බුත්සරණ - (නාලාගිරි දමනය)
 

බුත්සරණ ග්‍රන්ථය බුද්ධ ගුණය වර්ණනා කිරීම පරමාර්ථ කරගෙන ලියන ලද ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය පොළොන්නරු යුගයට අයත්වන අතර එය ආචාර්ය විද්‍යාචක්‍රවර්තීන් විසින් රචනා කරනු ලැබ ඇත. බුත්සරණ කතුවරයා මෙම ග්‍රන්ථය නම් කර ඇත්තේ "අමෘතාවහ" නාමයෙනි. "අමෘතාවහ" යන්නෙහි අදහස අමෘර්තය ගෙන දෙන යන්නය. මෙම ග්‍රන්ථයෙහි එන හැම පරිච්ඡේදයක්‌ම අවසන් කර ඇත්තේ "බුදුන් සරණ යෙමියි බුත්සරණ යායුතු" යයි සඳහන් කිරීමෙනි. මෙම වහන්තිය නිසාම මෙම "අමෘතාවහ" නම් වු ග්‍රන්ථය බුත්සරණ නමින් හදුන්වා ඇත.

පොළොන්නරු යුගයේදී ග්‍රන්ථ සම්පාදනය කිරීමේදී සමකාලීන ග්‍රන්ථ කර්තෘවරුන් එසේ නැතහොත් ගද්‍ය පද්‍ය කාව්‍යකාරයන් මූලික වශයෙන්ම ස්‌වකීය ග්‍රන්ථකරණ විඥාණය යෙදුවේ බුදුගුණ හෝ බෝසත් ගුණ පදනම් කරගත් ග්‍රන්ථ රචනා කිරීමටය. පොලොන්නරු යුගයේ රචනා කරන ලද අමාවතුර, බුත්සරණ, ධර්ම ප්‍රදීපිකාව, සසදාවත, මුව දෙව්දාවත ආදී ගද්‍ය පද්‍ය ග්‍රන්ථ එයට නිදසුන් වශයෙන් සඳහන් කළ හැකිය. අනුරාධපුර රාජධානිය බිඳවැටීමෙන් පසුව ආරම්භ වූ පොළොන්නරු රාජධානිය කෙරෙහිද අනුරාධපුර යුගයේ දී මෙන්ම චෝල ආක්‍රමණ එල්ල වන්නට විය.


චෝල ආක්‍රමණය එල්ල වීමත් සමඟ මෙහි හින්දු සංස්‌කෘතිය පැතිරෙන්නට විය. මෙම හින්දු දේවවාදය ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟම භක්‌තිමත් බෞද්ධ උගතුන් එයට හරස්‌ කැපීමේ පියවරක්‌ වශයෙන් බුද්ධ ගුණය පදනම් කරගෙන බුද්ධ ගුණය සිංහල බෞද්ධ ජනතාව අතර වඩාත් ප්‍රචලිත කිරීමේ ක්‍රියාමාර්ගයක්‌ වශයෙන් බෞද්ධ සාහිත්‍ය කෘති සම්පාදනය කිරීමෙහිලා පෙරමුණ ගත්හ. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් සැදැහැති බෞද්ධ ජනතාව තුළ බුද්ධ ගුණය වර්ධනය කිරීමේ අභිලාෂයෙන් බුත්සරණ, දහම් සරණ, සඟසරණ, අමාවතුර, ධර්ම ප්‍රදීපිකාව වැනි ග්‍රන්ථ රචනා කළහ.

බුත්සරණ යනු බුදුන් සරණ යාමය. "අමෘතවහ" නම් බුත්සරණ, තත් ග්‍රන්ථයෙන් කර්තෘවරයා ඉදිරිපත් කිරීමට අපේක්‌ෂා කළේ, නව අරහාදි බුද්ධ ගුණය වර්ණනා කිරීම ය. මෙම ග්‍රන්ථය රචනා කිරීමෙන් විද්‍යාචක්‍රවර්ති අපේක්‌ෂා කළ මුඛ්‍ය පරමාර්ථය වූයේ භක්‌තිමත් සැදැහැති බෞද්ධ උපාසක උපාසිකා ප්‍රමුඛ ධර්මකාමි ජනතාව තුළ බුදුන්වහන්සේ කෙරෙහි භක්‌තිය ජනිත කරවීමකි. මෙම ශ්‍රද්ධා භක්‌තිය ජනිත කරවීම සඳහා බුද්ධඝෝසාචාර්ය පාදයන් විසින් රචනා කරන ලද විසුද්ධි මාර්ගයේ එන බුද්ධානුස්‌සති (භාවනාව) දේශනාව විද්‍යාචක්‍රවර්ති පඬිවරයා විසින් ගුරුකොට ගෙන ඇත. එසේ නොමැති නම් බුත්සරණ ග්‍රන්ථය රචනා කිරීම සඳහා විද්‍යාචක්‍රවර්තීන් වස්‌තු විෂය කරගන්නෙ "බුද්ධානුස්‌සති" යයි. එපමණක්‌ නොව විමාන වස්‌තු ප්‍රකරණය, ප්‍රේත වස්‌තු ප්‍රකරණය, දීඝනිකාය, ධම්ම පදට්‌ඨ කතාව ආදී ග්‍රන්ථ ද විද්‍යා චක්‍රවර්ති සාහිත්‍ය කරුවා බුත්සරණ ග්‍රන්ථය රචනා කිරීමේදී පාදක කරගෙන ඇත.

රීතිය

බුත්සරණ රචනා කළ ආචාර්ය විද්‍යාචක්‍රවර්තීහු තම ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී සම්මිශ්‍රිත භාෂා රීතියක්‌ අනුගමනය කර ඇති බව පෙනී යයි. එම රීතිය විද්‍යාචක්‍රවර්තීන් සකස්‌ කරගෙන ඇත්තේ සංස්‌කෘත ගද්‍ය සාහිත්‍ය රීතියත්, ධර්ම දේශනා ශෛලියත් සම්මිශ්‍රණය කරගැනීමෙනි. සංස්‌කෘත ගද්‍ය රීතිය එදා ගමන් කළේ අලංකාර වාදය ඔස්‌සේය. එම රීතිය සිංහල සාහිත්‍ය කෙරෙහි ද බලපෑවේය. මූලික වශයෙන් මෙම අලංකාරවාදයට නැඹුරු වූ සංස්‌කෘත ගද්‍ය රීතිය මේ කාලයෙහි සිංහල භාෂා සාහිත්‍යය කෙරෙහි නැඹුරු වූයේ මේ කාලයේදී එනම් පොළොන්නරු යුගයේදී සංස්‌කෘත අලංකාරවාදයත්, හින්දු භක්‌තිවාදයත්, මහායාන ධර්මයේ බලපෑමත් නිසාය. මෙහිදී පොළොන්නරු බෞද්ධ උගතුන්ද මෙම භක්‌තිවාදය කෙරෙහි යොමුවන්නට විය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් බුත්සරණ වැනි බෞද්ධ ග්‍රන්ථ මෙම භක්‌තිවාදය පදනම් කරගනිමින් රචනා විය.

විද්‍යාචක්‍රවරතීන් සිය ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී අනුගමනය කරන ලද්දේ ග්‍රන්ථ රචකයෙකුගේ රීතියට වඩා ධර්ම දේශකයෙකුගේ රීතිය බව පෙනී යයි. බුත්සරණ කතුවරයාගේ කතා කලාව සුවිශේෂි එකක්‌ විය. කියවන්නාගේ මෙන්ම අසන්නාද ඒ කෙරෙහි බැඳ තබා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග අනුගමනය කිරීම එයට හේතුවය. එසේම කතුවරයා තුළ පැවති භාෂා විචිත්‍රත්වය චිත්ත රූප මැවීමෙහි නිපුණ හැකියාව, චිත්ත රූප මැවීම පිළිබඳව පැවති කුශලතාවය, උපමා රූපක යෙදීම පිළිබඳව දක්‌ෂතාවය, යම් අවස්‌ථාවක්‌ සිත්කාවදින සේ ඉදිරිපත් කිරීම හා සම්බන්ධ නිපුණත්වය බුදුන් හා නාලාගිරි හස්‌තියා පිළිබඳව කරනු ලබන වර්ණනයෙන් මැනවින් පිළිබිඹු වෙයි.

 

"ඈත ධූලීන් වැසී ගිය ඇත් රජය. මෑත සවනක්‌ ඝන බුදු රැසින් සැදීගිය බුදුරජාණෝය. ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස්‌ ඇති ඇත් රජය. මෑත කරුණාවෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස්‌ ඇති බුදුරජාණෝය. ඈත එබූ එබූ පයින් මහ පොළොව පලාපියන්නා සේ දිවන ඇත් රජය. මෑත එබූ එබූ පයින් මිහිකත සනහ සනහා වඩනා බුදුරජාණෝය. ඈත බැලූ බැලූවන් අනේ අනෙ, අනෙ'යි කියන ඇත් රජය..."


යම්කිසි අවස්‌ථාවක්‌ පාඨකයා තුළ මෙන්ම අසන්නා තුළ සිත් කාවදින අන්දමින් උචිත භාෂාව, උපමා රූපක ආදිය යෙදීමෙන් පාඨකයා තුළ හෝ අසන්නා තුළ වින්දනාත්මක බවක්‌ හා රසාන්විත බවක්‌ ඇති කරමින් අවස්‌ථානෝචිතව ඉදිරිපත් කිරීමේ කාව්‍යකරන කුශලතාවය සහ ප්‍රතිභාවය විද්‍යාචක්‍රවර්තීන් තුළ පැවති බවට සම්පූර්ණ බුත්සරණම සාක්‌ෂි දරයි. එසේම බුත්සරණ කතුවරයා කාව්‍යකරණයේ දී පාඨකයා තුළ දැඩි කුතුහලයක්‌, තියුණු රසයක්‌ ජනිත කරවීමට සාමාර්ථයක්‌ දැරූ ලේඛකයෙකු හැටියට සැලකිය හැකිය. ඔහුගේ කාව්‍යකරණයේ නිර්මාණාත්මක හැකියාව නාලාගිරි දමනයෙන් මෙන්ම බුත්සරණයෙහි එන හැම වර්ණනාවකින්ම පැහැදිලි වේ.

අභ්‍යාස හුරුව 1
1. බුත්සරණ ග්‍රන්ථය පිළිබඳව කෙටි හැඳින්වීමක්‌ කරන්න.
2. බුත්සරණට කර්තෘවරයා විසින් තබන ලද නම කුමක්‌ද ?
3. බුත්සරණ රචනා කිරීමේ මුඛ්‍ය පරමාර්ථය කුමක්‌ද?
4. බුත්සරණ ග්‍රන්ථයට පාදක වූයේ කුමක්‌ද?
5. නාලාගිරි දමනය කතාවට යොදාගෙන ඇති භාෂාවේ විචිත්‍රත්වය පැහැදිලි කරන්න.

අභ්‍යාස හුරුව 2
1. ඕනෑම දරුණු පුද්ගලයෙකු මෛත්‍රීයෙන් මෙල්ල කළ හැකි ආකාරය නාලාගිරි දමනයෙන් තහවුරු කරන්න.
2. භාව පූර්ණ හැඟීම් ජනනය වන සේ අවස්‌ථා නිරූපණය කිරීමේ හැකියාව බුත්සරණ කතුවරයා කෙරෙහි වූ බව නාලාගිරි දමනයෙන් තහවුරු කරන්න.
3. බුත්සරණ කතුවර විද්‍යචක්‍රවර්ති පඬිවරයා කෙරෙහි විද්‍යාමාන වු භාෂා විචිත්‍රත්වයේ විචිත්‍රත්වය නාලාගිරි දමනයේ එන භාෂාව ඇසුරෙන් විමසීමට ලක්‌ කරන්න.
4. බුත්සරණ කතුවරයා තුළ පැවති නිර්මාණාත්මක හැකියාව බුත්සරණ තුළින් පැහැදිලි කරන්න.
5. දුර්දාන්ත පුද්ගලයන් දමනය කිරීම සමාජ සංවර්ධනය සඳහා යොදාගත හැකි ආකාරය පැහැදිලි කරන්න.

අභ්‍යාස හුරුව 3
1. නාලාගිරි දමනය සැකෙවින් ලියන්න.
2. බුත්සරණ කතුවරයා උපමා යොදා ගැනීම පිළිබඳව දැක්‌වූ දක්‌ෂතාවය පැහැදිලි කරන්න.
3. බුත්සරණ කතුවරයා චිත්ත රූප මැවෙන ආකාරයෙන් භාෂාව හසුරුවා ඇති අවස්‌ථා කීපයක්‌ නාලාගිරි දමනය ආශ්‍රයෙන් පැහැදිලි කරන්න.
4. නාලාගිරි දමනය ආශ්‍රය කරගෙන රස ජනනය වන අවස්‌ථා කීපයක්‌ ඉදිරිපත් කරන්න.
5. නාලාගිරි දමනයෙහි ඔබ වඩාත් සිත්ගත් අවස්‌ථා ඉස්‌මතුකරමින් විද්‍යාචක්‍රවර්ති පඬිවරයාගේ කාව්‍ය කාරණ ප්‍රතිභා ශක්‌තිය පිළිබඳ විමසීමක යෙදෙන්න.

 
(c) Shilpa Sayura Foundation 2006-2017