චරිත තුනක්‌ කතාව
 

මෙම නව කතාව සඳහා කේ. ජයතිලකයන් ගැමි පරිසරය තෝරා ගනී. ගම අවට පරිසරයෙහි පවතිනුයේ අගනා ස්‌වභා සුන්දරත්වයකි. මේ සොබා සෞන්දර්ය ගමට පැමිණියේ කෙලෙසද ? එය අවට පරිසරයෙන්ම ජනිත වෙයි. සුන්දර ගැමි පරිසරය සුන්දරවත් කළෝ ගොවි ගෙවිලියෝය. වෙල් යාය, කමත, හේන, එළවළු කොටුව, දිය අගල, ඇළ දොළ, වන පෙත, කොස්‌, දෙල්, පොල්, පළතුරු ගස්‌ පමණක්‌ නොව සතා සිව්පාවා, කුරුල්ලා කොබෙයියා දෙමලිච්ච, පොල්කිච්චා, බකමූණා, මීහරකා එළහරකා මේ ආදී හැම දෙයක්‌ම එදා මෙන්ම අදද ඈත එපිට ගැමි පරිසරය සුන්දර කරවයි.


මේ ගැමි පරිසරය අකලංකය. පවිත්‍රය. කේ. ජයතලක ස්‌වකීය "චරිත තුනක්‌ නව කතාව සඳහා පාදක කරගෙන ඇත්තේ යට සඳහන් ලරන ලද ගැමි පරිසරය හා ගැමි ජීවන රටාව යයි කිව හැකිය. මෙම නව කතාව විකාශනය වී යන්නේ චරිත තුනක්‌ වටාය.


මෙහි පසුබිම වන්නේ පිතෘ මූලික සමාජයකි. පිතෘ මූලික සමාජ සංස්‌කෘතියේ පවුල ශක්‌තිමත් පදනමක්‌ මත රඳවා තබා ගෙන දූදරුවන් ඉදිරියට ගෙන යන්නේ පියා විසිනි. පිතෘ මූලික සමාජ පදනම සාර්ථක ගැමි ජීවන රටාවක සේයාවක්‌ හැටියට සැලකිය හැකිය. කෙසේ වුවද මෙම සමාජ ක්‍රමයේදී ඇතැම් විට යම් යම් ගැටළුවලට මුහුණ දීමට සිදු වේ. එයට මූලික හේතුව වන්නේ පවුලේ සහෝදරයන් අතර පවතින ගැටුම්ය. මෙම ගැමි පරිසරයෙහි හැදෙන වැඩෙන සහෝදර සහෝදරයන් අතර හෝ සහෝදර සහෝදරියන්
අතර යම් යම් අවස්‌ථාවලදී ගැටීම් ඇතිවීම නොවැළැක්‌විය හැකිය. එසේම එම ගැටීම් ඇතිවෙනවා සේම ඔවුන් අතර ඊටත් වැඩියෙන් පවතින්නේ හද බැඳගත් සහෝදර ශක්‌තියයි. සහෝදර ළබැඳියාවයි.


ඉසා, සනා සහ රංජිත් යන තිදෙනා වටා ගෙතෙන මෙම නව කතාවෙහි ගැමි පවුලක ජීවිත තත්ත්වය පැහැදිලි කරයි. ගැමි පවුල ජීවත් වූයේ විශේෂයෙන්ම හේන් ගොවිතැන පදනම් කරගෙනය. දරුවන් තිදෙනෙක්‌ බිහිවීමෙන් පසුව පවුලේ පියා මියැදෙයි. ඊළගට පවුලේ බර කරට ගන්නේ ගැමි පරිසරයෙහි සිරිතක්‌ වශයෙන් පවුලේ වැඩිමලා විසිනි. මෙම පවුලේ වැඩිමලා 'ඉසා' ය. සිය පියා මරණයට පත්වීමෙන් පසුව ඉසා සිය පවුල නඩත්තු කිරීමේ බර කරට ගත්තේය. පවුලේ වැඩිමලා හැටියට ඔහු විසින් එය ගත යුතු විය.


කේ. ජයතිලකයන් චරිත තුනක්‌ නව කතාව රචනා කිරීමේදී උපයෝගි කර ගත්තේ එයටම සරිලන ගැමි භාෂාවය. ගැමි භාෂාව සප්‍රාණිකය. හරවත්ය. අර්ථවත්ය. ගැමි බස තුළින් චරිත විකාශනය කළ හැකි වන්නේ එයට උචිත අන්දමින් හසුරුවන ලද භාෂාව මගිනි. කේ. ජයතිකයන් ගැමි පරිසරයෙහි හැදුණා වැඩුණා සේම සේම ඔහු තම චරිත තුනක්‌ නව කතාව රචනා කිරීමේදී ද එයට ආවේණික ගැමි බස්‌වහර උපයෝගි කර ගත්තේද ඒ ඒ චරිතයන්ගේ හැසිරීම් රටාව අනුවය, තාත්වික ආකාරයෙන්ම භාෂාව හසුරුවා
ගැනීමට කතුවරයාට හැකිවීම තුළින් පැහැදිලි වන්නේ ඔහු ගැමි බස පිළිබඳව ලබා තිබූ පෘථුල වූ භාෂා නිපුනතාවයයි.


අභ්‍යාස හුරුව
1. නූතන සිංහල කතාවේ ආරම්භය 19 වන සියවසේදී ආරම්භ වු බව පිළිගැනේ. සිංහල නව කතා සාහිත්‍ය ඉතිහාසය ඇසුරෙන් මෙය පැහැදිලි කරන්න.
2. සිංහල නව කතාවේ පිතෘවරයා ලෙස සැලකෙන පියදාස සිරිසේනගේ නව කතා පිළිබඳව විමසීමක යෙදෙන්න.
3. ඩබ්ලිවී.ඒ. සිල්වාගේ නව කතා පිළිබඳව විමසීමක යෙදෙන්න.
4. යථාර්ථවාදී නව කතා බිහි කිරීමෙහිලා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නව කතා සාහිත්‍ය ක්‍ෂේත්‍රයට සිදුවු සේවය කුමක්‌දැයි පැහැදිලි කරන්න.
5. සිංහල නව කතාවේ නූතන ගමන් මග සංකීර්ණ වු එකතැන පල්වෙන ප්‍රපාතයක්‌ බවට පත්ව ඇත. මේ කියමන විමසන්න.
6. "නව කතාකරුවා සිය අත්දැකීම් ඉදිරිපත් කරන්නේ සැබෑ ලෝකය පදනම් කරගෙන බැවින් නව කතාවකින් නිර්මාණය වන චරිතද සජීවි විය යුතුය." මේ කියමන පැහැදිලි කරන්න.
7. වස්‌තු බීජය, ආකෘතිය, චරිත නිරූපණය කර්තෘගේ දෘෂ්ටිය සහ කතා ශෛලිය නව කතාවක අන්තර්ගත විය යුතු මූලික ලක්‌ෂණ හැටියට අගය කරන්න.
8. සිංහල නව කතාව තියුණු ආශ්වාදන මෙවලමක්‌ කිරීමෙහි නියුක්‌ත වු ලේඛකයන් අතර කේ. ජයතිලකට හිමිවන තැන කුමක්‌ද ?
9. ලාංකික ගැමි ජීවන රටාව සහ ගැමි පරිසරය පාදක කර ගැනීම තුළින් කේ. ජයතිලකගේ නව කතා තුළ දක්‌නට ලැබෙන දේශීයත්වය ඔහුගේ චරිත තුනක්‌ නව කතාව ඇසුරෙන් පැහැදිලි කරන්න.
10. චරිත තුනක්‌ නව කතාවේ නිරූපිත සමාජ යථාර්ථය ඉසාගේ චරිතය ඇසුරෙන් පැහැදිලි කරන්න.
11. නව කතාව යනු කලාත්මක ලක්‌ෂණවලින් හෙබි ගද්‍යමය ආඛ්‍යාතයකි. විමසන්න.
12. කේ. ජයතිලක චරිත නිරූපණය සඳහා භාෂාව යොදාගෙන ඇති ආකාරය චරිත තුනක්‌ ඇසුරෙන් පැහැදිලි කරන්න.
13. සිංහල ගැමි සමාජය නිරූපණය වන නව කතාවක්‌ ලෙස චරිත තුනක්‌ අගය කරන්න.
14. ඉසාගේ චරිතයේ ඉස්‌මතුවන තැන් නිදසුන් සහිතව පැහැදිලි කරන්න.
15. චරිත තුනක්‌ නව කතාව ඇසුරෙන් කතාවේ අන්තර්ගත ගැමි ජීවන තොරතුරු පිළිබඳ විමසීමක යෙදෙන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017