සද්ධර්මරත්නාවලිය (නන්ද ථෙර කථා)
 

"සද්ධම්මට්‌ඨිති මිච්ශන්තෝ - ධම්මසේන යතිස්‌සරෝ
අකාසි පවරං ඒතං - සද්ධම්ම රත්නාවලිං"


සද්ධර්මයායේ චිරස්‌ථිතිය අපේක්‌ෂා කරන්නා වූ ධර්මසේන යතීශ්වරයා විසින් ඉතා ශ්‍රේෂ්ඨ වූ මේ සද්ධර්මරත්නාවලී නම් ග්‍රන්ථය කරන ලදී.
සද්ධර්මරත්නාවලී ග්‍රන්ථයෙහිම එහි කර්තෘවරයා විසින් එසේ සඳහන් කර තිබීමෙන් සද්ධර්මරත්නාවලී නම් මෙම ග්‍රන්ථය ධර්මසේන නැමති හිමිනමක්‌ විසින් සම්පාදනය කරන ලද බව තත් ග්‍රන්ථයෙන්ම තහවුරු කර ඇත.


කතුවරයා මෙම ග්‍රන්ථය සම්පාදනය කුරීමේ මූලික පරමාර්ථයක්‌ විය. එම ග්‍රන්ථය රචනා කිරීමේ මූලික පරමාර්ථය වූයේ පොදු ජනතාවට නිවන් පසක්‌ කරගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබා දීමය. "නුවණ මඳ පුද්ගලයන්ට වුවත් ධර්මය පිළිබඳ අවබෝධයක්‌ ලබාගැනීමට හා එයට අභියෝගාත්මකව මුහුණ දෙන අයට බණ යනු කුමක්‌දැයි පසක්‌ කර ගැනීමට උත්සාහ කරන (පුද්ගලයන්ට) උපාසක උපාසිකාවන්ට වැඩ සඳහා මෙම ධර්ම ග්‍රන්ථය සකස්‌ කළ බව" සද්ධර්මරත්නාවලී කර්තෘවරයාම එහි මෙසේ සඳහන් කරති.
"නුවණ මඳවත් කුසලච්ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස්‌ ලදින් බණ දැන පින්කම්හි හැසිර නිවන් සාධා ගනිත් නම් එසේ වු සත්පුරුෂයනට වැඩ සඳහා සද්ධර්මරත්නාවලී නම් වූ ප්‍රබන්ධයක්‌ කරම්හ"

මෙයින් කතුවරයාම පැහැදිලි කළේ සත්පුරුෂයාට වැඩ පිණිස මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලද බවය. පරහට හිත වැඩ පිණිස සම්පාදනය කරන ලද සද්ධර්මරත්නාවලිය සඳහා එහි කර්තෘ භුත ධර්මසේන යතීශ්වරයා තම ග්‍රන්ථය සඳහා උපයෝගි කරගත්තේ පාලි ධම්මපදට්‌ඨ කතාවය. එහෙත් එතුමා ධම්මපදට්‌ඨ කතාවෙහි පරිවර්තනයක්‌ සද්ධර්මරත්නාවලිය නමින් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් නොවීය. උන්වහන්සේ ධම්ම පදට්‌ඨ කතාවෙහි එන පාලිය (පෙළ) අත්හැර අර්ථ සාරය පමණක්‌ ගෙන එය ස්‌වකීය කවි හැකියාව තුළින් ගැමි බස්‌වහර උපයෝගි කර ගනිමින් ස්‌වාධීන ග්‍රන්ථයක්‌ හැටියට රචනා කර ඇත.

ධර්මසේන හිමියන් උගතෙකි. පොදු ජන ගැමි බස්‌වහර හොදින් ප්‍රගුණ කළ කෙනෙකි. පොතෙහි එන එම ගැමි බස්‌වහර දෙස සිත් යොමු කරන විට උන්වහන්සේ ගැමි පරිසරයෙහි හැදුණු වැඩුණු ගැමි ජීවිතය පුරුදු පුහුණු කළ එයට නැඹුරු වූ බස්‌වහර සාටෝපසහගතව ලේඛන කලාව කෙරෙහි යොමුකළ නිකැලැල් ප්‍රතිභාපූර්ණ සාහිත්‍ය නිර්මාපකයෙකු වශයෙනි.

ගැමි පරිසරය අත්නොහළ ගැමි පරිසරයත් සමඟම ජීවත් වූ කෙනෙකු ලෙස සද්ධර්මරත්නාවලී කතුවරයා සඳහන් කළ හැකිය. ගැමි සිතුම් පැතුම් උන්වහන්සේ මනා ලෙස හදුනා ගත්තේය. ගැමි ජනතාවගේ රුචි අරුචිකම් මොනවාද යන්න උන්වහන්සේ අවබෝධ කරගත්තේය. ගැමි ජනතාව ගමන් කරවිය යුතු යථා මාර්ගය කුමක්‌ද උන්වහන්සේ තේරුම්ගත් නිසා තම බණ පොත හෙවත් සද්ධර්මරත්නාවලිය සමකාලීන ජනතාවගේ සිතුම් පැතුම් ගතිපැවතුම් ප්‍රතිබිබිත කරමින් ඔවුන් තුළ සාරධර්ම ප්‍රවර්ධනය කරනු සඳහා තම ග්‍රන්ථ තුළින් ධර්මෝපදේශයක්‌ ලබාදීම කිසිවිටෙකත් අමතක නොකළේය.

සද්ධර්මරත්නාවලී කතුවරයා ජීවත් වු කාල වකවානුව අයත් වන්නේ දඹදෙණි යුගයටය. අනුරාධපුරයෙන් බිඳ වැටීගිය සිංහල රාජධානිය නිරිත දිගට සංක්‍රමණය වීමේ දී පොළොන්නරුවෙන් පසුව ස්‌ථාන ගත වූයේ දඹදෙණියේය. දඹදෙනි කාලයේ දී පහළ වු ශ්‍රේෂ්ඨතම රජතුමා ලෙස දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජතුමාට සුවිශේෂ ස්‌ථානයක්‌ හිමිවේ. ඔහු උගතෙකි. බුද්ධිමතෙකි. උගතුන්ට උදව් කළ කෙනෙකි. ජාතික, ආගමික, සාමාජික, සංස්‌කෘතික, අධ්‍යාපනික සහ සාහිත්‍යයික පෝෂණයෙහිලා දැඩි කැපවීමකින් ක්‍රියාකළ රජ කෙනෙකි. සාහිත්‍ය කාමියෙකු වු දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජතුමා සිංහල සාහිත්‍ය පෝෂණයෙහිලා බලවත් මෙහෙවරක්‌ ඉටුකළේය. සද්ධර්මරත්නාවලී කර්තෘභුත ධර්මසේන හිමියන් මේ කාලයෙහි සිංහල සාහිත්‍ය පෝෂණය කිරීමෙහිලා ඉදිරියෙන් සිටි ශ්‍රේෂ්ඨ පඬිරුවනක්‌ හැටියට සැලකිය හැකිය.

අනුරාධපුර සමයෙහි සිට සිංහල භාෂා සාහිත්‍යය පෝෂණය වී ගියේ එයට ආභාෂය ලැබුණේ බුදුසමය පදනම් කරගත් ධර්ම සාහිත්‍යයෙනි. එසේ නැතහොත් පාලි භාෂා සාහිත්‍යයේ ආභාෂය ලැබීමෙනි. අනුරාධපුර, පොළොන්නරු යුගවලදී සිංහල සාහිත්‍ය ක්‌ෂේත්‍රයෙහි ඉදිරි ගමන සඳහා කැපවී ක්‍රියාකළ පඬිරුන්ට නොදෙවෙනි වන ආකාරයෙන් සද්ධර්මරත්නාවලී කර්තෘවරයා ද හෙළ කවි දනන් අතර කීර්තිමත් භාවයට පත්ව ඇත. සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයෙහි මෙතෙක්‌ ඉදිරියට ආ සාහිත්‍යධරයන් කෙනෙක්‌ හිටියත්, එයින් සිංහලෙන් දනමන පොබයන පරිදි කතා කිරීමෙහි මනා කුශලතාවයක්‌ ඇතිව සිටි එකම එක සාහිත්‍යධරයා ධර්මසේන හිමියන්ම වන්නේය.

බුදුසමයෙහි අභාෂය ලබා ලියවුණු ග්‍රන්ථ රාශියකි. අමාවතුර, බුත්සරණ, පූජාවලිය, ජාතක පොත් වහන්සේ සහ සද්ධර්මරත්නාවලිය එම ග්‍රන්ථ අතර වෙයි. මෙම ග්‍රන්ථ අතරින් සද්ධර්මරත්නාවලියට හිමිවන්නේ ඉතා වැදගත් ස්‌ථානයකි. මේ ග්‍රන්ථය මෙසේ වීමට මූලික හේතු සාධකය වන්නේ ධර්මසේන හිමියන් තුළ පැවති කතා කීමෙහි සහජ හැකියාවය. කතා කීම පිළිබඳව උන්වහන්සේ තුළ පැවති සහජ හැකියාව සහ නිර්මාණාත්මක භාවය වෙනත් සිංහල ග්‍රන්ථ කර්තෘන් තුළ තිබිණැයි කිවනොහැකිය.

ධම්මපදට්‌ඨ කතාවෙහි එන කතා පමණක්‌ නොව එහි නොමැති සූවිසි විවරණ කතාව, නාගසේන වස්‌තුව වැනි කතාද සද්ධර්මරත්නාවලී කතුවරයා තම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. අනවශ්‍ය විස්‌තර වර්ණාදිය ඇතුළත් නොකොට ධම්මපදට්‌ඨ කතාවෙහි අන්තර්ගතව තිබුණු කතා සෘජුවම තමන්ගේ භාෂාවෙන් (සිංහලෙන්) ඉදිරිපත් කොට ඇත. සද්ධර්මරත්නාවලී කතුවරයා මේ හැම කතාවක්‌ම ඉදිරිපත් කිරීමේ දී ස්‌වකීය නෛසර්ගික කවිත්වය තුළින් ඒ හැම කතාවක්‌ම නව නිර්මාණාත්මක ස්‌වරූපයෙන් ඉදිරිපත් කිරීමට කුශලතාවයක්‌ දක්‌වා ඇත. ශෝතෘ ජනතාවගේ සවන් පිනවන පරිදි කර්ණ රසායන භාෂා මාධ්‍යයක්‌ උපයෝගි කරගනිමින් මේ කතා ඉදිරිපත් කිරීම නිසා එය උපාසක උපාසිකාවන් අතර වඩාත් ජනප්‍රියත්වයට සහ ප්‍රියමනාප භාවයට පත්ව ඇත.


එසේම ගැමි වහරෙහි ප්‍රස්‌ථා පිරුළු උපමා ආදියෙන් තම ග්‍රන්ථය සරසා එයට යෝග්‍ය භාෂාව තෝරාගැනීමට සමත් වීම කතුවරයාගේ තවත් සුවිශේෂි ලක්‌ෂණයකි. ධර්මසේන හිමියන් ධර්මෝපදේශකයකු විලසින් පෙනී සිට ගැමි වහර හා ගැමි ජීවිතය ඇසුරෙන් සකස්‌ කරගත් ස්‌වතන්ත්‍ර භාෂා රීතියක්‌ ද අනුගමනය කිරීම විශේෂ ලක්‌ෂණයකි. සුවිශේෂි අලංකාර වර්ණනා ආදිය කිරීමට ධර්මසේන හිමියන් පෙළඹුනේ නැත.

රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ ආරාධනයකින් මේ ග්‍රන්ථය ලිවීමට සිදුවූයේ නම් රාජ පෞඩත්වයට ගැලපෙන පරිදි ප්‍රභු සම්භාවිත උසස්‌ භාෂා රීතියක්‌ අනුගමනය කිරීමට සිදුවේ. මෙහිදී එවැනි දෙයක්‌ සිදුනොවීම නිසා පොදු ජන සම්භාවිත සර්වකාලීන අගයකින් යුතු ග්‍රන්ථයක්‌ බවට සද්ධර්මරත්නාවලිය පත්කිරීමට ධර්මසේන හිමියන්ට හැකියාව ලැබී ඇත. උන්වහන්සේ තම භාෂා රීතිය අනුගමනය කිරීමේදී කෙටි වාක්‍ය ශෛලිය මෙන්ම දීර්ඝ වාක්‍ය ශෛලිය ද අනුගමනය කර ඇත. විශේෂයෙන්ම මෙම ග්‍රන්ථය රචනා වී ඇත්තේ ධර්ම දේශනා ශෛලියට අනුවය. පැරණි යුගයේ පොත්පත් බහුල නොවීම නිසා මෙන්ම එක පොතකින් පිටපත් එකකට දෙකට වඩා නොතිබීම නිසා එක්‌ අයෙක්‌ පොත කියවන විට විශාල පිරිසක්‌ එය භක්‌ත්‍යාදරයෙන් සාධුකාර දෙමින් ශ්‍රවනය කිරීම සිදුවිය. මේ නිසා මෙවැනි ග්‍රන්ථ ශ්‍රව්‍ය ගෝචර රටාවෙන් ලියා ඇත.
ශ්‍රව්‍ය ගෝචර රටාව රචනාවන්නේ දේශනා ශෛලියට අනුවය.

මිනිසාගේ සිත අකුසලයෙන් මුදා කුශල පක්‌ෂයෙහි යොදවා මිනිසා හොඳ යහපත් පුද්ගලයෙකු බවට පත්කර යථාර්ථවාදී ධර්මවාදී මෙන්ම සුභවාදී සමාජයක්‌ ගොඩනැගීම ධර්මසේන හිමියන්ගේ පරමාර්ථය විය. වියත් ජනයා හැර පොදු ජනතාව සඳහා සම්පාදනය කළ මෙම ග්‍රන්ථය හුදෙක්‌ අව්‍යක්‌ත හෙවත් නූගත් ජනතාවට පමණක්‌ නොව ව්‍යක්‌ත හෙවත් උගත් ජනතාව මගින්ද අනුගමනය කළ යුතු, එසේම අනුගමනය කරන ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක්‌ වන්නේය.

 

කිසියම් සාහිත්‍ය ග්‍රන්ථයක්‌ (ගද්‍ය හෝ පද්‍ය) සාර්ථක වීමට නම්, ජනප්‍රිය වීමට නම් රසඥතාවයෙන් යුතු ග්‍රන්ථයක්‌ බවට පත්කිරීමට නම් කලින් කියන ලද පරිදි එම කෘතිය හරවත් සරල ශෛලියකින් පෝෂණය කළ යුතුය. එසේම යථායෝග්‍ය පරිදි උපමා රූපක අලංකාරාදිය එයට ඇතුළත් විය යුතුය. සාහිත්‍ය ධරයකු හෙවත් රචකයෙකු පිළිබඳ සර්වකාලීන බවක්‌ ඇතිවන්නේ එවැනි රසඥතාවයකින් යුතු ග්‍රන්ථයක්‌ රචනා කළොත් පමණී. එය අතීතයේදීත්, වර්තමානයේදීත් මෙන්ම අනාගතයේදීත් රසවත් බව එසේම තිබිය යුතුය. එසේ වු විට එම සාහිත්‍ය කෘතිය සර්වකාලීන අගයකින් යුක්‌ත වන්නේය. මේ තත්ත්වය සද්ධර්මරත්නාවලිය තුළ වෙයි.

සද්ධර්මරත්නාවලී කතුවරයා ස්‌වකීය ග්‍රන්ථය සැරසීම සඳහා යොදාගත් උපමා දෙස බලන විට එම උපමා සද්ධර්මරත්නාවලියෙහි බස සහ භාෂා ශෛලිය පෝෂණය කිරීමට බෙහෙවින් එම උපමා තුඩුදුන් බව ක්‌ව හැකිය. එසේ යෙදූ උපමා රාශියක්‌ පහත දැක්‌වේ.

"හැඳහලි නැති කෙනෙකුන් ප්‍රසිද්ධ ස්‌ථානයට ගෙන ගොස්‌ තරය කරවා රුචිදෙය කරගන්නාසේ"
"පෙරළී හෙන්නට තිබූ දෙයක්‌ නොහෙන ලෙස තනා තබාලන්නාසේ"
"සමහර බෙහෙතක්‌ බොන කල දුක මුත් බීපි කලට ලෙඩ නැතිව පාසු වන්නාසේ"
"සීන දුටුවන් දුටු සීනය ගොළු කල කියාලන්ට බැරුවාසේ"
"ගොයම් කරන අවධියේ නොකොට හිඳ පියා වී අවධියේ නොලැබ්බ හැකි වියට හඬන්නා සේ"
"නුග ගස මහත් වුවත් නුග ඵලය කුඩා වන්නා සේ"
"නිධන් බලා කරන පිළියමක්‌ සේ"
"මඩක තිබූ මැණිකක්‌ සේ"
"ජීවිතය විදුලියක්‌ මෙන් චිරස්‌ථිතික නොවන නියාමද"
"පුස්‌කා ගිය පැණි කැවුම් සේ"
"රූමත්ව උපන්නාට සාටෝපයට සිරහෙයක ලුවා සේ"

මෙවැනි උපමා සිය දහස්‌ ගණනකින් ධර්මසේන හිමියන් සිය ග්‍රන්ථය සපුරා ඇත. ඒ නිසාම එය හරවත්, රසවත් සාහිත්‍ය කෘතියක්‌ බවට පත්ව ඇත.එවැනි තත්ත්වයකින් මෙම ග්‍රන්ථයෙහි සාර්වත්‍රික භාවයක්‌ ඇති කිරීමට හැකිවූයේ ධර්මසේන හිමියන් තුළ පැවති කාව්‍ය ව්‍ය[ත්පත්තිය සහ අසම සම ප්‍රතිභාශක්‌තියය.


සිත ක්‍රියා කරන ආකාරය, මිනිස්‌ සිත පාලනය කළ හැකි ආකාරය, මිනිස්‌ සිතෙහි පවතින ගුඨ මිනිස්‌ ස්‌වභාවය, ජීවිතය සකස්‌ කර ගැනීමට ලැබෙන උපදේශ, සමාකාලීන සමාජ ජීවනෝපක්‍රම, මානව හිතවාදිත්වය හා මානව හිතවාදි අදහස්‌ ඉදිරිපත් කිරීම, පුද්ගල ජීවිත තත්ත්වයන් සහ සමාජ ජීවිත තත්ත්වයන්, මේ ආදී වශයෙන් විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කෙරෙන පුද්ගල හා සමාජ චර්යා ධර්ම පිළිබඳ විස්‌තර වන සමාජ විශ්ව කෝෂයක්‌ ලෙස සද්ධර්මරත්නාවලිය හැදින්විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017