ශාන්ති කර්ම නාට්‍යමය අවස්‌ථාවක්‌ රස විඳීම.
 
මේ සඳහා නානුමුරයේ එන නාට්‍යමය අවස්‌ථාවක්‌ පහත සඳහන් වේ.
 රිද්දි බිසවගේ වෙස්‌ගත් නළුවා නානුතැටිය අතින් ගෙන හිසේ නානු ගා ගන්නා ආකාරය අභිනයෙන් නිරූපණය කරයි. ඒ අසලින් සිටින බෙරකරු නළුවා දක්‌වන අභිනයන්ට අනුකූල වන සේ " දෝං ගත්ත ගතිගත කුඳ '' යන බෙර පදය තාලානුකූලව වයයි.
 බෙර පදය අවසානයේ කෙටි ඉරට්‌ටියක්‌ නටන නළුවා බෙරකරු සමඟ සංවාදයක්‌ ආරම්භ කරයි.
 එය පහත සඳහන් කරන පරිදිය.
 
 බිසව : ගුරුන්නාන්සේ, නානු ටිකක්‌ නන් ගා ගත්තා. දැන් ඉතින් ඊළඟට මොකද කරන්නේ?
 
 ගුරුන්නාන්සේ : නානු ගා ගත්තා නම් ඉතින් නාගන්න එපායෑ.
 
 බිසව : නානු නෙන්නන් ගුරුන්නාන්සේ, ස්‌නානය කරන්න ඕනා කොහෙන්ද ?
 
 ගුරුන්නාන්සේ : විලකින්, නාමල් විලකින්, එදා ඒ වඳ බිසෝවරු හත් කට්‌ටුව නා ගන්න ගිය නාමල් විලටම යන්න ඕනා.
 
 ( ස්‌නානය කරන ආකාරය අභිනයෙන් පෙන්වා දක්‌වයි )
 
 මල් විලදෝ සත්දෙන දිය කෙළින් නේ
 එමල් විලේ රැලි පිට වඩවමන්නේ
 උයන් ගොඩ ඳී වද සීතල හරින්නේ
 ඉසන් ගොඩ විලේ සත්දෙන නාන්නේ
 
 බිසව : වතුර ටිකක්‌ නන් නා ගත්තා ගු;රුන්නාන්සේ දැන් ටිකක්‌ සනීපයි. ඉතින් ඔලුවෙ තිබුණ බර ගතිය එහෙම දැන් අඩු උනා. දැන් මොකද කරන්න ඕනා?
 
 ගුරුන්නාන්සේ : ඔයි කපුටු කූඩුවක්‌ වගේ ඔලුව තියාගෙන ඉන්න බැහැනේ. දැන් ඉතින් ඔළුව පීරගන්න එකයි.
 බිසව : පීරන්නේ මොකකින් ද?
 ගුරුන්නාන්සේ : පීරන්නේ පනාවෙන්. හැබැයි ඒකට ඇත් දත් පනාවක්‌ ගේන්න ඕනා.
 
 (හිස පීරන ආකාරය අභිනයෙන් පෙන්වයි)
 
 ඇල් සවරිය පීරා සුරතට ගන්නේ
 මල් ඔසරිය ලෙස කරවට පලඳින්නේ
 තෙල් ගාලා වරලස පීරා ගන්නේ
 මල් මද අනග සොඳනායක බිසොවුන්නේ

 
 බිසව : දැන් ඉතින් මොකද කරන්නේ
 ගුරුන්නාන්සේ : ඔළුවට තෙල් දා ගන්න ඕන.
 බිසව : චාරිත්‍රානුකූලව මොන තෙල් ජාතියද දාන්නේ?
 ගුරුන්නාන්සේ : තලතෙල්
 (නළුවා හිස තෙල් තවරන ආකාරය අභිනයෙන් නිරූපනය කරයි.)
 `
 ඉඳගෙන යහන පිට උඩ ඉඳගෙන සොඳට
 එරන් කකුට්‌ටි සහසක්‌ ගෙන්නා ළඟට
 වරන් ලබා සැමදෙවියෝ රැස්‌ව සිටට
 අරන් තෙල් ගාපි හිසරැලි මැකෙන්නට

 
අප ඉහතින් දැක්‌වූ පහතරට නර්තන සම්ප්‍රදායේ එන .රිද්දියාගය'' නැතහොත් .රටයකුම් යාගය'' නමින් හඳුන්වනු ලබන ශාන්ති කර්මයේ එන, නානුමුරය'' නැමැති නර්තන අංගය හා බැඳි නාට්‍යමය අවස්‌ථාවකින් කොටසකි. 
එම කොටස සැලකිල්ලෙන් බැලූවිට ගායන, වාදන, නිරූපණ, සංවාද, අභිනව ආදී වූ විවිධ නාට්‍යමය ලක්‌ෂණ එහි අන්තර්ගතව තිබූ බව ඔබ දකින්නට ඇත.

උඩරට, පහතරට, සබරගමු යන සම්ප්‍රදායවන් තුනටම අයත් ශාන්තිකර්ම වල මෙවැනි නාට්‍යමය අංග නැතහොත් නිරූපණ ගණනාවක්‌ දක්‌නට ලැබේ. බොහෝ අවස්‌ථාවල දී විවිධ රස භාවයන් මතුකර ශාන්ති කර්මය කෙරෙහි නරඹන්නන් ඇද බැඳතබා ගන්නේ මෙවැනි නාට්‍යමය අංගයන් මගිනි. ශාන්තිකර්මයකඳී බහුලව යෙදෙන ගායන, වාදන, හා නර්තන අතරට මෙකී නාට්‍යමය අංග ඇතුළත් වීමෙන් ප්‍රේක්‌ෂකයා තුල කම්මැලි භාවය හා වෙහෙසකර බව නැතිකරයි . ඔවුන් තුළ රස විවිධත්වයක්‌'' ඇති කිරීම මගින් අවධානය දිගටම පවත්වා ගැනීම මෙමගින් නිරායාසයෙන්ම සිදු වේ.

කවර සම්ප්‍රදායකට අයත් වූව ද, ශාන්ති කර්මයක්‌ යනු පූර්ණ ප්‍රසාංගික අංගයකි. පුරා රාත්‍රියක්‌ හෝ දින කිහිපයක්‌ විරාමයක්‌ නොගෙන නොකඩවා පවත්වාගෙන යෑමට උචිතවන ලෙස කවියෙන්, කථාවෙන්, ශ්ලෝකයෙන්, සන්නයෙන්, යාදින්නෙන්, සැහැල්ලුවෙන්, විස්‌තර කරන ප්‍රධාන කථාවක්‌ද, එකී ප්‍රධාන කථාව ඔස්‌සේ විහිදුණු අතුරු කථා කිහිපයක්‌ ශාන්ති කර්මයේ ආකෘතිය සැදේ.නර්තනය, ගායනය හා වාදනය මගින් කරනු ලබන්නේ එකී ආකෘතිය හැඩ වැඩ කිරීමයි.

ශාන්තිකර්මවල අන්තර්ගත මෙකී කථා කලාව ගොඩ නැගීමට ප්‍රධාන හේතුව, ගැමියා තුළ සහජයෙන්ම ඇති කථා ඇසීමේ හා කථා කිමේ රුචියයි. කථා කලාව ආකෘතිය කරගත් දේශීය ශාන්තිකර්මයන් හි ඉහත සඳහන් කළ නාට්‍යමය අවස්‌ථා සහ චරිත, නිරූපණ සඳහා ලැබුණ ඉඩකඩ බහුල වූ අතර, ඒවා අත්‍යවශ්‍ය වූ අංගයන් ද විය.
ශාන්ති කර්මවල ඇතුළත් නාට්‍යමය අංග පොදුවේ විමර්ශනයකට ලක්‌කල හොත් ඒවායේ කැපී පෙනෙන මූලික ලක්‌ෂණ පහත දැක්‌වෙන පරිදි කොටස්‌ තුනකි.
  1. කිසියම් චරිතයක්‌ සබයට හඳුන්වාඳීම සඳහා කෙරෙන නාට්‍යමය අවස්‌ථා
  2. ශාන්තිකර්මය හා සම්බන්ධ පුරාවෘත්ත කථාව මත පදනම් වූ නාට්‍යමය අවස්‌ථා
  3. ශාන්තිකර්මයේ එන අභිචාර විධීන් හා බැඳුණ නාට්‍යමය අවස්‌ථා.
(c) Shilpa Sayura Foundation 2006-2017