නාට්‍ය
 

" භරත නාට්‍යම් " සම්ප්‍රදායේ එන "භගවත්මේලා" සහ "කුරවන්ජි" යන අංග නෘත නාටක නැතහොත් නාට්‍ය ගණයේ ලා ගැනිය හැකි ඒවාය. මෙම නාට්‍ය අංග වර්තමානයේ මෙන් සම්පූර්ණ කථාවක්‌ ඇතිව කරන්නක්‌ නොවේ. කිසියම් අවස්‌ථා නිරූපණයකි. කාලයාගේ ඇවෑමෙන් මෙකී නර්තන සම්ප්‍රදාය විවිධ හේතූන් නිසා සංකීර්ණ තත්වයකට පත්වි ඇත. වර්තමාන භරත නාට්‍යම් සම්ප්‍රදාය ක්‍රමානුකූල ලෙස සකස්‌ කිරමේ ගෞරවය හිමි වන්නේ 1789 - 1824 කාලය තුළ ජීවත් වූ
 
 * චින්නයියා
 * පොන්නයියා
 * වඩිවේළු
 * ශිවනාදන්
 යන සහෝදරයන් හතර දෙනාටය. ඔවුන් "තන්ජාවුර් සහෝදරයින්" ලෙස හඳුන්වනු ලැබේ. 

 


 19 වන සියවසේ මුල් කාලයේ දී මෙකී තන්ජාවුර් සහෝදරයින් විසින් වේදිකාවට සකස්‌ කරන ලදුව අද දක්‌වාත් පැවත ගෙන එන භරත නාට්‍යම් දර්ශනයක අනු පිළිවෙළ මෙසේය.
 1 අලාරිප්පු - ඉතා කෙටි නැටුමකි. ප්‍රාරම්භක නැටුමක්‌ වන මෙය නෘත කොටසට අයත් ය.
 2 ජතීස්‌වරම් - හුදු රිද්මයානුකූල නැටුමකි. අදහස්‌ ප්‍රකාශ කිරීමක්‌ නොකෙරේ. නෘත කොටස අයත් ය.
 3 ශබ්ධම් - අභිනව ඉදිරිපත් කරමින් කරන නැටුමකි. ස්‌තෝත්‍ර ගීතයකට අනුව කෙරේ.
 4 වර්ණම් - තීරුමානම් නමැති කොටසින් පටන් ගෙන කරන දීර්ඝ නැටුම් කොටසකි. එසේම භරත නැටුමේ එන අසීරුතම නැටුම් අංගයකි. මෙහිදී නෘත , නෘත්‍ය යන අංග දෙකෙහි ම ලක්‌ෂණ දැක්‌වීමට පුළුවන.
 5 පදම් - භක්‌ති ගීත අනුව කරන නර්තන අංගයකි. අභිනයෙන් සහ හස්‌ත මුද්‍රා මගින් රඟ දැක්‌වේ.
 6 තිලානා - හුදු රිද්මය ප්‍රකාශ කිරීමේ නැටුම් අංගයකි. මෙහදී අභිනයට එතරම් ප්‍රධාන තැනක්‌ නොලැබේ. තිලානා යනු සුන්දර වූත් ව්‍යාකූල නැටුම් සංයෝජනයක්‌ ඇත්තා වූත් නර්තන අංගයකි. 


 මෙකී නර්තන අංග කර්ණාටක සංගීතයට අනුව ඉදිරිපත් කෙරේ. "මෘදංගම්" බෙරය සහ තාලම්පට වැයීම මෙහි විශේෂ ලකෂණයකි. තාලම්පට වයන්නා හඳුන්වන්නේ නටුවනාර් යනුවෙනි.