රංග රචනය, වෙස්‌ ගැන්වීම, රංග වස්‌ත්‍රාභරණ සහ අවකාශ භාවිතය
 



රූපවාහිනී නර්තන කලා කෘතියක්‌ රස විඳීමේඳී අපගේ අවධානයට යොමු කළ යුතු තවත් පැතිකඩයන් ගණනවකි. රංග රචනය, වෙස්‌ ගැන්වීම, රංග වස්‌ත්‍රාභරණ සහ අවකාශ භාවිතය ඉන් කිහිපයකි. ඔබගේ අධ්‍යයන පහසුව සඳහා මෙම කරුණු එකින් එක වෙන් වෙන් වශයෙන් පහත සඳහන් වේ.
 
 නර්තනය සඳහා යොදා ගනු ලබන චලන සමූහය උචිත රාමුවක්‌ තුළ විධිමත්ව සහ සංවිධානාත්මකව හැසිරවමේ කාර්ය රංග රචනය ලෙසින් හැඳින්විය හැකිය. රංග රචනය මනා අවබෝධයකින් කළයුතු කාර්යයක්‌ වන්නේ නර්තනයේ සුන්දරත්වය, ගැළපීම හා ප්‍රසාංගික ලක්‌ෂණ ඒ මත රඳා පවතින බැවිනි.
 
 මෙහිදී තෝරාගනු ලබන චලනයන්හී උචිත භාවයත්, රටා හා මොස්‌තර තේමාවට ගැළපෙන අයුරින් ගොඩනඟා ගැනීමක්‌, අවකාශය තුළ නිවැරදි දිසා හා තාලයන්හි චලන හැසිරවීමත් ලය හා තාල ලක්‌ෂණ අදාළ තේමාවට උචිත වන ආකාරයෙන් පවත්වා ගැනීමත් එකසේ වැදගත් ය.
 
 උක්‌ත කරුණු අපි නිදර්ශනයක්‌ ඇසුරෙන් පැහැදිලි කර ගනිමු.
 
 " ගැමි නැටුමක්‌ " සහ " පූජා නැටුමක්‌ " යන අංග දෙක සසඳා බලන්න. එම නර්තන එකිනෙකට වෙනස්‌ තේමා දෙකකට අයත් වේ. ගැමි නැටුම විනෝදාශ්වාදය තේමා කොට ගන්නක්‌ වන අතර පූජා නැටුම භක්‌තිය තේමා කොට ගත්තකි. මේ අනුව මෙම නර්තන දෙකේ තේමාවන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ. එකම ආකාරයක රංග රචනයක්‌ මෙකී නර්තන දෙක සඳහා යොදා ගැනීම කිසිසේත්ම යෝග්‍ය කාර්යයක්‌ නොවේ.
 
 ගැමි නැටුමකි දී යොදා ගන්නා චලන වේගවත් ය. පරාසය පුළුල් ය. හැකි සෑම අවස්‌ථාවකදීම තමා අවට ඇති සම්පූර්ණ ඉඩ ප්‍රමාණයම ප්‍රයෝජනයට ගනිමින් චලන විසුරුවා හැරීම කරනු ලැබේ. රටා හා මෝස්‌තර සංකීර්ණය. මාධ්‍ය හා දෘත ලය වේගයන්ට අනුව විවිධ තලයන්හී චලන සංසරණය සිදු වේ. මාත්‍රා තුනේ තාලයට (මැදුම් තනි තිත) යෙදෙන ගායන වාදන බහුලව යොදා ගැනේ. එය සාමාන්‍ය ගැමි නැටුමක්‌ රංග රචනයේදී දක්‌නට ලැබෙන පොදු ලක්‌ෂණයකි.
 
 පූජා නැටුමක රංග රචනය මීට වඩා වෙනස්‌ ආකාරයක්‌ ගනී. එහිදී චලන වේගය පාලනය වන අතර විලම්බ හා මාධ්‍ය ලය බහුලව ඇසුරු කෙරේ. එමගින් සන්සුන්බව, ශාන්ත බව, උද්දීපනය, වන අතර ගායන වාදන යොදා ගැනීම ද එයට අනුරූපව සිදු වෙයි. සංකීර්ණ සහ වේගවත් රටා මෝස්‌තර වෙනුවට සරළවූත්, ක්‍රමාණූකුළවූත්, රංග රටා අන්තර්ගත වේ.
 
 මේ අනුව නර්තනයක තේමාවට උචිත වන අයුරින් මෙන්ම නර්තන විචිත්‍රත්වය ඇතිවන අයුරින් රංග රටා නිර්මාණය කර තිබීම සාර්ථක නර්තන අංගයක මූලික ලක්‌ෂණයක්‌ව පවතී. ඔබ රසවිඳීම සඳහා තෝරාගත් නර්තන අංගයේ තේමාවට ගැළපෙන රංග රචනයක්‌ ඇද්ද යන්නත්, එමගින් නර්තනයට කවර විචිත්‍රත්වයක්‌ ලබා දෙන්නේද යන්නත් විමසා බලන්න. රංග රචනය තේමාවට නොගැළපෙන්නේ නම්, එය නරඹන්නාගේ සිත ග්‍රහණය කර ගැනීමට සමත් නොවන්නේ නම්, ඔබ රසවිඳින නර්තන අංගය සාර්ථක කලා කෘතියක්‌ ලෙස ගැනීමට නොහැකි වනු ඇත.
 
 නර්තන අංගයක වෙස්‌ ගැන්වීම යනු නර්තනයේ තේමාවට උචිතවන ආකාරයෙන් නළුවා සැරසවීමේ කාර්යයි. මේ සඳහා විවිධ වර්ණාලේප අනුව අවශ්‍යවේ යැයි සැලකෙන අනෙකකුත් අංගෝපාංග භාවිතා කෙරේ. වේශ නිරූපණය සඳහා ඒ කාර්යයෙහි යෙදෙන්නා තුළ නිපුනතාවයක්‌ තිබීම අවශ්‍ය වේ. මන්ද යත් දුර්වල වෙස්‌ ගැන්වමීක්‌ තුළින් නර්තනයෙහි විචිත්‍රත්වයට හානියක්‌ සිදු විය හැකි බැවිනි. ඔබ නිරීක්‌ෂණය කරන නර්තන අංගයේ නළුවන් හෝ නිළියන් වෙස්‌ ගන්වා ඇති ආකාරය හොඳින් නිරීක්‌ෂණය කරන්න. එවා නර්තනයේ ස්‌වභාවයට කොතෙක්‌ දුරට ගැළපේද යන්න තක්‌සේරු කරන්න.
 
 නර්තනයට අලංකාරය සහ ප්‍රේක්‌ෂක අවධානයට ලබාදෙන ප්‍රධාන කාරකයක්‌ ලෙස රංග වස්‌ත්‍රාභරණ හැඳින්විය හැකිය. නර්තනයේ සජිවී බවත් පූර්ණත්වයත් ඇතිවන්නේ ඊට සුදුසු රංග වස්‌ත්‍රාභරණයන්ගෙන් සැදුම් ලත් වූ විටය.
 
 සම්ප්‍රදායික නර්තන අංගයක්‌ ඉදිරිපත් කිරමේදී ඊට නියමිත සම්ප්‍රදායික ඇඳුම් කට්‌ටලයෙන් සැරසීම සාමාන්‍ය පිළිවෙතයි. උදාහරණයක්‌ ලෙස ගතහොත් උඩරට සම්ප්‍රදායික ශාස්‌ත්‍රීය නර්තනයේදී යොදා ගනු ලබන්නේ වෙස්‌ ඇඳුම් කට්‌ටලයයි. නො එසේ නම් නෛඅඩි ඇඳුම් කට්‌ටලය වැනි ඊට ගැළපෙන වෙනත් ඇඳුම් කට්‌ටලයකි. පහතරට සහ සබරගමු ශාස්‌ත්‍රීය නර්තන අංග ක්‍රමයන්හි දී ද ඊට අදාළ රංග වස්‌ත්‍රාභරණ අතරින් නර්තන අංගයට උචිත ඇඳුම් කට්‌ටලය භාවිතා කෙරේ.
 
 එසේ වුවද සම්ප්‍රදාය ඇසුරින් කරන ලද නිර්මාණ හෝ නව නිර්මාණ ලෙස ඉදිරිපත් කරනු ලබන නර්තන අංගයන්හි දී රංග වස්‌ත්‍රාභරණ යොදා ගැනීම සිදුවන්නේ මීට වඩා වෙනස්‌ ආකාරයකිනි. එවැනි නර්තනයන්හී රංග වස්‌ත්‍රාභරණ යොදා ගැනීම නිර්මාණකරුගේ අභිමතය පරිදි සිදුවන්නක්‌ බැවින් සම්ප්‍රදායික සීමාවෙන් ඔබ්බට යෑමට ඔහුට නිදහසක්‌ ඇත. මෙකී නිදහස තුළ පේ්‍රක්‌ෂක අවධානය සහ ආකර්ශණය ඇති කිරම සඳහා රංග වස්‌ත්‍රාභරණ නිර්මාණයෙදී විවිධ උපායමාර්ග අනුගමනය කරනු ලැබේ.
 
 * විවිධ වර්ණ හා වර්ණ සංයෝග භාවිතය.
 * විවිධ විලාසිතා අනුව නිර්මාණය
 * වෙනත් රටවල නර්තන සඳහා යොදාගන්නා රංග වස්‌ත්‍රාභරණයන් අනුකරණය කිරීම.
 * ශරීරයේ විවිධ ස්‌ථාන නිරාවරණය වන ආකාරයෙන් රංග වස්‌ත්‍රාභරණ යොදා ගැනීම.
 
 එකී ක්‍රමෝපායන්ගෙන් කිහිපයකි. අද්‍යතනයේ අප දකින ප්‍රසාංගික නර්තන බොහොමයක දී කැපී පෙනෙන ලක්‌ෂණයක්‌ වන්නේ ශරීරය නිරාවරණය වන ආකාරයෙන් රංග වස්‌ත්‍රාභරණ යොදා ගැනීමයි. එමගින් ප්‍රේක්‌ෂක අවධානය දිනා ගැනීමට උත්සාහ කිරීම බහුලව සිදුවන කි්‍රයාවලියකි.
 
 ශ්‍රි ලංකිකයින් වන අපට අපේම වූ සංස්‌කෘතියකුත් ඒ හා බැඳුණ සාරධර්ම පද්ධතියකුත් ඇත. එම සාරධර්මවලට එකඟ නොවන හා ඊට හානිකර දේ ඉදිරිපත් කිරීම මගින් අපේ සංස්‌කෘතික අනන්‍යතාවයට වන හානිය සුළුපටු නොවේ. එබැවින් නර්තන අංගයක්‌ රස විඳීමේඳී ඒ සඳහා යොදාගෙන ඇති රංග වස්‌ත්‍රාභරණ පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
 
 රූපවාහිනිය මගින් ප්‍රදර්ශනය කරන නර්තනයක්‌ රස විඳීමේඳී රංග වස්‌ත්‍රාභරණ පිළිබඳව අපේ සැලකිල්ල දැක්‌විය යුත්තේ කවර ආකාරයෙන් ද යන්න අපි සලකා බලමු. කවර හෝ නර්තනයකට යොදා ගන්නා රංග වස්‌ත්‍රාභරණ එකී නර්තනයේ ප්‍රස්‌තුතය හා ගැළපිය යුතු බව අපි දනිමු. එසේම ඒ සඳහා යොදා ගන්නා වර්ණ නර්තනයේ ප්‍රසාංගිකත්වයට ගැළපෙන්නක්‌ විය යුතුය. ප්‍රස්‌තුතයට උචිත විය යුතුය. විවිධ වර්ණයන්ට ඊට ආවේණික වූ ගුණාංග ඇත. තද රතු, කළු සුදු, නිල්, කහ, කොළ වැනි වර්ණ අපේ සිතේ විවිධ හැඟීම් ජනිත කරයි. යක්‌නැටුම් සඳහා රතු-කළු වැනි වර්ණ යොදා ගන්නේ භයානක රසය ඉස්‌මතු කර දැක්‌වම සඳහා ය. සුදු වර්ණය භක්‌තියක්‌, ශාන්ත බවක්‌ ඇති කරයි. පන්සලේ සුදු පැහැයෙන් බබළන චෛත්‍යයත්, සුදු ඇඳගත් උපාසක උපාසිකාවන් ගැනත් සිහියට නගා ගන්න. කහ වර්ණය ඇසට වඩාත් සංවේදී බවක්‌ දක්‌වයි. සමහර වර්ණ දීප්තිමත්ය.
 
 සමහර වර්ණ අඳුරුය. දීප්තිමත් රතු, තැඹිලි වැනි වර්ණ උෂ්ණ වර්ණ ලෙසත්, අඳුරු වර්ණ වන අළු, දුඹුරු, කළු වැනි වර්ණ ශිත වර්ණ ලෙසත් හැඳින්වේ. එසේම සමහරක්‌ වර්ණ එකිනෙකට මනාව ගැළපේ. ඇතැම් වර්ණ එකිනෙක හා නොගැළපේ. කොළ පාට සහ කහ පාට එකිනෙක හා ගැළපෙන වර්ණ වේ. එයට හේතුවන්නේ කොළපාට සෑදි ඇත්තේ නිල් කහ මිශ්‍ර වීම හේතු කොට ගෙන බැවිනි. දම්පාට සහ කහපාට එකිනෙකට නොගැළපෙන වර්ණ ලෙස සැලකිය හැකිය. දම්පාට සෑදී ඇත්තේ නිල් රතු මිශ්‍ර වීමෙනි. කහපාට සමඟ සම්බන්ධයක්‌ එම වර්ණයේ නැත. රංග වස්‌ත්‍රාභරණ සඳහා වර්ණ තෝරා ගැනීමේ දී අදාළ ප්‍රස්‌තුතයට යෝග්‍යවන්නා සේම යොදා ගන්නා වර්ණ අතර ද මනා ගැළපීමක්‌ නැතහොත් සහ සම්බන්ධතාවයක්‌ පැවතිය යුතුය. නර්තනයට වඩා රංග වස්‌ත්‍රාභරණ ඉස්‌මතුවම වෙනුවට රංග වස්‌ත්‍රාභරණ මගින් නර්තනය ඉස්‌මතුකොට දැක්‌විය යුතුය.
 
 නොගැළපෙන වර්ණ භාවිතය, වර්ණ සමබර කර නොගැනීම වැනි හේතුන් නිසා නර්තනයට වඩා රංග වස්‌ත්‍රාභරණ ඉස්‌මතු ව පෙනෙන අවස්‌ථා විරල නොවේ. එවැනි තත්ත්වයක්‌ ඇති නොවන සේ කටයුතු කිරීමේ වගකීම රංග වස්‌ත්‍රාභරණ නිර්මාණය කරන ශිල්පියාගේ වගකීම වේ. එපමණක්‌ නොවේ.
 
 යොදා ගන්නා රංග වස්‌ත්‍රාභරණ නර්තනයේ ස්‌වභාවයට නැතහොත් චලන රටාවට උචිත ලෙස සකස්‌ විය යුතු මෙන්ම එය අපේ සංස්‌කෘතියට සාර්ධර්මයන්ට අනුකූල විය යුතුය. විවිධ උඩපැනීම් සම කැරකීම් යෙදෙන නිර්මාණවලදී දිගින් විශාලත්වයෙන් සහ බරින් වැඩි රංග වස්‌ත්‍රාභරණ යොදා ගැනීම නර්තන කාර්යයේ යෙදීමට බාධා ඇති කරනවා විය හැකිය. ප්‍රමාණයෙන් කෙටි. මුදු සහ සැහැල්ලු ඇඳුමක්‌ සංවර ලෙස පෙනෙන සේ සකස්‌ කළ හැකි මෙන්ම දෙපතුල දක්‌වා දික්‌ව ඇති වස්‌ත්‍රයක්‌ වූවද ස්‌ථානවලින් කපා හෝ පලා චලනයෙහි යෙදෙන විට අසංවර ලෙස පෙනෙන ආකාරයෙන් නිර්මාණය කළ හැකිය.
 
 මේ අනුව රූපවාහිනිය මගින් විකාශනය වන නර්තන අංගයක්‌ රස විඳීමේ දී එහි රංග වස්‌ත්‍රාභරණ යොදා ඇති ආකාරය ගැන ද විමසිලිමත් විය යුතුය.
 
 * යොදා ඇති රංග වස්‌ත්‍රාභණ නර්තනයේ ප්‍රස්‌තුතයට ගැළපේ ද.
 * රංග වස්‌ත්‍රාභරණ සඳහා යොදාගෙන ඇති වර්ණ සහ වර්ණ ගැළපීම මගින් නර්තනයේ ප්‍රසාංගික බව මතු කිරීමට කවර දායකත්වයක්‌ ලබා දී තිබේ ද.
 * යොදාගෙන ඇති රංග වස්‌ත්‍රාභරණ අපේ සංස්‌කෘතියට හා දේශීය සාරධර්ම වලට ගැළපේ ද,
 
 යන නිර්ණායක ඔස්‌සේ විමසා බැලීමෙන් ඔබ නරඹන නර්තන අංගය පිළිබඳව නිවැරදි විනිශ්චයක්‌ මගින් උසස්‌ රස වින්දනයකට යොමු විය හැකිය.
 
 රුපවාහිනී නර්නතයක්‌ රස විඳීමේ ඳී අපේ අවධානයට යොමු විය යුතු අනෙක්‌ වැදගත් ලක්‌ෂණය වන්නේ ප්‍රවීණ සහ ආධුනික බව පිළිබඳ තත්වයයි. මෙහිදී ප්‍රවීන යන්නෙන් අදහස්‌ කරන්නේ පළපුරුදු ශිල්පියෙකකු විසින් කරන නිර්මාණයක්‌ යන්න නොවේ. කිසියම් නිර්මාණ ශිල්පියෙකු විසින් ඉදිරිපත් කරන කුලුඳුල් නිර්මාණයම, ප්‍රවීණ ලකෂණ පැහැදිලි වන කලා කෘතියක්‌ විය හැකියි. එසේම පළපුරුදු කලා ශිල්පියෙකකුගේ නිර්මාණයක්‌ ඇතැම් විටෙක ආධුනික ලක්‌ෂණ ප්‍රකට කළ හැකියි. නර්තන අංගයක ප්‍රවීණ හෝ ආධුනික ලක්‌ෂණ පවතින්නේ නිර්මාණ ශිල්පියා වෙත නොව කලා කෘතිය තුළය.
 
 කිසියම් නර්තනයක්‌ ඉදිරිපත් කිරීමේ දී එහි,
 * චලන හසුරුවා ඇති ආකාරය
 * සංවිධිත බව හා අඛණ්‌ඩ ගලායෑම.
 * නිවැරදි අංගහාර සහ ශිල්පීය කුසලතා
 * උචිත අවස්‌ථාවන්හිදී විවිධ ලය මානයක්‌ පවත්වා ගැනීම.
 * සුදුසු රංගරටා යොදා තිබීම.
 * නිසිලෙස අවකාශය හැසිරවීම.
 * ගායන - වාදනවල සුන්දරත්වය සහ අනුකූලතාව.
 * උචිත රංගවස්‌ත්‍රාභරණ සහ වේශනිරූපණ ක්‍රම යොදා ගැනීම.
 
 යනාදී බොහෝ ලකෂණ ඇසුරු කොට නර්තනයක ප්‍රවීණ බව හෝ ආධුනික බව පිළිබඳ නිගමනයන්ට එළඹිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017