ගිරිදේවි නැටුම
 


ගිරිදේවි නැටුම පහතරට සම්ප්‍රදායට අයත් අලංකාර නැටුමකි. මෙය ලාස්‍ය ලකෂණවලින් යුක්‌තය. මෙම නර්තනය අවස්‌ථා දෙකකදී රඟ දක්‌වන බව පෙනේ. කෝලම් නැටුම් සම්ප්‍රදායට අයත් ගිරිදේවි නර්තනය ඉන් එක්‌ අවස්‌ථාවකි. අනෙක්‌ අවස්‌ථාව වන්නේ මහ ගරායකුම් යාගයේ දැක්‌වෙන ගිරිදේවි නැටුමයි.
 
 සාම්ප්‍රදායික ගිරිදේවි නැටුම සඳහා කෝලම් මඩුවේදී වෙස්‌මුහුණක්‌ පළදින අතර, ගරා මඩුවේඳී නෙත්තිමාලය නැමැති ශිර්ෂ පළඳනාව යොදාගෙන ඇත. වර්තමානයේ දී ප්‍රචලිතව ඇති "ගිරිදේවි" නැටුම මේ දෙ ආකාරයටම වඩා වෙනස්‌ ස්‌වරූපයක්‌ ගනී. එය කාන්තා නැටුමක්‌ ලෙස සංවිධානය වී ඇත.
 
 ගිරිදේවී නැටුම හා බැඳී පුරාවෘත්තයට අනුව ගිරිදේවිය දල කුමරුගේ සොහොයුරියයි. දල කුමරුන් අතින් කෙලෙසුණ ගිරිදේවිය ඒ හේතුකොට ගෙන උපන් ලැජ්ජාවෙන් ගසක එල්ලී දිවි හානිකර ගත්තී, නැවත ගිරිදේවිය නමින් උප්පත්තිය ලැබුවාය. ගිරි දේවිය සුන්දර කාන්තාවකි. ඇගේ රූපශ්‍රියා විදහා දක්‌වමින් ගිරිදේවි නැටුම නිර්මාණය වී තිබේ.
 
 "ගත ගුං - රිම් ගත ගත්තම් ගඳිත ගතං
 ගත්තම් ගදිත ගතං ගත ගුං ගුඳ
 ගුඳිතකු දොං"

 
 යන බෙරපදයට අනුව
 
 
පෙර පැවති ලෙස රුති
 පති නද භේරි රැඟුමැති
 තුරු නද පස ගොසැති
 අසව් වියතුනි සබේ සහ මැති

 
 යන කෙටි කවිය විලම්බ ලයෙන් ගායනය කරමින් ගිරිදේවිය වේදිකාවට පිවිසේ. අලංකාර වස්‌ත්‍රාභරණයෙන් සැරසුණ ගිරිදේවියගේ මුදා හල කෙස්‌ වැටිය (පිටවරල) නර්තනයට අනුව විසිරෙන ආකාරය චමත්කාර ජනකය.
 
 
සැර සොඳට වරසල දිලෙන්නේ
 නෙරිය තබාලයි සේලය අඳින්නේ
 රනෙන් රිඳී මුතුහර ලෙළ දෙමින්නේ
 ගිරි දේවිය උපතයි මම කියන්නේ

 
 යනුවෙන් ගැයෙන ගී විවිධ තාල හා නාදමාලාවන්ට අනුව යෙදේ. මෙම නර්තනයේ දීද අවසන් කොටස දෘත ලය වේගයකට අනුව කරනු ලැබේ. රූබර කාන්තාවකගේ ශෘංගාරාත්මක නර්තන විලාශය මෙම නැටුමෙන් නිරූපණය වන ආකාරය නර්තනය නැරඹිමේ දී විමසිල්ලකට ලක්‌ කරන්න. පද කොටස්‌ යොදා ඇති ආකාරය රංග සැලැස්‌ම සහ චලන විවිධතා මගින් නර්තනයේ ප්‍රසංගික තත්ත්වය ඇති කිරීම සඳහා නිර්මාණ ශිල්පියා යොදා ඇති ක්‍රියා මාර්ග සැලකිල්ලෙන් අධ්‍යයනය කරන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017