ආහාර්ය අභිනය
  එක්‌තරා වේදිකා නාට්‍යකදී නළුවන් තිදෙනෙක්‌ එකවර වේදිකාවට ප්‍රවිෂ්ඨ වූහ, ඔවුන්ගෙන් එක්‌ නළුවෙක්‌ කලිසමකින් සහ කමිසයකින් සැරසී හොඳින් ඔපලු සපත්තු කූට්‌ටමක්‌ ඇඳ, උපැස්‌ යුවලක්‌ ඇසේ පැළඳ සිටියේ ය. ඔහුගේ එක්‌ අතෙක වෛද්‍ය නළාවක්‌ ද අනෙක්‌ අතෙහි පෑනක්‌ ද විය.
 
 දෙවැන්නා අමුඩයක්‌ ඇඳ හිසේ ජටාවක්‌ බැඳ උදැල්ලක්‌ කරතබා ගෙන සිටියේය. ඔහුගේ එක්‌ අතෙක පන්මල්ලක්‌ තිබුණි.
 තුන්වැන්නාගේ එක්‌ අතෙක බිලී පිත්තක්‌ සහ මාළු බෑමට ඇමට යොදා ගන්නා තිත්තයින් මුට්‌ටියක්‌ ද විය. අනෙක්‌ අතෙහි ඉරටුවක්‌ ඇමිනූ මාළු වලකි. මේ තිදෙනා කවුරුන් ද........?
 
 පළමුවැන්නා දොස්‌තරවරයෙකු බවත්, දෙවැන්නා ගොවියෙකු බවත්, තුන්වැන්නා මසුන් මරන්නෙකු බවත් ඔබ ප්‍රකාශ කරනු ඇත. මෙසේ එක්‌ එක්‌ පුද්ගලයා පළමු දැක්‌මෙන්ම, නැතහොත් දුටු පමණින්ම හඳුනාගත හැකි වූයේ කෙසේ ද?
 
 ඔවුන්ගේ ඇඳුම, අතේ ඇති උපකරණ, ඔවුන් හඳුනා ගැනීමට අපට උදව් වෙන්නට ඇත. නාට්‍යයකදී වෙස්‌ ගැන්වීම මගින් කරනු ලබන මෙකී කාර්යය අපි ආහාර්ය අභිනය ලෙස හඳුන්වමු. ආහාර්ය අභිනයට අයත් වන්නේ ඇඳුම් පැළඳුම් පමණක්‌ නොවේ. ඒ ඒ චරිතයට ගැළපෙන අයුරින් වර්ණ සහ වෙනත් වෙස්‌ගැන්වීමේ ද්‍රව්‍ය යොදාගෙන චරිතයේ බාහිර ලක්‌ෂණ නිරූපණය කෙරෙන සේ වේෂ නිරූපණය කිරීම ද ඊට අයත් ය.
 
 වේදිකාව අලෝක කිරීම සඳහා යොදාගනු ලබන විදුලි බුබුළු මගින් අවස්‌ථා උද්දීපනය කිරීම සඳහා විවිධ වර්ණ යොදා ගැනීම, වේදිකාවේ ඉදිරිපත් කරන දර්ශනය සඳහා යොදා ගනු ලබන පසුතල දර්ශන ගෘහ භාණ්‌ඩ හා උපකරණ වෙනත් සැරසිලි යන මේ සියල්ලම ඇතූළත් වන්නේ ආහාර්ය අභිනයටය.
 මේ අනුව.
 * ඇඳුම් පැළඳුම්
 * වේෂ නිරූපණය
 * විදුලි ආලෝකය
 * වේදිකා සැරසිලි
 යනාදී වශයෙන් නාට්‍යයේ දර්ශනය තීව්‍ර කර දැක්‌වීම සඳහා යොදා ගනු ලබන දේ සියල්ල ආභාර්යා අභිනයට අන්තර්ගත වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017