පොළොන්නරු යුගය
 

නර්තන කලාව සම්බන්ධයෙන් බලන විට පොළොන්නරුව මෙම යුගය විශේෂ කරුණු දෙකක්‌ නිසා වැදගත් ය.
 
 * හින්දු ආක්‍රමණය හේතුකොට ගෙන ව්‍යාප්ත වූ හින්දු ආගමික සහ සංස්‌කෘතික ලක්‌ෂණ නර්තන කලාව කෙරෙහි බලපෑම.
 * මහා පරාක්‍රමබාහු රජතුමා විසින් රට එක්‌සේසත් කිරීම නිසා ඇති වූ ආර්ථික සහ සංස්‌කෘතික දියුණුව හේතු කොටගෙන නර්තන කලාවේ නව ප්‍රබෝධයක්‌ ඇති වීම.
 
 පොළොන්නරු යුගයේ නර්තන කලාව පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ අපට ලැබෙන්නේ මහාපරාක්‍රමබාහු රජතුමාගේ කාලයෙනි. පොළොන්නරුව යටත් කරගෙන සිටි දමිලයන්ගෙන් රට මුදාගත් එතුමා ශ්‍රි ලංකාව එක්‌සේසත් කළේය.
 
 * පරාක්‍රමබාහු රජතුමා නර්තනය, ගීතය හ නාට්‍ය ශාස්‌ත්‍රය උගත් බව "චූල වංශය" නැමැති ග්‍රන්තයේ සඳහන් ව ඇත. එතුමා කලාව ප්‍රගුණ කළ නැටුම් ශිල්පියෙක්‌ විය.
 
 * පරාක්‍රමබාහු රජතමා ගේ දේවිය "රූපාවති" බිසව (ලීලාවති බිසව) දක්‌ෂ නාට්‍යංගනාවක්‌ විය.
 * එතුමාගේ මාළිගාවෙහි නැටුම් ගැයුම් දැක්‌වීම සඳහා "සරස්‌වතී මණ්‌ඩපය" නමින් විශේෂ ශාලාවක්‌ ඉදිකර තිබුණි.
 
 * කුලීන පවුල් වල තරුණ තරුණියන් ගෙන්වා ගෙන ඔවුන්ට නැටුම්, ගැයුම් උගන්වා ගම් නියම්ගම් වලට යවා රටේ සිදුවන කටයුතු පිළිබඳව තොරතුරු සැපයීමට ඔවුන්ට පැවැරූ බව කියැවේ. මේ අනුව නර්තනය චරපුරුෂ සේවාවන් සඳහා පවා මෙම යුගයේදී යොදා ගත් බව පෙනේ.
 * පොළොන්නරුවේ නගර සැලසුම් කිරීමේ දී පරාක්‍රමබාහු රජතුමා නාට්‍ය ශාලා පහක්‌ ඉඳිකළ බව "චූල වංශයේ" සඳහන් ය. තමන්ගේ හමුදා සෙබළුන්ට නැටුම් නරඹා රස විඳින්නටද එතුමා කටයුතු සලසා තිබේ.
 * පොළොන්නරුවේ වටදාටගය ඇති නටන ස්‌ත්‍රී පුරුෂයින්ගේ රූකම් පෙළත්, තිවංක පිළිමගෙයි ඇති නැටුම් ඉරියව් දැක්‌වෙන ගණ රූප පෙළත් මෙම යුගයේ දියුණු නර්තන කලාවක්‌ පැවති බවට අපට ලැබෙන අනෙක්‌ සාධකයන් වේ.
 
 * මහා පරාක්‍රබාහු රජතුමා කර වූ 12 වන සියවසට අයත් "කොට වෙහෙරහි" දක්‌නට ඇති නළුරුපය, බෙර වාදකයා, සහ තාලම්පට කරුගේ රුපයත්, එහිම තිබී සොයා ගත් ඇත් පහනේ කැටයම් කර ඇති නළඟන රුවත් මෙම යුගයේ අපට ලැබී ඇති අනෙක්‌ වැදගත් සාධකයන් ය.
 
 පොළොන්නරු යුගයේ නර්තන කලාව පිළිබඳව වැදගත් අනෙක්‌ රජතුමා වන්නේ නිශ්ශංක මල්ල රජතුමායි. එතුමාගේ කාලයේ දී ද නර්තන කලාව ඉතා දියුණු මට්‌ටමක පැවති බව පෙනේ.
 
 * නිශ්ශංක මල්ල රජතුමාගේ කාලයේ දී ඉදිකළ සැටදාගෙයට ඇතුළු වන ස්‌ථානයේ දෙපස නර්තකයින්ගේ සහ බෙර වාදකයින්ගේ රූකම් රැසක්‌ ඇත.
 * එතුමා විසින් කරවන ලද සෙල්ලිපියක "බෙරලවා" යනුවෙන් සඳහන් ව ඇත.

 * නිශ්ශංසමල්ල රජතුමා කාලිංග වනයෙහි හිඳ නැටුම් ගැයුම් බලා විනෝද වීමට ශෛලමය සිංහාසනයක්‌ ඉදිකරවා ඇත. එම ආසනයේ කරවා ඇති ශිලා ලේඛනයේ ඒ බව සඳහන් ව ඇත.
 * "කලා ක්‍රීඩා විනෝද ගල් ආසනය" නැමැති තවත් ශෛලමය සිංහාසනයක සඳහන් වන්නේ "නෘත්‍ය ගීතාදී කලා ක්‍රීඩා පිණිස වැඩ හිඳිනා සිංහාසනයයි" යනුවෙනි. මේ අනුව ඒ ස්‌ථානයන්හි රංග මණ්‌ඩප ඉදිකර තිබූ බව සහ එම ස්‌ථානයන්හි හිඳ නිශ්ශංක මල්ල රජතුමා නැටුම් ගැයුම් නැරඹු බව සනාථ වේ.
 * රජු පැමිණෙන අවස්‌ථාවලදී නාටක ස්‌ත්‍රීන් ගීත ගයමින් නර්තනයේ යෙදෙමින් රජතුමා පිළිගත් බව චූලවංශයෙහි සඳහන් විස්‌තර අනුව පෙනේ.
 
 මෙම යුගයේ දී පැවැති නර්තන සම්ප්‍රදාය කවරක්‌ ද යන්න නිශ්චිත වශයෙන් ම කිව නොහැක. පොළොන්නරු යුගයට අයත් පාලමොට්‌ටෙයි ශිලා ලේඛනයේ දේවදාසීන් ගේ නැටුම් පිළිබඳව සඳහන් ව පවතින නිසාත්, හින්දු සංස්‌කෘතික අංග බහුලව ව්‍යාප්තවීමත් නිසා රාජ සභා ආශ්‍රිතව ඉන්දියානු "භාරත නැටුම්" සම්ප්‍රදාය පවතින්නට ඇතැයි අනුමාන කළ හැකිය. කෙසේ වෙතත් රාජසභාවෙන් බැහැරව සාමාන්‍ය ජනතාව අතර අපේම වූ දේශීය නර්තන සම්ප්‍රදායක්‌ පවතින්නට බොහෝ ඉඩකඩ තිබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017