සෞඛ්‍යය සහ අධ්‍යාපනය

 

මහා විහාරය සහ අභයගිරිය අධ්‍යාපනික ආයතන ලෙස අනුරාධපුර යුගයේ සිට ප්‍රසිද්ධ වූ අතර මේවායේ ඉගෙනීම සඳහා විදේශ රටවලින් ද ශිෂ්‍යයන් පැමිණ ඇත. අධ්‍යාපන ආයතනවල ආගමික කටයුතු මෙන්ම රජකුමාරවරුන් සඳහා අවශ්‍ය ශිල්පීය ඥානය ද රාජ්‍ය විචාරීම සඳහා අවශ්‍ය පසුබිම ද සකස් කර දෙන ලදී.

ෛෙවද්‍ය ශාස්ත්‍රය ද මෙකල අධ්‍යාපන ආයතනවල ඉගැන්වූ විෂයයක් විය. බුද්ධදාස රජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා වැනි රජවරුන් පවා වෛද්‍ය ශාස්ත්‍රයෙහි නියුතු රජවරු ලෙස වංශ කථාවල දක්වා තිබේ. බුද්ධදාස රජතුමා නාගයෙකු සඳහා කළ ශල්‍ය කර්මයක් ගැන සඳහන් වේ. ගම් දහයකට එක් වෛද්‍යවරයෙකු බැගින් පත්කළ එතුමා රාජධානිය තුළ රෝහල් ද ඉදිකළ බව දැක්වෙයි. "සාරාර්ථ සංග්‍රහය" නම් වෛද්‍ය ග්‍රන්ථය ලියා ඇත්තේ මෙතුමාය.

පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජතුමා වෛද්‍ය ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ රජකෙනෙකු ලෙස දැක්වෙයි. අංග සම්පූර්ණ ආරෝග්‍යශාලා ඉදිකොට පෞද්ගලිකව ෛෙවද්‍ය කටයුතු වල යෙදී ඇත.

පොළොන්නරුවේ ආලාහන පිරිවෙන කැණීම් වලදී ශල්‍ය වෛද්‍ය උපකරණ, බෙහෙත් ඔරු සහ තෙල් දැමීමට භාවිතා කළ ශල්‍ය ආයුධ, බෙහෙත් ගැල්වීම සඳහා භාවිතා කළ උපකරණ, කතුරු ආදිය මෙම රෝහල් භුමියෙන් ලැබී ඇත.

මෙසේ අපේ පැරැන්නන් සතුව දියුණු සෞඛ්‍ය විද්‍යාත්මක දැනුමක් තිබූ බවට සාධක හමුවී තිබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017