කෑරගල වැනුම රස විඳීම
 

හංස සන්දේශයේ කෑරගල වැනුම තුළින් ස්‌වභාව සෞන්දර්යයෙහි චමත්කාරයත්, චමත්කාර ජනක සොබා සුන්දරත්වය තුළින්ම සසර කතරින් එතෙර වන නිවන පසක්‌ කිරීමෙන් ලැබෙන අමරණියත්වයත් නිරූපණය කරයි.

කෑරගල වෙහෙර පියස එකම එක ස්‌වභාව සෞන්දර්ය පිරිවනකි. මෙම වනයසේ හා ගැමි පරිසරයේ පවතින සුන්දර දැකුමෙහි කිසිම අඩුවක්‌ නැත. කෑරගල ගමට සෞභාග්‍යය උදා කරන්නේ අඹ, දඹ, රඹ සාර පලයෙන් සහ ඇළ දොළ කදු පිටින් බට මිහිරි ජලයෙනි. දුටු දුටු දනන් කෑරගල වන පියස කෙරෙහි කෑරගල ගම කෙරෙහි මන බන්දනය කරයි. එය දුටු දන මන නෙත් පිනවමින් සෞන්දර්ය ලෝකයක්‌ කරා ගෙන යාමකි.

මෙය මවාගත් වර්ණනාවක්‌ නොව ස්‌වභාව ධර්මය තුළින් බිහිකළ පරිසර සුන්දරත්වයේ සොබා අසිරියකි. කවියා ඒ වග කාව්‍ය සංකල්පනාවකට ගොඩ නගන්නේ මෙසේය.


 

සාර බලය අඹ දඹ රඹ ද වල් පිට
මීර ජලය ඇළ දොළ කදු පිටින් බට
නෑර ලොලය වඩවයි දුටු දනන් හට
කෑරගල වැජඹෙයි මේ ලෙසින් සිට

ස්‌වභාවික පරිසරයේ අති සුන්දර චමත්කාරය නර්මාලාපයක්‌ නොවන ආකාරයෙන් ස්‌වභවෝක්‌තියෙන්ම කවියා ඉදිරිපත් කරන්නේ මෙසේය.

කුළින් කුළම සිහිලඹ වැහෙන කදුරුය
දොළින් දොළම කල් යල් පැසෙන කුඹුරුය
පලින් පලම තල් පොල් ගෙවතු මැදුරුය
තලින් තලම පුල් පියුමුපුල පඩෙරුය

ඈත පිටිසර ගම්මානයක සොබා සුන්දරත්වයේ සංකේත වන්නේ සිහිල් ජල ධාරා ඇති වන ලැහැබ් වලින් ගැවසීගත් කදු මුදුන්ය. මේවා තවත් වර්ණවත් කරන්නේ එහි වැඩෙන මාදං, හිඹුටු, පේර ආදී පලතුරු වර්ග වලිනි. එසේම ගමේ සෞභාග්‍ය මෙන්ම අලංකාරයද පැහැදිලි කරන්නේ ගමට ඇදී එන ජල සම්පත තුළින් දෙකන්නයේ වැඩ කරන කුඹුරුයාය වලිනි. කෑරගල කුඹුරු යාය පමණක්‌ නොව තල් පොල් වතුවලින් සපිරි මේ ගම සෞභාග්‍යයේ සංකේතයක්‌ බව පැහැදිලි කරන්නේ සෑම විලකම පිපුණු පියුම්, උපුල් හා නෙළුම් සංකේතවත් කරමිනි. එයින් කවියා මූලික වශයෙන් සංකේතවත් කළේ ගමේ සාමය, බලය සහ සෞභාග්‍යයයි.

කෑරගල අවට සොබා සුන්දරත්වය ගැමි බස්‌ වහර උපයෝගි කර ගනිමින් සිය ප්‍රතිභා ශක්‌තිය වචන බවට හරවමින් සහෘදය තුළ රසවින්දනයක්‌ ජනිත කරවමින් සහ සොබා සුන්දරත්වය තුළින් ඔහු ස්‌වභාව සෞන්දර්ය රස ආකාරයකට ගෙන යන්නේ ඒ පියස දැකීමෙන් ප්‍රචාරය විදීමට අවස්‌ථාවක්‌ ලැබෙන පරිදිය. අමාරසය නම් නිවන් රසයයි. නොමරණයයි. එම අමාරසය ලබා ගැනීමට කෑරගල වෙහෙර අභියස පියස බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන ආකාරය සිය කාව්‍ය සංකල්පනා තුළින් වීදාගම හිමියෝ මෙසේ විචිත්‍ර කෙරෙති.

පැසෙයි නිබඳ සුදැල් කෙත්වත් අවට
ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට
දිසෙයි වෙහෙර එහි සුරවිමනක්‌ ලෙසට
රසෙයි අමාරසය ඒ පියස දුට

සුවදැල් කෙත්වත් අවට පැසෙමින් තිබීම කුඩා වසු පැටවුන් උම්බෑ හඬ දෙමින් දුව පැන ඇවිදීම සහ කරනම් ගැසීම පිටිසර පරිසරයක දක්‌නට ලැබෙන නිර්ව්‍යාජ සොබා සුන්දරත්වයයි. එවැනි ප්‍රදේශයක පිහිටි කෑරගල විහාරය ඈත දිස්‌වන්නේ දෙව් විමනක්‌ ලෙසය. මෙම පියස සිහිකර දෙන්නේ අමා රසයයි. එම අමාරසය ලබා ගැනීම මිනිස්‌ ජීවිතයේ ලැබිය යුතු උපරිම පලයයි. කෑරගල විහාර අවට පරිසර වර්ණනාව තුළින් කවියා සංකේතවත් කළේ එම අනුපම නිවන් සැපයයි. එම නිවන් සැපය ලැබීමට කෑරගල වෙහෙර පියස හේතුවන බවයි.

 
(c) Shilpa Sayura Foundation 2006-2017