තාලානුකූල චලන ඇසුරෙන් නර්තන නිර්මාණ
  තාලානුකූල චලන යනු මොනවාද? යන්න ඉහත පාඩම මගින් ඔබට ඉතාම හොඳින් අවබෝධව ඇත. මීළඟට අප කළ යුත්තේ තාලානුකූල චලන ඇසුරෙන් ගීතයකට අනුව නර්තන නිර්මාණය කරන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමයි.

ප්‍රථමයෙන්ම අප කළ යුත්තේ තාලානුකූල ලක්‌ෂණ වඩාත්ම දැනෙන ගීතයක්‌ තෝරා ගැනීමයි. මෙහිදී ගීතයේ අරුත හෝ එහි තේමාව ගැන විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වීම අවශ්‍ය නැත. අවශ්‍ය එකම සාධකය වන්නේ එය තාලානුකූලව ගායනය කළ හැකි ගීතයක්‌ ද යන්නයි.
 
දෙවන පියවර වන්නේ එම ගීතයට සවන් දීමයි. නැතහොත් එය ගායනය කිරීමයි. සවන් දීමෙන් සහ ඒ අනුව ගායනයෙන් එය කවර තාල රටාවකට අනුව ගැයෙන්නක්‌ද යන්නත්, එහි ගායන කොටස්‌ කවර තාල ආවර්ත ගණනකට අනුව කරන්නේ ද යන්නත් හඳුනාගත යුතුය. එසේම එහි ඇතුළත් සංගීත ඛාණ්‌ඩ සඳහා ගතවන තාල ආවර්ත සංඛ්‍යාවන් හඳුනාගත යුතුය. එසේ හඳුනාගත යුතු වන්නේ සංවිධානාත්මකව කටයුතු කිරීමට එමගින් හුරුවක්‌ ලබාගත හැකිවන බැවිනි.
 
තුන්වන පියවර වන්නේ නර්තන නිර්මාණයයි. ඔබට මේ සඳහා සම්ප්‍රදායික නර්තනයන්හී අන්තර් ගත චලන, ගොඩසරඹ ඇසුරෙන් සකස්‌ කර ගත් චලන හෝ නිදහස්‌ චලන යොදාගත හැකිය. මෙහිඳී ගීතයේ අදහස ප්‍රකාශනාත්මකව ඉදිරිපත් කිරීමක්‌ බලාපොරොත්තු නොවේ. හුදු තාලය අනුව නැටීමක්‌ පමණි.
 
විවිධ සංගීත සංදර්ශනවලදී එය නැරඹීමට එන තරුණ තරුණියන්ට ගීතවලට අනුව රංගනයේ යෙදෙන අයුරු ඔබ දැක ඇත. එහිදී කරන්නේ ද තාලානුකූලව නර්තනයකි. නමුත් එම රංගනයත් අපේ කාර්යයත් අතර පැහැදිලි වෙනසක්‌ ඇත. එවැනි ස්‌ථානයකදී නර්තනයේ යෙදෙන්නේ හුදු තාලය ගැන පමණක්‌ සැලකිල්ලට ගැනීමෙනි.
 
එහි පූර්ව සූදානමක්‌ හෝ සංවිධානයක්‌ නැත. කිහිපදෙනෙකකුට එක්‌වී එකද රංග රටාවක්‌ හෝ ගොඩනැගීමට එහිදී හැකියාවක්‌ නැත. සියලු දෙනාම අවේශ වූවාක්‌ මෙන් නටති. ගීතය පටන් ගත් විට නැටුම පටන්ගෙන, ගීතය නැවැත්වූ පසු නැටුම නතර කරති. තමන් නැටුවේ මොනවාද යන්න ඔවුන්ට අමතකය. තාලයට අනුව ගීතයකට නැටීමේ දී අප විසින් එය ක්‍රමාණුකූලව කළ යුතුය. නර්තනය සඳහා සුදුසු ගීත තෝරා ගැනීමේ නිදහස ඔබට ඇත. එවැනි ගීත වලට උදාහරණ කිහිපයක්‌ පමණක්‌ ඉදිරිපත් කළ හැකිය.
 
 * රන් දහඩිය බිංදු බිංදු (පණ්‌ඩිත් ඩබ්. ඩී. අමරදේව)
 * තිරය වැහෙනවා තිරය ඇරෙනවා (විශාරද සුනිල් එදිරිසිංහ)
 * උඩරට කඳුකර සිරියා පරදන (චිත්‍රා සෝමපාල)
 * ඕපු නෙළුම් නෙරිය නඟාලා (ඉන්ද්‍රානි විජේබණ්‌ඩාර)
(c) Shilpa Sayura Foundation 2006-2017