අස්‌නේ නැටුම
 


උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් ශාස්‌ත්‍රීය නර්තන අංගයකි. මෙහිදී ගායනා සඳහා යොදා ගනු ලබන්නේ "කුවේණි අස්‌න" නමැති කාව්‍ය ග්‍රන්ථයේ යෙදෙන ගායනාවන්ය.
 
කොහොඹා කංකාරිය යාගයේදී මෙය දීර්ඝ වශයෙන් කරන නැටුමක්‌ වන අතර නළුවන් සිය දක්‌ෂතා ප්‍රදර්ශනය සඳහා මෙම නර්තන අවස්‌ථාව යොදාගනී. ජනප්‍රවාද වල සඳහන් වන ආකාරයට විජය කුමරු කුවේණි පලවා හරිනු ලැබු අවස්‌ථාවේ ඇය විරහ වේදනාවෙන් සහ ආවේගයන්ගෙන් මඩිනා ලදුව ක්‍රමයෙන් ප්‍රකෝප තත්ත්වයට පත්විය. මෙකී අවස්‌ථාව නිරූපණය වන ආකාරයට මෙම නර්තනය විරහ වේදනා දනවන විලම්බලයෙන් කරනු ලබන ගායනාවක්‌ ඇතුළත් නර්තනයකින් ඇරඹී ක්‍රමයෙන් ලය වේගය වැඩි ව උච්ච ස්‌ථානයකට පැමිණෙන ආකාරයෙන් නිර්මාණය කර තිබේ. වේදිකා රංගනයේඳී සම්පූර්ණ නර්තන අංගයම දක්‌නට නොලැබෙතත් එහි මූලික ලක්‌ෂණ අන්තර්ගත වනසේ මෙම නර්තන අංගය සකසා ඇත.
 
වෙස්‌ ඇඳුම් කට්‌ටලයෙන් සැරසුණු නළුවෝ පොල් පන්දමක්‌ පෙරටු කොටගෙන වේදිකාවට පිවිසීම මෙහි ආරම්භයේඳීම දක්‌නට ලැබෙන ලකෂණයකි.
 
 "තකුංත කුංකුං කුඳගත කුකුතත ජිං - තත් ජිංතක තරිකිට කුන්දත් ගජිං''
 
යන බෙර පදයට අනුව
 
 
අපගේ මුණි රජාණන් - විශාලාත් නුවර ගෝ
 එ කුසිනාරා නුවර - වැඩම කර තුල්‍ය බුජ

 
යන ගායනයෙන් නර්තනය ආරම්භ වේ. මෙය විලම්බ ලයට අනුව කරනු ලබන්නකි. දෙවන අවස්‌ථාවේඳී
 
" කුංජිං ගතත්ත් - තකුජිං ගත්තත් "
 
බෙර පදයට අනුව ගායනයේ ලය වේගය තරමක්‌ වැඩි කරනු ලැබේ. තුන්වන සහ හතරවන පදවලට එන විට නර්තනයේ වේගය ක්‍රමයෙන් වැඩිකර අවසන් කොටස වන විට උච්ච ලය වේගය දක්‌වා වර්ධනය කෙරේ. 
 
නර්තනය කරන අවස්‌ථාවේඳී මේ පිළිබඳව විමසිලිමත්ව බලන්න. ගායනය කරනු ලබන ආකාරය, ඒ හා බැඳුණ නර්තනය, ගායනයත් නර්තනයත් සම්බන්ධ කෙරෙන වාදනය යන සියල්ල එක්‌ වූ විට අපූරු රංගමය අවස්‌ථාවක්‌ නිරූපණය වන ආකාරය විමසා බලන්න. පොල් පන්දම් එළියෙන් රත්පැහැ වූ මුහුණු නර්තනයට අමුතුම අද්භූත බවක්‌ හා අලංකාරයක්‌ එක්‌කරන ආකාරය චමත්කාර ජනකය. ඔබ ඉගෙන ගන්නා නර්තන සම්ප්‍රදායෙහි මෙන්ම අනෙකකුත් නර්තන සම්ප්‍රදායන් හී නර්තන අංගයන් සමාන වටිනාකමකින් හා අගයකින් යුක්‌ත වන බව ඔබට වැටහී යනු ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017