අභිචලන ඇසුරෙන් ගීත අනුව නර්තන නිර්මාණ
  "අභිචලන" යනු ප්‍රකාශනාත්මක චලනයි. කිසියම් චලනයක්‌ මගින් අදහසක්‌ ප්‍රකාශ වේ නම් එය අභිචලනයකි. ප්‍රකාශනයේ සරළ බව සංකීර්ණ බව සැලකිල්ලට ගෙන අභිචලනය,
 
 * සරළ අභිචලනය
 * සංකීර්ණ අභිචලනය
 
යනුවෙන් කොටස්‌ දෙකකට වර්ග කළ හැකිය. සරළ අභිචලනයක්‌ යනු, එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී ඇස, අත, හිස යනාදී පංචේන්ද්‍රියන් ඇසුරු කොට ගෙන ඉඟි ( විවිධ ඉරියව් ) භාවිතයෙන් අප විසින් කරනු ලබන අදහස්‌ ප්‍රකාශනයයි. ඒවා තේරුම් ගැනීම හෝ වටහා ගැනීම පහසුය.
 
සංකීර්ණ අභිචලනයක්‌ යනු, විවිධ භාවයන් සහ අභිනයන් ප්‍රකාශ වන සේ සංකීර්ණ මුද්‍රා ඇසුරු කරගෙන කරනු ලබන අභිචලනයන්ය. මේවා තේරුම් ගැනීම දුෂ්කරය. ඒ සඳහා විශේෂ දැනුවත්කමක්‌ ඉගෙනුමක්‌ ලබා තිබීම අවශ්‍ය වේ.
 අභිචලන සඳහා සුදුසු ගීත තෝරා ගැනීමේදී
 
 * පද මාලාව තුළින් අදහස්‌ ප්‍රකාශනයට අවස්‌ථාව සලසා ඇති ගීත.
 * පහසුවෙන් තේරුම් ගත හැකි සරළ අරුත් සහිත ගීත.
 * චලන මාධ්‍ය යොදා ගනිමින් විචිත්‍රත්වයක්‌ මතු කිරීමට සුදුසු ගායන හා සංගීත රටාවක්‌ සහිත ගීත.
 * සංස්‌කෘතික හා සදාචාරාත්මක වටිනාකමක්‌ සහිත ගීත.
 * වයස්‌ මට්‌ටමට සහ පන්ති මට්‌ටමට ගැළපෙන ගීත.හඳුනාගත යුතුය.
 
කවර හෝ ගීතයක යෙදෙන වදන් මාලාවකට අනුව " අවිචාරවත් ලෙස කරන පිටි කෙටීමකට හෝ පිටි හැලීමකට " වඩා විචාරවත්වූත් වඩාත් සංවිධානාත්මක වූත් ආකාරයෙන් චලන රටා ගොඩනඟා ගැනීමටත් ප්‍රශස්‌ත රංගනයක්‌ නිර්මාණය කිරීමටත් ඒ අනුව ඔබට හැකියාව ලැබෙනවා ඇත.
 
අභිචලන නිර්මාණය සඳහා සුදුසු ගීත කිහිපයක්‌.
 * ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා (අමරදේව)
 * රත්නඳීප ජන්ම භූමි (අමරදේව)
 * අක්‌කෙ අක්‌කෙ අර බලන්නකෝ
 * මේ සිංහල අපගෙ රටයි (නන්දා මාලිනි)
(c) Shilpa Sayura Foundation 2006-2017