චරිත ලක්‌ෂණ ඉස්‌මතුවන සේ නර්තන නිර්මාණය
  ගස්‌ වැල්
 එකම ස්‌ථානයක ස්‌තිථික ලෙස සිටිනා ගස්‌වැල් එම ස්‌ථානයේ සිටිමින්ම සුළඟේ වේගය හා දිශාව අනුව විවිධාකාරයෙන් චලනය වේ. ගස්‌වල කොළ සහ අතු නිරූපණය කළ හැක්‌කේ ඇඟිලි සහ අත් වලිනි. ගසේ කඳ නර්තනයේ යෙදෙන්නාගේ ශරීරයයි. මුල් පාදයයි. ගස්‌ සුළඟට සැලෙන බව දැක්‌වීමට අත් සහ ඇඟිලි චලනය කරමින් බඳ අර්ධ කවාකාර ලෙස හෝ දෙපසට හෝ චලනය කළ හැකිය. සුළඟේ වේගය දැක්‌විය හැක්‌කේ චලන වේගය අඩුවැඩී කිරීමෙනි.
 
 සතුන්
 අප තෝරාගත් සතුන්ගේ හැසිරම් විලාශ, නැතහොත් චර්යා ලක්‌ෂණ මීට කලින් හඳුනා ගතිමු. එකී චර්යා ලක්‌ෂණ ඉස්‌මතුවන සේ නර්තනය යොදාගත යුතුය. මුවාගේ චරිතය නිරූපණයේඳී විමසිල්ලෙන් සහ සැකයෙන් අවට බලන ආකාරය පනිමින් ගමනේ යෙදෙන ආකාරය, මොහොතකට නතර ව බියෙන් මෙන් කුඩා හඬකට පවා සවන් දෙන ආකාරය, නිසල බව යනාදී ලකෂණ නර්තනයේදී ඉස්‌මතු විය යුතුය. එහි එන නාද මාලාව සාවෙකුගේ හැසිරීම නිරූපණය කරන්නේ වුවද මුවාගේ හැසිරම් රටාවට අනුව නර්තනය නිර්මාණය කිරමේ දී මෙම නාද මාලාව සහ ලය වේගයෙන් අපට කිසියම් උදව්වක්‌ ලබා ගත හැකිවනු ඇත.
 
 ඇතාගේ ගමන වඩා සුදුසු වන්නේ මාත්‍රා 3 තාලය අනුව විලම්බ ලයෙන් යොදාගත් ගමන් මාත්‍රයකි. නැතහොත් මාත්‍රා 4 මහ තනි තිතට අනුව විලම්බලයෙන් යොදා ගත් ගමන් මාත්‍රයකි. ගජගා වන්නමේ ගායනයට සවන් දීමෙන් ඔබට එම නර්තනය නිර්මාණයට සුදුසු අමුද්‍රව්‍ය සොයාගත හැකිවනු ඇත.
 
 වඳුරාගේ චරිතය කලබල සහිත බව අපි මීට කලින් සාකච්ඡා කළෙමු. එසේ නම් එවැනි චරිතයක්‌ නිර්මාණය කිරමේ දී නර්තනයේ චලන වේගය තරමක්‌ වැඩිවිය යුතුය. පැන පැන යෑම, ගසින් ගසට මුවා වී එබී බැලීම හිස, ඇඟ, කැසීම වලිගය ඔසවාගෙන විසිළු දැක්‌වම වැනි ඉරියව් මතුවන සේ නර්තන නිර්මාණය කළ යුතුවේ. එකම ආකාරයක චලන රටාවක්‌ යොදා ගැනීම වඩාත් යෝග්‍ය වන්නේ වඳුරාගේ වර්යාලකෂණවලත් එවැනිම ස්‌වරූපයක්‌ ඇති බැවිනි. හනුමා වන්නමට සවන් දෙන්න එහි ලය වේගය යොදා ගෙන ඇති ආකාරය සිහියට ගන්න.
 
 කුරුල්ලෝ
 කුරුල්ලන්ගේ පියාඹා යෑම - අහුලාගෙන කෑම, යුගල වශයෙන් එක්‌ව පියෑඹීම එකිනෙකාට කොටා ගැනීම වැනි අවස්‌ථා සඳහා නර්තන නිර්මාණයේ දී උකුසා වන්නම කිරලා වන්නම වැනි වන්නම් වල නාද මාලාව සහ නර්තන යොදා ඇති ආකාරය විමසා බැලීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.
 
 වැද්දෝ
 මෙතෙක්‌ අපි සාකච්ඡා කළ චරිතවලට වඩා මේ චරිතය වෙනස්‌ වෙයි. මෙහිදී අපිට නර්තන නිර්මාණයේ යෙදීමට සිදුව ඇත්තේ මිනිස්‌ චරිතයක්‌ සඳහා ය. වැද්දාගේ නිසොල්මන් බව උපායශීලී බව, හඬ නොනැගෙන සේ පාද තබමින් යෑම අවශ්‍ය වූ මොහොතේ වහාම ක්‍රියාත්මක වීම වැනි විශේෂ ලක්‌ෂණ වලට අනුරූප වන ආකාරයෙන් නර්තනය නිර්මාණය විය යුතුය. ගාහක වන්නමේ බෙර පදයට සවන් දෙන්න. එම බෙර පද වඩාත් විලම්බ ලයකින් වාදනය කළහොත් මතුවන ශබ්ද ධ්වනිය ගැන සිතන්න. එම ලය වේගය අනුව වැද්දාගේ ගමන සිදුවේ යැයි උපකල්පනය කරන්න. ඉතාම සෙමින් පරිස්‌සමින් සහ අන් අයට නොදැනෙන ලෙස පාද තබමින් යන ගමනක්‌ සඳහා කවර ආකාර නර්තනයක්‌ සුදුසු දුයි යන්න මිත්‍රයින් සමඟ සාකච්ඡා කර බලන්න.
 
 මෙවැනි නර්තන නිර්මාණ ඔබට හුදකලාව කළ නොහැකිවනු ඇත. ඔබේ පන්තියේ අනෙකුත් සහෝදර - සහෝදරියන්ගේ සහාය ඔබට අවශ්‍ය වනු ඇත. ඔවුන් සමඟ ඔබේ අදහස්‌ සාකච්ඡා කරන්න. ඔවුන් හා සහයෝගයෙන් පද කොටස්‌ නිර්මාණය කරන්න. අදාළ චරිතවලට සම්බන්ධ කර බලන්න. ඔබේ පළමු උත්සාහයම සාර්ථක නොවිය හැකිය. නමුත් කවර හෝ උත්සාහයක්‌ සාර්ථක විය හැකිය. නිර්මාණයට හොඳම මඟ තැත් වරද ක්‍රමයයි. එයින් අදහස්‌ කරන්නේ වරදින සෑම වතාවකදීම උත්සාහය අත් නොහැරිය යුතු බවයි. වරදින සැම වතාවකම ඔබ අලුත් දෙයක්‌ ඉගෙන ගනු ඇත. කවර හෝ මොහොතක ඔබේ ඉලක්‌කයට ළඟාවිය හැකිවනු ඇත. 
 
(c) Shilpa Sayura Foundation 2006-2017