සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්‌වර්ණමය යුගය හැටියට සැලකිය හැකි කෝට්‌ටේ යුගයේ දී අසහාය මහා ප්‍රතිභාවයකින් හෙබි කවියෝ රාශියක් පහළ වූහ. ඔවුන්ගේ අසම සම කවි හැකියාව සහ ඔවුන් සතු වු කාව්‍ය ව්‍යුත්පත්තිය කෝට්‌ටේ යුගය සිංහල පද්‍ය සාහිත්‍යයේ අග්‍රගන්‍ය යුගය බවට පත් කිරීමට පමණක් නොව එම යුගයේ බිහි වු සකල විධ පද්‍ය සමූහයට සර්වකාලීන අගයකින් යුක්‌ත වූද චිරත්තන වශයෙන් සාහිත්‍යමය වටිනාකමක් ඇත්තාවූද අංශයක් හැටියට සැලකිය යුතුව ඇත.
මෙකල සිංහල සාහිත්‍යය පෝෂණය කළ විද්වත් කාව්‍යධරයන් අතර තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, කෑරගල වනරතන හිමි, දෙවුන්දර තිලක පිරුවන්පති හිමි වැනි සාහිත්‍ය ධරයෝ ප්‍රමුඛස්‌ථානයක් ගනිති. එසේම මේ කවියන් අතින් මහා කාව්‍ය, සන්දේශ කාව්‍ය, උපදේශ කාව්‍ය, උපහාස කාව්‍ය, ප්‍රශස්‌ති කාව්‍ය, භක්‌ති කාව්‍ය ආදී වශයෙන් විවිධ ක්‍ෂේත්‍ර පදනම් කරගෙන සාහිත්‍ය ග්‍රන්ථ නිර්මාණය කළ බව පෙනේ.
මේ යුගයේදී සිටි උගතුන් එකාට එකා පසුබට නොවෙන එසේම එක් කවියෙකුට වඩා අනික් කවියා පෙරට ඒමේ තරඟකාරී ස්‌වරූපයක් මත කාව්‍ය කරණයෙහි යෙදුණු බව පෙනේ. උත්තරමුල මහ සඟ පරපුරත්, මහනෙත්පාමුල මහ සඟ පරපුරත් මෙසේ තරඟකාරි සාහිත්‍ය නිර්මාණ ක්‍ෂේත්‍රයක කටයුතු කිරීම, කරට කර සිට තරඟකාරිය වැනි තත්ත්වයන් නිසා මේ යුගයේ සාහිත්‍ය ක්‍ෂේත්‍රයෙහි පහළ වුයේ එකිනෙකාට අභියෝගකාරි ආකාරයේ ප්‍රවනතාවයක ව්‍යාප්තියකි. මේ නිසා මේ යුගය සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂ යුගයක් ලෙස සැලකිය හැකිය.
විශේෂයෙන්ම එකම පිළේ අය අතර වුවද යම් යම් අභියෝගකාරී වූද තරඟකාරී වූද තත්ත්වයන් මේ යුගයේදී දක්‌නට ලැබේ. විශේෂයෙන්ම තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය වෑත්තෑවේ හිමියන් අතර පැවති මෙම අභියෝගකාරී තත්ත්වය ඉතාමත්ම උසස් සාහිත්‍ය කෘති නිර්මාණය වීමට හේතු වු බව පෙනේ.
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සිංහල පද්‍ය සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ මහා හස්‌ති රාජයෙකි. උන්වහන්සේ විසින් රචිත කාව්‍යසේකරය මහා කාව්‍යයම එයට සාක්‌ෂි දරන්නේය. එසේම උන්වහන්සේගේ සැළලිහිණි සන්දේශ කාව්‍යයද එතුමාගේ අසමසම කාව්‍ය හස්‌තිරාජ භාවයට තවත් නිදසුනකි.
කෝට්‌ටේ යුගයේ රචිත ගුත්තිල කාව්‍යයද මෙම ගුරු ගෝල දෙදෙනාගේ ගැටුම නිසා බිහි වු කාව්‍ය ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය. වෑත්තෑවේ හිමියෝ ප්‍රතිභාවෙන් ඉදිරියට ආ මහා උගතෙක් බවට පත් වීම මෙම ගුරු ගෝල හබයට හේතු වු කාරණයක් විය. ඒ නිසාම සිය ආචාර්යවරයාට පහර දීමට බෙහෙවින් යෝග්‍ය කාව්‍ය ග්‍රන්ථයක් රචනා කිරීමට කල්පනා කළ වෑත්තෑවේ හිමියෝ ගුත්තිල මූසිල දෙදෙනාගේ වීණා වාදනය හා සම්බන්ධ ගුත්තිල ජාතකය සිය කාව්‍යය සඳහා තේමාව කරගත්තේය.
ගුත්තිල ජාතක කතාවේ ගුත්තිල මූසිල දෙදෙනාද ගුරු ගෝලයෝය. මූසිල හොදට ඉගෙනගෙන, ගුරුවරයාට මෙන්ම තමන්ටද වැටුප් ගෙවන ලෙස ඉල්ලීමක් කරයි. එය සාධාරණ මිනිස් අයිතියකි. එහෙත් ඔහුට එම අවස්‌ථාව නොලැබේ. වැටුප් ප්‍රශ්නය මත ගුරු ශිෂ්‍ය දෙදෙනා අතර වීණා තරඟයක් පැවැත්වීමට බරණැස් පුර බ්‍රහ්ම දත්ත රජ අණ කරයි. එම තරඟයෙන් අදෘෂ්‍යමාන බලවේග යෙදූ රාජ්‍ය අංශය, අහිංසක මූසිල පරාජය කරයි. ඔහුට අන්තිමේ දී හිමි වූයේ ජනතාවගේ ගල් මුල් ප්‍රහාර පමණී. අත්තනෝමතික රාජ්‍ය බලයේ අවාසනාවන්ත තත්ත්වය එම ගුත්තිල මූසිල වාදයෙන් තහවුරු කර ඇත. (අද අපේ රාජ්‍ය තන්ත්‍රය තුළද මෙවැනි අසාධාරණකම් බහුල වශයෙන් සිදුවේ.)
මෙය තම ගුරුවරයාට හොද පාඩමක් ඉගැන්විය හැකි කාරණයක් ලෙස සැලකු වෑත්තෑවේ හිමියෝ, ස්‌වකීය ප්‍රතිභා පූර්ණ කවිත්වය යොදවා ගුත්තිල කාව්‍යය රචනා කළහ. වියත් කවි මග, ජන කවි රීතිය මනාව සංකලනය කරමින් වෑත්තෑවේ හිමියෝ සිය ගුරුවර ශ්‍රී රාහුල හිමියන්ගේ කාව්‍ය ප්‍රතිභානයට නොදෙවෙනි වන කාව්‍ය ප්‍රතිභාවයකින් ගුත්තිල කාව්‍යය රචනා කළහ.