සුභාෂිතය
 

සුභාෂිත කාව්‍යය සීතාවක යුගයේ දී අලගියවන්න මුකවෙටි තුමා විසින් රචනා කරන ලද පද්‍ය ග්‍රන්ථයකි. යහපත් දේ කතා කිරීම සුභාෂිතයයි. මෙම පද්‍ය ග්‍රන්ථයෙහි එන පද්‍ය සංඛ්‍යාව සියයකි. එය පුරාණ නීති ශතකය සිංහල බසින් කීමකි.


අලගියවන්න මුකවෙටි තුමා ජීවත් වූයේ සියනෑ කෝරළේට අයත් හිස්‌වැල්ල නැමති ග්‍රාමයේය. එම ග්‍රාමයේ විසූ ධර්මද්වජ පණ්‌ඩිතයන් මෙතුමා ගේ පියාණන්ය. අලගියවන්න මොහොට්‌ටාල තුමා සිංහල භාෂාව සහ සාහිත්‍ය එක්‌තරා දුරකට පරිහානියට පත්වෙමින් පැවති අවස්‌ථාවේදී ඉදිරිපත් වී එම පරිහානියෙන් සිංහල භාෂාවත්, සාහිත්‍යයත් ආරක්‌ෂා කර ගැනීමට ක්‍රියාකළ දුර්ලභ ගණයේ වියතෙක්‌ හැටියට සඳහන් කළ හැකිය. ඔහුත්, ඔහුගේ පියාත් සීතාවක යුගයේදී සිංහල භාෂා සාහිත්‍යය ආරක්‌ෂා කර ගැනීමට පහළ වී සිටි, සිංහල සාහිත්‍යධර පිය පුතු දෙදෙනා හැටියට සැලකිය හැකිය. කුස ජාතක කාව්‍යය, දහම් සොඬ සහ සැවුල් සන්දේශය මෙතුමා විසින් ලියන ලද පොත් කීපයකි.


සිංහල සාහිත්‍යයෙහි ලියවී ඇති උපදේශ ග්‍රන්ථ අතර සුභාෂිතය ද උපදේශාත්මක කාව්‍ය කෘතියක්‌ ලෙස සැලකේ. එයින් පුද්ගලයාගේ ජීවිතය යථාමාර්ගයෙහි යෙදවීම සඳහා අවශ්‍ය උපදේශාත්මක කාරණා ඉදිරිපත් කරයි. සුභාෂිතයෙහි එන සෑම පද්‍යයකින්ම ඉදිරිපත් කරන කාරණා පුද්ගලයාගේ ජීවිතය තුළ සාර්ථක බවක්‌ ඇතිකිරීමට සමත් වේ.

1. කුලුණු ගුණෙන් යුතු උතුමන් සිත මහරු
දුදන බසින් නොයෙදෙයි කරනට නපුරු
නව රුවනින් පිරිමහ සමුදුර ගැඹුරු
තණ සුළඟින් හුණුකළ හැකි වෙති කවුරු

අදහස : නව රත්නයෙන් පිරුණු මහා සාගරය තණ කොළ පන්දමකින් උණු කිරීමට නොහැකිසේම, කරුණා ගුණයෙන් යුතු උතුමන්ගේ සිත දුර්ජනයන්ට අපිරිසිදු කළ නොහැකිය.

8. මිනිස්‌ හට සොදුරු ගුණ සහ නුගුණ ඇත
නිදොස්‌ කෙනෙකු මෙදියත උපදිනේ නැත
වෙසෙස්‌ සිනිදු මුවරද බර සහස්‌ පත
කොරොස්‌ නලින් යුතුවෙයි කට පෙළිනි යුතු

අදහස : මිනිසාට යහපත අයහපත දෙකම ඇත. නිර්දෝෂි කෙනෙක්‌ මේ ලෝකයේ උපදින්නේ නැත. එය හරියට සිනිදු මකරන්ද බර ඇති නෙළුම් මල කටුපෙලකින් යුතු කර්කශ නටුවකින් යුක්‌ත වන්නාක්‌ මෙනි.

15. නදන ගුණ නුවණ යුතු උතුමෝ මහත
නොගෙන කිසි කරුණු සත සුවපත් කෙරෙත
ලෙළෙන සා මඩුලු යුතු තුරු පෙළ දිමුත
යනෙන සත සතපමින් ගිම් දුර හරිත

අදහස : ශාඛා මණ්‌ඩලයෙන් යුතු තුරු පෙළ යන එන අයට සෙවන සපයා විඩාම දුරු කරවති. එමෙන්ම උත්තම ගති ඇති මහත්මයෝ කිසිම කාරණයක්‌ දැඩිව නොගෙන සත්වයා සනසවති.

සුභාෂිත කාව්‍යය

පහළ පොරණ ඉසිවර මුවෙනි මන නද
දෙමල සකු මගද නොහසල සතට දද
පුවල නීති සත ගත පද අරුත් ලෙද
සිහල බසින් සැකෙවින් කියමි පද බැඳ

ඉහත සඳහන් පද්‍යය අලගියවන්න තුමා සුභාෂිතයට ඇතුළත් කිරීමෙන් ඔහු සුභාෂිතය රචනා කිරීමේ පරමාර්ථය කුමක්‌ද යන්න පැහැදිලි වේ. පැරණි සෘෂිවරයන් විසින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රසිද්ධ වු නීති ශතකය දෙමල, සංස්‌කෘත, පාලි නොදත් ජනතාවගේ පහසුව සඳහා සිංහලෙන් පද බැඳ තබන බවක්‌, එයින් සඳහන් කළේය.


නීති ශතකය පැරණි සම්භාව්‍ය සංස්‌කෘත පද්‍ය ග්‍රන්ථයකි. එහි ඇත්තේ චිරත්තන වූද, සර්ව කාලීන වූද හැම අවස්‌ථාවකදීම සමාජයට යහපත කියා දෙන්නාවූද පරිපූර්ණ ගුණධර්ම රාශියකි.
සුභාෂිතය සීතාවක යුගයේ කාව්‍ය ග්‍රන්ථයක්‌ වීම නිසා, එය අපි චිරත්තන සාහිත්‍ය කෘතියක්‌ ලෙස හදුන්වමු. චිරත්තන සාහිත්‍ය කෘතිවල හරයක්‌ ගැබ් වී ඇති බව කිව යුතුය. සුභාෂිතයේ එන පද්‍ය දෙස සිත් යොමු කිරීමේ දී එය මිනිස්‌ සන්තානයෙහි අධ්‍යාත්මික ගුණය වර්ණනා කරන හර පද්ධතියකින් සමන්විත භාෂිතයක්‌ ලෙස සඳහන් කළ හැකිය. මෙම භාෂිතය සුභාෂිතයක්‌ වූයේ එහි එන අදහස්‌වලින් මිනිස්‌ ජීවිතයෙහි සරු සාර අධ්‍යාත්මික වු විසිතුරු නැම්මක්‌ ඇති කිරීමට හේතුවන නිසාය.

කුලුණු ගුණෙන් යුතු උතුමන් සිත මහරු
දුදන බසින් නොයෙදෙයි කරනට නපුරු
නව රුවනින් පිරිමහ සමුදුර ගැඹුරු
තණ සුළඟින් හුණුකළ හැකි වෙති කවුරු

ගැඹුරු මහා සාගරය නොයෙක්‌ ආකාරයේ මිනිමුතු රන්වලින් පරී පවතී. එසේ පවතින එම මහා සාගරයෙහි ජලය කිසිවෙකුවත් තණ කොළවලින් සකස්‌ කරන ලද පන්දමකින් උණුකිරීමට නොහැකි වන්නේය. එසේම මේ ලෝකයෙහි කරුණා ගුණයෙන් අගතැන්පත් වු මහාර්ඝ සිතුවිලි වලින් පරිපූර්ණ වු කුළුණු ගුණයෙන් හෙබි මහෝත්තමයෝ සිටිති. ඒ මහෝත්තමයන්ගේ සිත දුර්ජනයන්ගේ වචනයෙන් අපවිත්‍ර කිරීමට කිසිම කාලයක නොහැකි වන්නේය.


මෙයින් අලගියවන්න කවියා අපේක්‌ෂා කළේ මහත්මයන් මහත්මා ගුණයෙන් යුක්‌ත වු පුද්ගලයන් ඔවුන් තුළ පවතින ඒ මහත්මා ගුණය පදනම් කරගැනීම තුළින් කිසිවිටෙකත් අයහපත් ගති ඇති පුද්ගලයන් විකෘති කිරීමට, අපිරිසිදු කිරීමට නොහැකි බවය. එයින් පැහැදිලි වන්නේ අධ්‍යාත්මික ගුණවගාවන් පරිපූර්ණ පුද්ගලයාගේ චිත්ත ශක්‌තිය සහ අධ්‍යාත්මික පරිසරය කවර වු හෝ පුද්ගලයෙකුට දුර්ජනයෙකුට කඩා බිඳ දැමීමට නොහැකි බවයි. යමෙක්‌ එම අධ්‍යාත්මික ගුණ වගා නැසීමට උත්සාහයක්‌ දරත හොත් එය නොයෙක්‌ ආකාරයේ රත්නයන්ගෙන් පිරීපවතින ගැඹුරු මහා සාගරය තණ කොළ පන්දමකින් උණු කිරීමට ගන්නා උත්සාහයක්‌ මෙන් සපුරා නිරර්ථක වන්නේය.


එසේම අලගියවන්න කවියා සිය කාව්‍ය කරණයේ දී උපදේශයක්‌ දෙන්නේ බුද්ධිමතාටත් මෝඩයාටත් රජකම ලැබීමේ දී ඇති වන තත්ත්වය පැහැදිලි කරමිනි. ඇතැම් විට පරම්පරාවෙන් රජකම ලැබිය හැකිය. එහෙත් ඒ රජතුමා බුද්ධිමතෙක්‌ නොව මහා මෝඩයෙක්‌ වන්නේය. ඔහු විසින් ලබාගන්නා ලද රාජ්‍ය සම්පත්තිය ඔහුට ගෙන දෙන්නේ මහා භයානක නිරා දුකටත් වඩා වැඩි දුකකි. එහෙත් ස්‌ථීර සාර ඥාණ සම්භාරයෙන් පරිපූර්ණ රජකුට ඒ රාජ්‍ය සම්පත්තිය ලැබුණු විට ඔහු එමගින් දේව සම්පත්තියටත් වඩා සිය දහස්‌ ගුණයකින් සැප සම්පත් තමන්ටත් රටටත් ලබාදීමට හා ලබා ගැනීමට සමත් වෙයි. මෙයින් අලගියවන්න කවියා ඉදිරිපත් කළේ යමක්‌ ලැබිය යුත්තේ සුදුස්‌සාට මිස නුසුදුස්‌සාට නොවන බවයි.


අලගියවන්න කවියා සුභාෂිතයෙහි එන කවි සිය හැකියාව තුළින් සමාජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව බොහෝ අවස්‌ථාවල සමාජ විශ්ලේෂණයෙහි යෙදී ඇත. එසේ සමාජ විශ්ලේෂණයෙහි යෙදෙමින් සමාජයේ ඇතැම් පුද්ගලයන් කෙරෙහි සානුකම්පිත හැඟීමක්‌ ප්‍රජනනය කර ඇත. විශේෂයෙන්ම දේශපාලනීකරණයට ගොදුරු වී සිටින අද සමාජයේ ඇතැම් පුද්ගලයන්ගේ චර්යාධර්ම සහ හැසිරීම් රටාව එදා සීතාවක යුගයේදී ද අලගියවන්නයන් දුටුවා සේය. එදා සීතාවක රාජසිංහ රජුට ඇතැම් ඇමතියෝ ඇතැම් ඇමතිවරුන් පිළිබඳව කේළාම් කීහ. ඒ කාලයේ තිබුණේ අරිට්‌ඨකී වෙණ්‌ඩු න්‍යායයි. එකිනෙකා කෙරෙහි පැවති ඇලීම්, බැලීම් තුළින් එදා මෙම දේශපාලනීකරණීයභාවය උත්සන්න තත්ත්වයට පත්වී තිබුණි. මේ කාලයේ ප්‍රභුජනයා ඇසුරු කළ (රජතුමා වැනි) ඇතැම් බලයෙන් අඩු පුද්ගලයෝ උඩගු තත්ත්වයකට පත්වූහ. ඔවුන්ගේ තත්ත්වය කෙබදු වීද? හරියටම ඒ පුද්ගලයන් ඊශ්වරයාගේ බෙල්ල වෙළාගෙන සිටින නාග රාජයා උද්දච්ච භාවයට පත්වී ගුරුළු රාජයාගෙන් තොරතුරු විමසීමක්‌ කෙරෙන ආකාරයක්‌ කතුවරයා පවසා ඇත.


නාග රාජයාගේ සතුරා ගුරුළාය. නාගයා ගුරුළාගේ ආහාරයයි. එහෙත් කොතරම් බඩගින්නේ සිටියද ගුරුළා ඊශ්වරයාගේ බෙල්ලේ සිටින නාගයා ආහාරයට ගැනීමට ඉදිරිපත් නොවේ. මේ දන්නා නාග රාජයා ගුරුළා ඉදිරියේ සිය උඩගුකම පෙන්වයි. එහෙත් ඊශ්වරයාගේ බෙල්ල අතහැර එළියට ගියවිට සිදුවන්නේ නාග රාජයා ගුරුළාගේ ආහාරය බවට පත්වීමයි.

 

ප්‍රභුජනයා ඇසුරු කරන ඇතැම් පුද්ගලයන්ට ද සිදුවන්නේ ඊශ්වරයාගේ බෙල්ලේ සිටි නාගයාට සිදු වූ දේමය.


බොහෝවිට සමාජයේ විවිධ ගැටුම් ඇතිවන්නේ නිසි පරිදි සමාජිකයා සමාජාවලෝකනයෙහි නොයෙදෙන බැවිනි. හැම විටම අප දකින්නේ මෙරමා දොස්‌ය. අපගේ අඩු පාඩු කම් කිසිවිටෙකත් අපට නොපෙනේ. එසේම අපේ අඩු ලුහුඩුකම් පිළිබඳව කිසිවෙකු විසින් ප්‍රකාශ කරනු ලැබූවත් අප එය නොපිළිගනී. මෙම තත්ත්වය නිසාම සමාජයේ විවිධ ආකාරයේ පළිබෝධයන් සමාජිකයන් අතර ඇති වේ. මේ කාරණය අලගියවන්නයන් දුටුවේ මෙසේය.

නොමින් ලොව සියලු දේ දක්‌නා ඇසට
තමන් හැටි මදක්‌වත් නොපෙනෙයි ලෙසට
අනුන් දොස්‌ දකිති අනුවන දන කපට
එමෙන් සිය නුගුණ නොදනිති නියම කොට

"නිදොස්‌ කෙනෙක්‌ මෙදියත උපදනේ නැත"


මෙයින් කවියා කීවේ නිර්දෝෂි වූ පුද්ගලයෙක්‌ මේ ලෝකයෙහි නූපදනා බවය. එසේ නම් උපන් හැම කෙනා කෙරෙහිම යහපතක්‌ අයහපතක්‌ විද්‍යාමාන වන්නේය. එය ලෝක ස්‌වභාවයම වන්නේය. ශාස්‌තෘන් වහන්සේලා හැර සම්පූර්ණ ශුද්ධවන්ත වූ කිසිවෙක්‌ භවාග්‍රය දක්‌වාද නැත. එසේම සම්පූර්ණ පාපිෂ්ට වු පුද්ගලයෙකුද ලොව කොතැනකවත් නැත. එසේ නම් මිනිසාට සොදුරු වු ගුණ මෙන්ම නුගුණද ඇත. ලෝකයේ උපදින සත්ත්වයා මේ යහපත හා අයහපත අතර කොටුවී මැදිවී විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් ජීවිත ගැටළුවලින් මිරිකෙමින් ජීවත් වෙයි. මෙම ලෝක ස්‌වභාව යථාර්ථය තේරුම් කරගෙන ජීවත්වීම බෙහෙවින්ම අපහසු කාර්යයකි. නිදොස්‌ කෙනෙක්‌ ලෝකයේ නැති බවට අලගියවන්න කවියා ගත්තේ කදිම උපමාවකි. නෙළුම සිනිදුය. ප්‍රියමනාපය, එහෙත් ඒ නෙළුම වැඩී ඇති නැට්‌ට කටු සහිතය. ගොරෝසුය. එමෙන්ම ජීවිතයද ගුණ නුගුණ දෙකින්ම යුක්‌තය.ජීවත්වීමේ දී එය නිසි පරිදි අවබෝධ කරගැනීම මිනිස්‌ ජීවිතයේ යථාර්ථය තහවුරු කරගැනීමට හේතු වේ. කවියා එය මෙසේ ඉදිරිපත් කරයි.

මිනිස්‌ හට සොදුරු ගුණ සහ නුගුණ ඇත
නිදොස්‌ කෙනෙක්‌ මෙදියත උපදනේ නැත
වෙසෙස්‌ සිනිදු මුවදර බර සහස්‌ පත
කොරොස්‌ නලින් යුතුවෙයි කටුපෙළින යුත

මේ ආකාරයෙන් අලගියවන්න මුකවෙටි කවියා සිය සුභාෂිත කාව්‍යය තුළින් හැමවිටම ඉදිරිපත් කිරීමට උත්සා කළේ ජීවිත ස්‌වභාවයයි. ඒ තුළින් අධ්‍යාත්මික ගුණ වගාවෙන් පරිපූර්ණ මිනිස්‌ සමාජයක්‌ ගොඩනැගීමට මාර්ගෝපදේශයක්‌ ලබා දීම සුභාෂිතය ලිවීමේ මූලික හරය විය. එය සර්වකාලීන අගයකින් යුතු මානුෂික ධර්ම පදනම් කරගත් උපදේශාත්මක කාව්‍ය සංග්‍රහයකි.

අභ්‍යාස හුරුව 1
1. "සුභාෂිතය" යන වචනයෙහි අදහස කුමක්‌ද ?
2. "උපදේශ සාහිත්‍යය" යන වගන්තියෙහි අදහස පැහැදිලි කරන්න.
3. කෝට්‌ටේ යුගයේදී සහ එයින් පසුව ලියවී ඇති උපදේශ කාව්‍ය ග්‍රන්ථ කීපයක්‌ නම් කරන්න.
4. සුභාෂිතය කාගේ කෘතියක්‌ දැයි විමසීමක යෙදෙන්න.
5. සීතාවක යුගයේ පැවති සිංහල භාෂා සාහිත්‍යයේ දියුණුව පිළිබඳ විමසීමක යෙදෙන්න.

අභ්‍යාස හුරුව 2
1. පැරණි පද්‍ය සාහිත්‍යයේ පසුබිම පිළිබඳ විමසීමක යෙදෙන්න.
2. "කුළුනු ගුණෙන් යුතු උතුමන් සිත මහරූ" යන පද්‍යයේ අදහස ලියා එහි එන කාරණා විචාරයට ලක්‌ කරන්න.
3. ඔබට නියමිත පද්‍ය පන්තියේ (16) ඇති උපදෙස්‌ වගු ගත කරන්න.
4. "මිනිස්‌ හට සොදුරු ගුණ සහ නුගුණ ඇත.
නිදොස්‌ කෙනෙක්‌ මෙදියත උපදනේ නැත"
මේ පද්‍යයේ සෙසු පද දෙක සම්පූර්ණ කර එහි දෘෂ්ටාන්තයේ ඇති උචිතානුචිත බව ගැන විමසීමක යෙදෙන්න.
5. "ලෙළන සා මඬුලු යුතු තුරු පෙළ දිමුත
යනෙන සත සතපමින් ගිම් දුර හරිත"
මෙම පද්‍යයේ පද සම්පූර්ණ කර පද්‍යයේ දෘෂ්ටාන්තයේ මතුවන සුදන ගුණය පැහැදිලි කරන්න.

අභ්‍යාස 3
1. "මිනිස්‌ හට සොදුරු ගුණ නුගුණ ඇත
නිදොස්‌ කෙනෙකු මෙදියත උපදනේ නැත
වෙසෙස්‌ සිනිදු මුවරද බර සහස්‌ පත
කොරොස්‌ නලින් යුතුවෙයි කටු පෙළින යුත"
මේ පද්‍යය විචාරයට ලක්‌ කරන්න.

2. "නොමින් ලොව සියලු දේ දක්‌නා ඇසට
තමන් හැටි මදක්‌ වත් නොපෙනෙන ලෙසට
අනුන් දොස්‌ දකිති අනුවන දන කපට
එමෙන් සිය නුගුණ නොදනිත් නියම කොට"
මේ පද්‍යය විචාරයට ලක්‌ කරන්න.

3. "තැන තැන නිදන කොට නොතබා සැම දිනම
කව බොව යදින්හට දන් දෙව වඩා පෙම
මිහි බැඳි බිගුන්හට වන ලෙස දැක දැකම
තව තව ලොබින් දන රැස්‌කර තබනු කිම"
මේ පද්‍යයෙන් හෙළිවන කවියාගේ දෘෂ්ටිය පැහැදිලි කරන්න.

4. සුභාෂිත කාව්‍යය උපදේශක ග්‍රන්ථයක්‌ වශයෙන් අගය කරන්න.
5. සුභාෂිත කාව්‍යය තුළින් අලගියවන්නගේ කවිත්වය සමාජ දැක්‌ම සහ උපමා ගෙනහැර දැක්‌වීමේ කුශලතාවය පැහැදිලි කරන්න.
6. සුභාෂිතය අද සමාජයට යොමුකර විවරණයක්‌ ලියන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017