කුරුණෑගල යුගය
 
දඹදෙණි සහ කුරුණෑගල යුගයන් ඉතා ආසන්න කාල වකවානු වූ නිසාත් කුරුණෑගල යුගය කෙටි රාජ්‍ය යුගයක්‌ වූ නිසාත් මෙම යුග දෙකම බොහෝ විට එකම යුගයක්‌ ලෙස සැලකේ.

කුරුණෑගල යුගය වැදගත් වන්නේ එම යුගයේ සාහිත්‍ය ග්‍රන්ථ රාශියක්‌ ලියැවී තිබීමත් ඒවායේ නර්තනය පිළිබඳ තොරතුරු ඇතූළත් ව තිබීමත් නිසාය. මෙම යුගයේ දී ලියැවුණු පොත්පත් අතරින් වැදගත් කෘතීන් ලෙස සැලකිය හැක්‌කේ.
 
 * ථුපවංශය
 * දළදා සිරිත
 * උම්මග්ග ජාතකය යන කෘතීන්ය.
 
 ථූප වංශයේ වාද්‍ය භාණ්‌ඩ විශාල ගණනක නාමලේඛනයක්‌ සඳහන් කර ඇත. ඒවා අතර විවිධ බෙර වර්ග ඝන වාදන භාණ්‌ඩ සහ තත් භාණ්‌ඩ ඇතුළත් ය. නකුල වීණා, දද්දර වීණා, බ්‍රහ්ම වීණා, කායිතාලම් - රඝූතාලම්ථ සමුත්තාලම්, දැදුරු බෙර, පනා බෙර, ගැටබෙර, රෝද බෙර, මහබෙර, එකැස්‌ බෙර, ලොහො බෙර, එහි සඳහන් කර ඇති වාද්‍ය භාණ්‌ඩයන් අතුරෙන් කිහිපයකි.

දළදා සිරිතේ ද මෙයට සමාන විස්‌තරයක්‌ ඇතුළත් කර ඇත. මද්දල, මහමකුඩම්, පණාබෙර, මිහිඟුබෙර, ඩමරු, ඩැක්‌කි, උඩැක්‌කි, තලප්පර. වරන්දම්, වර මොරසු, කංසුතාලම්, සින්නම්, තම්මැට, යනාදී වශයෙන් වාදන භාණ්‌ඩ විශාල ගණනක නාම ලේඛණයක්‌ එහි සඳහන් ය.

උම්මග්ග ජාතකයේ සක්‌ සින්නම්, තන්තිරිපට, මහබෙර, පනාබෙර, රන්සක්‌, රිඳී සක්‌, භාණ්‌ඩ පිළිබඳව සඳහන් වන අතර ආතන විතන විතතාත - ඝන - සුසිරය යන පංචාංගික තූර්ය නාද පැවැත්වූ බව කියැවේ.
 
කුරුණෑගල යුගයට අයත් රිඳී විහාරයේ දොරෙහි ඇත් දත් වලින් කැටයම් කර ඇති නළඟන රූපයන් ද මෙම යුගයේ නැටුම් කලාව පිළිබඳව අපට ලැබී ඇති වටිනා සාධකයකි.
(c) Shilpa Sayura Foundation 2006-2017