බුදුන් වහන්සේ ප්‍රථමයෙන් ලංකාවට වැඩි බව සඳහන් වන්නේ මහියංගනයටයි. එහිදී යක්‍ෂ ගෝත්‍රිකයින් දමනය කළ බවද, සමන් දෙවියන් හට කෙස් මිටක්ද දුන් බවද කියවේ. සමන් දෙවියන් විසින් එම කේෂ ධාතු ඉඳුනිල් කරඬුවක බහා මහියංගන ස්ථූපය තනන ලද බව මහා වංශයේ කියවේ.
නාගදීපයට වැඩීම
බුදුන් වහන්සේ නාග ගෝත්‍රික සොයුරන් වූ චූලෝධර හා මහෝධර අතර මැණික් කිරුළකට ඇතිවූ කලහය සන්සිඳවීමට නාගදීපයට බුද්ධත්වයෙන් පසු පස්වන වසරේ වැඩි බව මහා වංශයේ සඳහන්ය. කළහය සන්සිඳවා ඇතිවන්නට ගිය යුද්ධයක් නැවතූ උන් වහන්සේ ඔවුනට දහම් දෙසා මිතුරු කළහ.
කැළණියට වැඩම කරවීම
බුදුන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩියේ කැළණියටයි. ඒ බුද්ධත්වයෙන් පසු අටවන වසරේ දුරුතු පෝය දිනය. මණිඅක්කිත නම් නාග ගෝත්‍රික රජුට දහම් දෙසූ උන් වහන්සේ, සමන් දෙවියන්ගේ ආරාධනය පිට සමණළ කන්දට වැඩම කොට තම ශ්‍රී පාදයට එහි පිහිටවූ බව මහා වංශය කියයි.
