රූපවාහිනී මාධ්‍ය ආශ්‍රිත නර්තන කලා කෘති රස විඳීම
නර්තනය යනු ප්‍රසාංගික කලා මාධ්‍යයකි. නරඹන්නා තෘප්තිමත් කිරීමට හා ආශ්වාදයක් වින්දනයක් ලබාදීමට ප්‍රබල හැකියාවක් එය සතුවේ. එසේ හෙයින් රූපවාහිනී නාලිකා ඔස්‌සේ ප්‍රචාරණය කරන විවිධ වැඩ සටහන් අතර නැටුම් අංග ඇතුලත් වැඩසටහන් ප්‍රමුඛත්වයක් දරයි.
රූපවාහිණිය ශ්‍රි ලංකාවේ බොහෝ නිවෙස්‌වල සාමාන්‍ය පාරිභෝගික භාණ්‌ඩයකි. එමනිසා රූපවාහිනීය ඉතා ප්‍රචලිත ජනමාධ්‍යයකි. රූපවාහිනී නාලිකා මගින් විසුරුවා හරිනු ලබන සෑම නර්තන අංගයක්‌ම එක හා සමානව ගුණාත්මක බවින් පිරිපුන් හරවත් ඒවා නොවන්නට බොහෝ ඉඩ කඩ ඇත. එබැවින් එම වැඩ සටහන් අතරින් හරවත් හා යෝග්‍ය වැඩ සටහන් තෝරා ගැනීමට අවශ්‍ය කරන උසස් රසඥතා මට්‌ටමක් නරඹන්නා තුළ තිබිය යුතුය. එවැනි දක්‌ෂතාවයක් ඇති කර ගත හැක්‌කේ කෙසේදැයි යන්න අපි සොයා බලමු.
රූපවාහිනී සේවාවන් මගින් විසුරුවා හරිනු ලබන නර්තන වැඩසටහන් පහත සඳහන් පරිදි විවිධාකාර වේ.
* දේශිය සම්ප්‍රදායික නර්තන
* නිර්මාණාත්මක නැටුම්
* ගැමි නැටුම්
* ලෝකයේ වෙනත් රටවලට අයත් සම්ප්‍රදායික හා නිර්මාණාත්මක නර්තන
* චිත්‍රපට හා නාට්‍යයන්හී අන්තර්ගත ගීත නැටුම්.
යනාදී වශයෙන් ඒවා ප්‍රභේද ගණනාවකට වෙන්කර දැක්‌විය හැකිය.
මෙවැනි නර්තන අතරින් කවර හෝ නර්තන අංගයක් රූපවාහිනී මාධ්‍ය ඔස්‌සේ ඔබ නරඹා ඇත. ඔබ නැරඹූ ඇතැම් නර්තන අංග ඔබේ සිත වඩාත් තදින්, බැඳ තබා ගන්නට ඇත. ඇතැම් නර්තනයන් කෙරෙහි ඔබ ඇල්මක් නැතිවෙන්නට ඇත. ඔබේ ඇල්ම නැතහොත් කැමැත්ත අඩුවැඩි වන්නට හේතු වූ කරුණු මොනවාදුයි ඔබ සිතා බැලුවෙහි ද? ඇත්ත වශයෙන්ම ඔබ ඒ පිළිබඳව සිතන්නට ඇති. ඔබ විවිධ තීරණයන්ට එළඹෙන්නටත් ඇති, ඔබ තීරණ හා නිගමනයන්ට එළඹියේ ඔබේ දැනුම හා ආකල්පයන්ගේ ස්‌වභාවයට අනුව විය හැකිය. එම තීරණ හා නිගමනයන් නිවැරදිද යන්න විමසා බලමු.
අපි උදාහරණයක් මගින් මෙය පැහැදිලි කරගැනීමට උත්සාහ කරමු.
ඔබ ඉන්දියානු නැටුමක් වන කථකාලි නැටුමක් හෝ භාරත නැටුමක් නරඹනවා යැයි සිතන්න. එම නැටුම්වල එන විශේෂත්වයක් වන්නේ, එකී සම්ප්‍රදායන්ට අදාළ වූ මුද්‍රා ක්‍රම නර්තනය සමග භාවිත කිරමයි. මුද්‍රවක් යනු කිසියම් නිශ්චිත අරුතක් දැක්‌වීම සඳහා යොදාගනු ලබන ඉඟියක් බඳු ප්‍රකාශනයකි.අංග චලනයකි. එයට සම්ප්‍රදායට අනුකූල වන සේ සම්මතයෙන් හිමි වූ අරුතක් ඇත. එබැවින් එය චලනය මාධ්‍ය කොට ගත් භාෂාවක් බඳුය.
එකී මුද්‍රාවන්හි සම්මත අරුත් නොදන්නා කෙනෙකකුට නර්තනයේ තේමාව අවබෝධ කරගත නොහැකි වන හෙයින් එය නීරස විය හැකිය. එසේ නොවෙතත් එයින් ලබන රසය සීමිත විය හැකිය. මන්දයත් එය චලන සුන්දරත්වය හෝ රංග වස්‌ත්‍රාභරණ වල විචිත්‍රවත්ය මත පමණක් ලබන අසම්පූර්ණ වින්දනයක් වන හෙයිනි. එසේ වූ කල එවන් නර්තනයක් පිළිබඳව ඔබ ගනු ලබන තීරණ හෝ නිගමන ඔබේ දැනුම් මට්‌ටමට සීමා වූවක් වන නිසා ඒවා කවර ප්‍රමාණයකට නිරවද්‍යද යන්න නිශ්චිතව කිව නොහැකිය.
නර්තන අංගයක් රස විඳීම ආකාර දෙකකට නැතහොත් පදනම් දෙකක් මත කළ හැකිය.
* සමස්‌ථයක් ලෙස නරඹා කිසියම් ආශ්වාදයක් ලැබීම.
* විවිධ අංගෝපාංගයන්හී සුදුසුද නුසුදුසුද යන්න විමසමින් සමස්‌ථ අංගය රස විඳිම.
මෙහි ප්‍රථම අවස්‌ථාව මතුපිටින් ලබන සරළ වින්දනයකි. දෙවන අවස්‌ථාව වඩාත් ගැඹුරුවූත් හරවත් වූත් වින්දනාත්මක තත්ත්වයකි. හොඳ රසිකයෙක් වූ කලී අප මතුපිටින් ලබන සරළ වින්දනය වෙනුවට ගැඹුරු වූත්, අර්ථවත් වූත්, ආශ්වාදයක් ලැබීමට හුරුවිය යුතුය.
අපට වඩාත්ම සමීප ජනමාධ්‍යක් වන රූපවාහිනිය මගින් විසුරුවා හරිනු ලබන නර්තන අංගයක් රස වින්දනයේ දී අපේ අවධානය යොමු කළ යුතු අංග කවරක්‌දැයි විමසා බලමු.
ඔබේ ගුරුවරයා විසින් අනුමත කරන ලද රූපවාහිණි නර්තන වැඩ සටහනක් හෝ එවැනි වැඩසටහනක් අඩංගු වීඩියෝ පටයක් නැරඹිමේදි පහත දක්‌වා ඇති මූලික උපදෙස් අනුගමනට කරන්න.
* ඒකල ද සාමුහික නර්තනයක් ද, යන්න හඳුනාගන්න.
* ගැමි නැටුමක් ද සම්ප්‍රදායික නැටුමක් ද, නිර්මාණාත්මක නැටුමක් ද යන්න පැහැදිලි කර ගන්න.
* එම නර්තන අංගය සාම්ප්‍රදායික නර්තනයක් නැතහොත් සම්ප්‍රදාය ඇසුරු කොට නිර්මාණය කරන ලද්දක් නම්, එය කවර සම්ප්‍රදායකට අයත් නර්ථනයක්‌ද යන්න නිශ්චිතව දැනගන්න.
* අවධානයෙන් යුතුව ආරම්භයේ සිට අවසානය තෙක් නර්තන අංගය නරඹන්න.
ඔබ නරඹන නර්තන අංගය වඩාත් හොඳින් විමසා විචාරය කළ හැකි වන්නේත් එයින් හොඳ ආශ්වාදයක් ලබා ගත හැකි වන්නේත් ඉහත මූලික උපදේශයන්ට අනුව කටයුතු කිරීම මගිනි.