සිදත් සඟරාව නැවත කියවීම
 

අධ්‍යාපනයේ දී දැනුම සමග ගුණය ද කා වැද්දිය යුතු ය යන්න දැන් දැන් අපේ අධ්‍යාපන විශේෂඥයන්ට ද වැටහෙන්නට පටන් ගෙන තිබේ. එහෙත් එය සිදු ව ඇත්තේ ගුණයෙන් තොර දැනුමෙන් යුත් සිසු පරම්පරා තුන හතරක් සමාජගත වූ ඉක්බිති ය.

සිදත් සඟරාව වැනි ව්‍යාකරණ ග්‍රන්ථයක වියරණය පමණක් ඇතැ යි සිතා බැහැර කරන්නෝ ද සිටිති. එහෙත් සිදත යනු දැනුම සමග ගුණය ද සමාජගත කළ කෘතියකි.

 


පූර්ව ක්‍රියාව - ආලා ප්‍රත්‍යය

"කරණී පිරික්සාලා කරනු"

'ආලා' ප්‍රත්‍යයෙන් පූර්ව ක්‍රියාව සෑදෙන සැටි ඉගැන්වූ උදාහරණය යි. 'පිරික්සාලා' යන ක්‍රියා රූපයේ 'ආලා' ප්‍රත්‍යය පූර්ව ක්‍රියාව සඳහා යෙදෙන බව පමණක් නො ව, යමක් කරන විට පරීක්ෂා කොට කළ යුතු ය යන උපදේශයත් මෙහි අඩංගු වේ. ව්‍යාකරණ දැනුමත් උපදේශයත් මනාව සංගත වූ මෙබඳු උදාහරණ රාශියක් සිදත් සඟරාවේ දැක් වේ.

පූර්ව ක්‍රියාව 'ඉන්' ප්‍රත්‍යය

'පවිටු කොබැ ගොසින් රැකේ"

පව්කාරයාට කොහේවත් ආරක්ෂාවක් නැත යන දහම් පණිවිඩය සමග 'ගොසින්' යන පූර්ව ක්‍රියාවත් පාඨකයා දැන ගනී.

මිශ්‍ර ක්‍රියාව 'මින්' ප්‍රත්‍යය

උදා: "මරසක් තනමින් පැලෑ"

මාරසේනාව කම්පිත වෙමින් පලා ගිය හ යන අර්ථය දෙන අතර ම, තනමින් යන ක්‍රියා රූපයත් ඒ තුළ සැඟවුණු 'මින්' ප්‍රත්‍යයත් එකවර ම පාඨකයාට තිළිණ කර ඇත. නටමින් ගයමින් දුවමින් වැනි නිදසුන් හුදෙකලාව තබා, මිශ්‍ර ක්‍රියාව ඉගැන්වීමට කතුවරයාට අවශ්‍ය වී නැත. වියරණය සමග දහම් රසයත් බද්ධ කිරීමට උන් වහන්සේට අවශ්‍ය ව ඇත.

අවදි විභක්තිය - ඉන් ප්‍රත්‍යය

උදා: 'කතක් මහසතු සෙලින් හෙළූ'

කනවේර ජාතකයේ බෝධි සත්ත්වයා සොර දෙටුවෙක් වෙයි. එය ම මඳක් වෙනස් කොට කුණ්ඩලකේශි කථාවේ ද දැක්වේ. එහි දී කුණ්ඩලකේශිය ගේ අබරණ ලබා ගැනීමේ ලෝභයෙන් සොරා ඇය මරා දැමීමට ගෙන යයි. ඇය උපායකින් ඔහු පර්වතයෙන් පහතට හෙළයි. සෙලින් යන පදයේ අවදි විභක්තිය නිරූපිත 'ඉන්' ප්‍රත්‍යය දැක්වේ. ඉහත උදාහරණය නිසා පාඨකයාට කනවේර ජාතකය හෝ සද්ධර්මරත්නාවලියේ කුණ්ඩලකේශී කථාව කියැවීමට ;පලඹවීමක් ඇති වේ. වියරණ දැනුම සමග කථා රසය සඳහා ද පාඨකයා පොලඹවා තිබේ.

අවදි විභක්තිය - 'අගෙන්' ප්‍රත්‍යය

උදා: "හිරියගෙන් තොරි නිවට"

(නිගණ්ඨයා ලජ්ජාවෙන් තොර යි)

'අගෙන්' ප්‍රත්‍ය පමණක් කියා දී බැහැර වීමට සූදානමක් කතුවරයාට නැත. ජෛන මහාවීරයන් ගේ සව්වන් ගේ අන්තවාදී පැවැත්ම බෞද්ධයන්ට කියා දී බෞද්ධයන් බෞද්ධ ආගමේ ම රඳවා ගැනීමට කතුවරයා තැත් දරා තිබේ.

ප්‍රථමා විභක්ති 'ව'කාරාගමය

උදා: 'පඬුවෝ දැනුම වඩත්'

(1) පඬු+ඕ

(2) පඬු+ව්+ඕ = පඬුවෝ

පළමු පියවරේ දී 'පඬු' යන ශබ්ද ප්‍රකෘතියට 'ඕ' ප්‍රත්‍යය එකතු කර ඇත. දෙවන අදියරේ දී 'ව' කාරය ආගම වී, අවසාන පියවරේ දී පඬුවෝ යන නාම පදය ප්‍රථමා විභක්තියෙන් බහු අර්ථ සඳහා යොදා ඇත. කතුවරයා එතැනින් පමණක් නැවතුනා නම් පාඨකයා ප්‍රථමා විභක්ති බහු රූපයක් සඳහා 'ව' කාරය ආගම වන සැටි පමණක් උගෙන ගනී. 'පඬුවෝ දැනුම වඩති' යන වැකිය නිසා පාඨකයා තුළ උගතුන් කෙරේ ගෞරවයක් ඇති කරලීමට ද පුළුවන්කම ලැබී ඇත.

ප්‍රථමා විභක්ති 'ය'කාරාගමය

උදා: 'නිදැලියෝ පෙහෙසුන් තෙපළත්'

කතුවරයා ගේ එක් අරමුණක් වූයේ ප්‍රථමා විභක්ති බහු වචනයේ දී ශබ්ද ප්‍රකෘතියත් විභක්ති ප්‍රත්‍යයත් අතරට 'ය' කාරය ආගම වන සැටි පෙන්වා දීම යි. උදා

(1) නිදැලි+ඕ, (2) නිදැලි+ය්+ඕ, (3) නිදැලියෝ.

දෙවන පියවරේ දී 'ය' කාරය ආගම වන සැටිත් තුන්වන පියවරේ දී ස්වර සන්ධි නියමයෙන් ප්‍රථමා විභක්ති බහු වචනය සෑදෙන සැටිත් ප්‍රදර්ශනය වේ. නිදැලියෝ පෙහෙසුන් තෙපළත් යන්නේ තේරුම හදවත් නැත්තෝ කේලම් කියති යන්න යි. පාඨකයා යකාරාගමය පමණක් නො ව, කේලම්වල ආදීනවත් ඉගෙන ගනී. කේලම් කීමෙන් සමාජ පදනම් දෙදරා යයි. මිනිසා කේලම් කියන්නේ ඉන් යහපතක් වේ යැයි සිතා ය. එහෙත් එයින් යහපතකට වඩා අයහපත සිදුවීමට ඇති ඉඩකඩ වැඩි ය.

අව්‍ය සමාසය :- යව් ඈ වර්ගය

උදා: යව් අමත් බමුණන් අමත

(පාත්‍රයන් ඇති පමණට බමුණන්ට අමතන්න) අව්‍ය සමාස විග්‍රහයේ දී 'යව්' යන උපසර්ගය යෙදී වචන රාශියකින් කිව යුත්ත තනි වචනයකින් කියැවෙන බව අඟවන්නට කතුවරයාට අවශ්‍ය වේ. උන්වහන්සේ ඒ සඳහා යව්දිව්, යතලබ, යව් අමත්, යතවිදි යන සමාස පද යොදා ගනිති. 'යව් අමත්', යනු පාත්‍ර ඇතිතාක් යන තේරුම දෙන 'යාවදමත්‍රං' යන සංස්කෘත පදයේ තත්භව රූපය යි. පාත්‍රයන් ඇති පමණට බමුණන්ට අමතන්න යැයි කීමෙන් අව්‍ය සමාසයට වඩා දෙයක් පාඨකයාට ලබා දේ. පාත්‍ර ඇති පමණට වඩා බමුණන්ට ඇමතුවහොත් එතැන අවුලක් ඇති වේ. මේ උපදේශය පූජකයන් භික්ෂුන් සඳහා පමණක් නො ව, මඟුල් උත්සව සඳහා ද ගැළපේ. මේ උපදේශය වාච්‍ය අර්ථයට වඩා පුළුල් ය. අප සියල්ල ම, කළ යුත්තේ අපට දරා ගැනීමට හැකි ප්‍රමාණයට ය.

අසම්භාව්‍ය ක්‍රියාව :- අනියමාර්ථය

උදා:- 'නොබැරිතැතැ'තියන' පවග යත"

(උත්සාහවන්තයන් නිවනට ගමනය කළහොත් දුෂ්කර නො වේ)

ඉහත නිදර්ශනය වචන කැටිකොට සන්ධි කළ ඇති හෙයින් බැලූ බැල්මට පැටලිලි සහගත බව පෙනේ. තැත්ඇතියන් අප වග යනවා නම් බැරි නැත යනු එහි දීර්ඝ අර්ථය යි. තැත්ඇතියන් යනු උත්සාහවන්තයෝ වෙති. අපවග යනු නිවන යි. රචකයාට අවශ්‍ය වූයේ යත (යනවානම්) යන වචනය අනියමාර්ථ ක්‍රියාව හඟවන බව කීමට යි. උත්සාහ කළොත් බැරි දෙයක් නැතැ යි යනුවෙන් ලෞකික අර්ථයක් දෙන නිදසුනක් දෙනවාට වඩා, ලෝකෝත්තර අර්ථයක් අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාව සමග දවටා දීමට සිදත් සඟරා කරුවා සමත් ව තිබේ.

කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාව

උදා: 'සස් කව යෙහෙති'

(සත්‍ය කථා කළහොත් යහපති)

සුසිරි කළ මැනවි > >(සුචරිතය කළහොත් මනා ය)

කාලාර්ථය සඳහා සපයා ඇති නිදසුන්හි කාලාර්ථය මතු නො ව, අනියම් අරුතක සේයාවක් ද ඇති බව පෙනේ. ඒ කෙසේ වෙතත් සත්‍ය කථා කිරීම හොඳ බවත්, සුචරිතය කිරීම යහපත් බවත් බැහැර කළ නොහැකි යහපත් ආදර්ශයෝ වෙති.

ආලපන විභක්තිය 'ඉන්' ප්‍රත්‍යය

උදා:- 'සවනින්! සැනහේ සදහමින්'

ආලපන විභක්තිය ඉන් ප්‍රත්‍යයෙන් ද ප්‍රකාශ වන්නේ යැයි කියා මඟ හැර යෑමට කතුවරයාට නො හැකි ය. සවන් සද්ධර්මයෙන් පුරවා ගන්නැ යි කීමේ ගැඹුරු අරුතක් තිබේ. වර්තමානයේ අපේ කන් පිරෙන්නේ කුමකින් දැ යි මඳක් සිතා බැලීම ම ප්‍රමාණවත් ය.

සජනිනි! මඟා පරලොව්

(සජ්ජනයනි පරලෝකය බලන්න)

ආලපන විභක්තියේ 'ඉනි' ප්‍රත්‍ය පමණක් නො ව, යන තැනකට යමක් ගෙන යන්නැයි යන ඉඟිය ද මෙහි තිබේ. වර්තමානිකයෝ අද ගැන පමණක් සිතති. හෙට ගැන නොසිතන නිසා යහපත් ක්‍රියාවන්හි යෙදීමට සිත යෙදෙන්නේ නැත. පැරැන්නන් හෙට යැයි කීවේ හෙට දවසට ම නො වේ. මරණින් මතු උපදින තැනට යි. අප සමාජයේ පරිහානියට හේතුව හෙට ගැන නොසිතන භවසත්තාවාදී (සාංදෘෂ්ටිකවාදී) දර්ශනයට අප යටත් වී ඇති නිසා ය. මේ අනුව වියරණ ඇදුරාටත් අතීත සමාජයේ පෙර ගමන් කරුවකු වීමේ හැකියාව තිබූ බව ඉහත නිදසුනින් ද තහවුරු වනු ඇත.

උදා: 'බිඟුනි! මී ලොලින් කල් ඉකුත් තඹරෝරේ දඟ නොව,

(මී මැස්සනි මධු ලෝලයෙන් හෙවත් මල් පැණිවලට ආශාවෙන් කාලය ඉක්මවා පියුම්හි සිර නොවන්න.)

ආලපන විභක්තියේ 'නි' ප්‍රත්‍ය ඉගැන්වීමට වඩා දෙයක් ඉහත කී පාඨයේ ඇත. මෙය මී මැස්සන්ට දෙන අවවාදයක් නො වේ. මේ උපදේශය ප්‍රේමවන්තයන්ට යි. ස්ත්‍රීන් ඇසුරේ පමණට වඩා සිටීමෙන් නෙළුමේ සිරවන බඹරුන් මෙන් විපතට පත්වන සැටි මේ ගීයේ වැසි අරුතයි.

මෙබඳු උපදේශ රැසක් සිදත් සඟරාව පුරා විසිරී පැතිරී තිබේ. අධ්‍යාපනය වෙනමත්, සාරධර්ම වෙනමත් ඉගැන්වීමේ බහුභූත අධ්‍යාපන ක්‍රමයෙන් අප දැන්වත් ඉවත් විය යුතු ය. ගුරු දිනය දෙමාපිය දිනය, වැඩිහිටි දිනය වශයෙන් දින වෙන් කොට සාරධර්ම කා වැද්දිය නො හැකි ය. ළමයිනට කෑම බීම දෙන මොහොතේ වුව ද සාරධර්ම ඉගැන්වීමේ ක්‍රම මෙරට පැවැතිණි. කාවන්තිස්ස රජතුමා තම දරුවන් දෙන්නාට ආහාර දෙන විට ආහාර සමග ම සාරධර්ම ද එකින් එක සිහිපත් කළ සැටි ථූපවංසයේ විස්තර වේ. භික්ෂුන් වහන්සේට දන් නො දී ආහාර නොගන්නා ලෙසත් සහෝදරයන් උනුන්ට ද්‍රෝහී නොවිය යුතු බවටත් පොරොන්දු ගනිමින් කාවන්තිස්ස තම දරුවන්ට ආහාර කැව්වේ ය. අද අපි දරුවන්ට කුමක් හෝ ගිල්ලවීමෙන් පමණක් සතුටු වෙමු. තම දරුවන් එලාර හා යුද වදින බව කාවන්තිස්ස දැන සිටියේ ය. එහෙත් යුද්ධය ප්‍රශ්නවලට අවසාන විසඳුම නොවන බව කාවන්තිස්ස දරුවන්ට ප්‍රකාශ කළේත් ආහාර දෙන අතරතුරේ ය.

මේ නිසා දරුවන්ට සාරධර්ම කා වැද්දීමට වෙන ම විෂයකාල පරිච්ඡේදයක් අනවශ්‍ය බව සිදත් සඟරාව පළ කළ ආදර්ශය අපට බෙහෙවින් ප්‍රයෝජනවත් බව කිවමනා ම ය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අත්තනායක එම්. හේරත්
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

(c) Shilpa Sayura Foundation 2006-2017