පොළොන්නරු යුගයේ විසූ මයුරපාද පරවේණාධිපතිව වැඩ විසූ 'බුද්ධපුත්‍ර' නම් යතිවරයෝ බුදුන්වහන්සේගේ 'අරහං' ගුණය වර්ණනා කරමින් "පූජාවලිය" ග්‍රන්ථය රචනා කළහ. අනන්ත වු ශාස්‌තෘ ගුණය තුළින් "ඉතිපිසෝ භගවා අරහං..." යන තැන ප්‍රකාශ වන්නේ බුද්ධ ගුණ නවයකි. එම බුද්ධ ගුණ නවය අතුරෙන් ප්‍රථම බුද්ධ ගුණය අර්හත් ගුණයයි. එය එහි 'අරහං' (අරහ) යන අකුරු තුනෙන් දක්‌වා ඇත. පූජාවලිය ග්‍රන්ථය රචනා කිරීමේදී බුද්ධපුත්‍ර හිමියෝ මෙසේ සටහන් කරති. 1. දඹදෙනියේ විසූ ද්විතීය පණ්‌ඩිත පරාක්‍රමබාහු රජතුමාට බෝධිසත්ව පාරමිතාවෙන් යෙදුණා වු බණක් ඇසීමට දේවප්‍රතිරාජ ඇමතිතුමන් විසින් කරන ලද ආරාධනාවය. ඒ අනුව රජතුමාට බුදුබව ප්‍රාර්ථනා කිරීම සඳහා අනුශාසනා කිරීම මෙහි ප්‍රථම නිමිත්ත වන්නේය.
"නව අරහාදී බුදුගුණයෙහි පළමුවන "අරහං" යන අකුරු තුනෙන් කීවා වූ අර්හත් ගුණය ගෙන "පූජාවලී" නම් ධර්ම ව්‍යාඛ්‍යාන කතාවකින් අප මහා ගෞතම බුදුන්ගේ ගුණෛකදේශයක් වර්ණනා කරම්හ"
පූජාවලී කර්තෘවරයාගේ මෙම සටහනෙන් පූජාවලී ග්‍රන්ථය රචනා කිරීමේ අරමුණ හා පරමාර්ථය කුමක්‌ද යන්න මැනවින් පැහැදිලි වන්නේය. එසේම උන්වහන්සේ මෙම ග්‍රන්ථය රචනා කරන්නේ ව්‍යාඛ්‍යාන කතාවක් හැටියට බවද උන්වහන්සේ ගේ ඉහත සටහනෙන් පැහැදිලි වන්නේය. මේ නිසා බුත්සරණ, අමාවතුර ග්‍රන්ථ සේම පූජාවලිය ග්‍රන්ථය ද බුද්ධ ගුණය ප්‍රකාශ කෙරෙන ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ ලෙස සඳහන් කළ හැකිය.
බුද්ධ පුත්‍ර පාදයෝ මෙම ග්‍රන්ථය "අර්හත් ගුණ වර්ණනා නම් වු පූජාවලිය" යනුවෙන් ද සඳහන් කරන ලද බව පූජාවලී ග්‍රන්ථයෙහි ඇතැම් පරිච්ඡේදවල දක්‌නට ලැබෙන වගන්තියකින් පැහැදිලි වෙයි. එහිදී බුද්ධ පුත්‍ර හිමියෝ එය මෙසේ අවසන් කරති.
"මෙතෙකින් අට මහ ලෝ වැඩ පිණිස කරන ලද අර්හත් ගුණ වර්ණනා සංඛ්‍යාත මේ පූජාවලියෙ" හි යනු සටහන් කරති. මේ නිසා එය "අර්හත් ගුණ වර්ණනාව" යනුවෙන් අතීතයේදී ප්‍රචලිත වී ඇත.
බුද්ධ පුත්‍ර පාදයෝ මෙම ග්‍රන්ථය රචනා කරන්නේ අර්හත් ගුණ සම්ප්‍රයුක්‌ත එක් අර්ථයක් වන පූජාර්ථය පදනම් කරගෙනය. උන්වහන්සේම පවසන පරිදි සම්පූර්ණයෙන්ම අර්හත් ගුණය වර්ණනා කරන්නේ නම් මෙවැනි පොත් පහක් ලිවීමට සිදුවන බවය. ඒ බව උන්වහන්සේ ස්‌වකීය ග්‍රන්ථයෙහිම මෙසේ සටහන් කරති.
"පස්‌මහ අර්ථය වෙන වෙනම වර්ණනා කරත් මෙසේම පස්‌මහ පොතකින් මිස එක් පොතකින් උගහට වන බැවින් 'අර්හත් පූජායං' යන ධාතුහු කෙරෙන් සිද්ධ පූජාර්ථය පමණක් ගෙන මේ පූජාවලියෙහි වර්ණනා කරම්හ"
මෙයින් පැහැදිලි වන්නේ "අරහං" යන වචනයෙහි අර්ථ පහක් ඇති බවත්, එයින් එක් අර්ථයක් වන "පූජාර්ථය" පමණක් ගෙන තමන්වහන්සේ මේ ග්‍රන්ථය කරන බවත්ය. මේ ආකාරයෙන් බුදුන්වහන්සේගේ අරහත් ගුණය පදනම් කරගත් "පූජාර්ථය" ගෙන සම්පාදනය කරන ලද බැවින්ම මේ ග්‍රන්ථය "පූජාවලී" නමින් ප්‍රකට වු බව සහ නම් කළ බව සඳහන් කළ හැකිය. විශේෂයෙන්ම පූජාව ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව වශයෙන් දෙයාකාර වේ. ඒ අනුව ශ්‍රද්ධ ගුණ මූලික වශයෙන් ප්‍රමාණානිකාන්ත පූජාවන් ඇත. ඒ අප්‍රමාණ පූජාවන්ගෙන් බුදුන් පිදීම බෞද්ධ චරිතයි. මේ අනුව පූජාවන් රාශියක් පූජාවන් වැලක් ගැන වර්ණනා කෙරෙන නිසාම මේ ග්‍රන්ථය පූජාවලී නම් විය.
පූජාවලී ග්‍රන්ථය ලිවීමට හේතු වු කාරණා
මෙම ග්‍රන්ථය ලිවීමට හේතු වු කාරණා කීපයක් බුද්ධ පුත්‍ර පාදයෝ පූජාවලී ග්‍රන්ථයෙහිම සඳහන් කරති.
2. මෙම ග්‍රන්ථය ලිවීමේ දෙවන කාරණය වූයේ ස්‌වකීය ධර්ම ව්‍යාඛ්‍යාන ග්‍රන්ථයෙන් ලංකාදීපවාසී සියලුම ජනතාවට අනුශාසනා කිරීමය.
3. අට මහ ලෝ වැඩ ගැන සිතීම ද මෙම පූජාවලී ග්‍රන්ථය ලිවීමට තවත් හේතුවක්, කාරණයක්, නිමිත්තක් වී ඇත.
4. මෙම ග්‍රන්ථය රචනා කිරීමේ තවත් අරමුණක් බුද්ධ පුත්‍ර පාදයන් වෙත විය. එය බුදුගුණ වර්ණනා කිරීම සහ බුදුන්වහන්සේට ස්‌තුති පූජා පැවත්වීමය. එසේම බුදුන්වහන්සේට උත්තරීතර ප්‍රතිපත්ති පූජාවක් කිරීමද උන්වහන්සේගේ තවත් අරමුණක් වශයෙන් දැක්‌විය හැකිය.
බුද්ධ පුත්‍ර යතිවරයාණන් මෙම ධර්ම ග්‍රන්ථය රචනා කිරීමේ දී නව අරහාදී බුද්ධ ගුණය සංක්‌ෂිප්තව සඳහන් කරමින් බුද්ධ ගුණ වර්ණනාවෙහි ඇති අතිශය දුෂ්කරතාවය පෙන්නුම් කරයි. අසන්නා තුළ විශ්මය දනවන ආකාරයෙන් පමණක් නොව සැදැහැති බෞද්ධයාගේ සන්තානයෙහි අද්භුත බවක් අතිකරන ආකාරයෙන් එය රචනා කර ඇත. මෙහිදී ධර්මයේ ගාම්භීරත්වය දක්‌වන බුද්ධ පුත්‍ර යතිවරයෝ බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මයත්, මහා සාගරයත් අද්භුත ධර්ම අටකින් යුක්‌ත බවත්, සද්ධර්ම සාගරය සෘද්ධිමතුන්ට පවා අවිෂය වන ආකාරයත් සඳහන් කරන්නේ අසන්නාගේ සන්තානය තුළ ආශ්චර්ය අද්භුත ජනක මානසික තත්ත්වයක් ඇති කරමිනි.
පස්‌වන හයවන පරිච්ඡේද වෙන්කර ඇත්තේ බෝසත් ගුණ මහිම ජාතක කතා අනුසාරයෙන් ඉදිරිපත් කිරීමටය. හත්වන පරිච්ඡේදයේ සිට දාහතරවන පරිච්ඡේදය දක්‌වා බුද්ධ චරිතයේ මූලික අවස්‌ථා පැහැදිලි කර දී ඇත. පසළොස්‌වන පරිච්ඡේදයෙහි කාලුදාසී පුවත, යමාමහ පෙළහර පෑම, බුද්ධවංශ දේශනාව අන්තර්ගත වේ.
විසිහතරවන පරිච්ඡේදයෙහි තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීමේ ප්‍රවෘත්තියද, විසිපස්‌වන පරිච්ඡේදයෙන් දෙව්ලොවින් මිනිස් ලොවට අවරෝහණය වන දේවාරෝහණ කතා ප්‍රවෘත්තියද විසි හයවන පරිච්ඡේදයෙන් භික්‌ෂුණී ශාසනය පිහිටුවීම පිළිබඳවද, විසි හත්වන පරිච්ඡේදයේ සිට තිස්‌එක්‌වන පරිච්ඡේදය දක්‌වා මහා ප්‍රජාපතී, ජීවක, දෙව්දත්, අජාසත්, යශෝධරා ආදීන් පිළිබඳවද, තිස්‌දෙවන පරිච්ඡේදයෙන්, බුද්ධ පරිනිර්වාණය පිළිබඳව ද, තිස්‌තුන, තිස්‌හතර පරිච්ඡේද වලින් ලංකා බුද්ධ ශාසනය පිහිටුවීම සහ ලංකා ශාසන ඉතිහාසය ගැනද විස්‌තර අන්තර්ගත වන්නේය.
මෙම ග්‍රන්ථය එක් අංශයකින් බුද්ධ ගුණය වර්ණනා කෙරෙන බුදුගුණ වර්ණනාත්මක ග්‍රන්ථයකි. තවත් පැත්තකින් එය බුදු දහම පිළිබඳව පුළුල් අවබෝධයක් නොදත් එය තුළ බුද්ධ භක්‌තිය ජනිත කරවන ධර්මය වු ව්‍යාඛ්‍යාන ග්‍රන්ථයකි. එපමණක් නොව එය බුද්ධ චරිතයේ ශ්‍රේෂ්ඨ අංශ වර්ණනා කෙරෙන බුද්ධ චරිත ග්‍රන්ථයකි. තවත් පැත්තකින් ලංකා ඉතිහාසය පිළිබඳව ද කරුණු කියාපාන ඓතිහාසිකත්වයෙන් යුතු ඉතිහාස ග්‍රන්ථයකි.
මෙහි උපමා යොදා ගැනීම සම්බන්ධයෙන් ද බුද්ධපුත්‍ර හිමියෝ මහත් රුචිකත්වයක් දක්‌වති. බුත්සරණ කළ විද්‍යාචක්‍රවර්ති මෙන් ද, සද්ධර්මරත්නාවලිය කළ ධර්මසේන හිමියන් මෙන්ද ස්‌වකීය ග්‍රන්ථය උපමාවෙන් සැරසීමට උත්සාහගත් බව පූජාවලී ග්‍රන්ථයෙහි එන උපමාවන්ගෙන් මැනවින් පැහැදිලි වෙයි. පූජාවලී කතුවරයා ඇතැම් සිද්ධි ආවේගවත්ව ඉදිරිපත් කිරීමට, බුද්ධ භක්‌ති ජනිත කරවීමට උපමා යොදාගත් බව පෙනේ. බුදුරදුන් වර්ණනා කිරීමට බුද්ධ පුත්‍ර යතිවරයෝ මෙසේ උපමා යොදා ගනිති.
"ගරුඬ ගණයා පිරිවැරූ ගරුඬ රාජයා සේ...."
"සිය රැස් පිරිවැරූ දිවසකර රාජයා සේ...."
"රන් පියුම් සාගර මධ්‍යයෙක්‌හි ශෝභමාන වූ....කනක නෞකාවක සේ..."
"කුලපව්වන් පිරිවැරූ කණක මෙරු රාජයා සේ...ඉතා මහත් වු බුද්ධානුභාවයෙන්, බුද්ධශ්‍රීන්, බුද්ධ තේජසින්, බුද්ධ වික්‍රමයෙන්, බුද්ධ ඥාණයෙන් දිලිහි දිලිහී..."
සමකාලීන සමාජ ජීවිතය ආශ්‍රයෙන් පූජාවලී කතුවරයා යොදාගත් උපමා මෙසේය.
"රජහු කුලෙහි ඇත්තවුන් ගොවි කුලෙහි ඇත්තවුන්ගේ වාසයට නොවදනා සේ"
"යම් සේ රාජද්‍රෝහි කළ පුරුෂයෙක් උල අන්නා වරද ඇතිවත් රජහුගේ ප්‍රසාදයෙන් මස්‌සක් පමණ දඩදී ඒ දෝහයෙන් ගැලවේද ඒ සෙයින්"
"බෝමැඩ වසා සිටි බෝ ගෙයක් සේ"
"සිංහල දීපවාසීන් සමනොළ දක්‌නට යන්නා සේ"
"නොයෙක් ජාතියේ මල් එක මලස්‌නක තැබුවා සේ"
"නයෙකු මල්දමක් සේ හිස් මුදුනේ වෙළාගෙන"
"මැදිරියක වසන පක්‌ෂීන් මෙන්"
අනුප්‍රාස යෙදුම්
"ගුරු සිකුරු තරු වැනි වු"
"රජුන් හා සමගින් උමගින් හසුකොට"
"ඇකයේ සැකයක් නැතිව"
"ස්‌වර්ණ සාරයක් බදු රූප සාරයක් ඇති"
"දහම නැමති නැලවිල්ලෙන් නලව නලවා"
පූජාවලී කතුවරයා ස්‌වකීය ග්‍රන්ථ සම්පාදනයේ දී මිශ්‍ර සිංහල භාෂාව උපයෝගි කරගෙන ඇත. තම ග්‍රන්ථය උන්වහන්සේ සම්පාදනය කළේ සැදහැති ගැමි උපාසක උපාසිකාවන් සඳහාය. පොළොන්නරු යුගයේ රචනා කරන ලද පොත පතෙහි දක්‌නට ලැබෙන සංස්‌කෘතයට නැඹුරු වු බස් වහර ගැමි උපාසක ජනතාවට තේරුම් ගැනීමට අපහසුය. මේ නිසා එම බස් වහරට පිටුපෑ බුද්ධපුත්‍ර යතිවරයෝ ගැමි ජනතාවට අවබෝධකර ගතහැකි මිශ්‍ර සිංහල භාෂාව තම ග්‍රන්ථය සඳහා යොදා ගත්හ.