාවෙන් පැහැදිලි කරන්න.
අභ්‍යාස හුරුව 2
1. සද්ධර්මරත්නාවලී කතුවරයා තුළ උපමා යොදා ගැනීම පිළිබඳව පැවති කුශලතාවය පැහැදිලි කරන්න.
2. ගැමි බස්‌වහර උපයෝගි කරගැනීමෙන් සද්ධර්මරත්නාවලී කතුවරයා තුළ පැවති බස හැසිරවීමේ කුශලතාවය කෙබදු එකක්‌දැයි නන්ද තෙරුන්ගේ කතාව ඇසුරෙන් පැහැදිලි කරන්න.
3. ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ දක්‌නට ලැබෙන සුවිශේෂතා මොනවාද ?
4. සද්ධර්මරත්නාවලී කතුවරයාගේ ජීවන අත්දැකීම ඇගයීමට සහ රස වින්දනයට යොමු කරන්න.
5. නන්ද තෙරුන්ගේ කතා වස්‌තුවෙන් ඉදිරිපත් කෙරෙන ආදර්ශය කුමක්‌දැයි පැහැදිලි කරන්න.
අභ්‍යාස හුරුව 3
1. ශ්‍රව්‍ය ගෝචර රටාව යනු කුමක්‌ද ?
2. සද්ධර්මරත්නාවලිය රචනා කිරීමෙහි අරමුණ හා පරමාර්ථය කුමක්‌දැයි පැහැදිලි කරන්න.
3. දඹදෙනි යුගයේ ලියවී ඇති කෘතීන් මොනවාද ?
4. අවස්‌ථා නිරූපණය, චරිත නිරූපණය, සිද්ධි නිරූපණය මගින් සද්ධර්මරත්නාවලී කතුවරයාගේ නිර්මාණාත්මක හැකියාව අනාවරණය කරන්න.
5. සද්ධර්මරත්නාවලී කතුවරයාගේ භාෂා විලාශය නිදසුන් සහිතව පැහැදිලි කරන්න.
6. නන්ද ථෙර කතා වස්‌තුවෙන් හෙළි කරගත හැකි සමාජ තොරතුරු පිළිබඳ සමාලෝචනයක යෙදෙන්න.
7. අවස්‌ථා සම්බන්ධයට උචිත කොටස් තෝරා ලියන්න.