ගමනාගමනය සඳහා ද යුද කටයුතු සඳහා ද මංමාවත් භාවිතා විය. පැරණි රුහුණේ මාගම සිට ගුත්තහාලක (බුත්තල) ඔස්සේ මහියංගණය කසාතොට සහ පොළොන්නරුව දක්වා පැරණි මාර්ගය වැටී තිබුණි. ඉන්පසු පොළොන්නරුවේ සිට අනුරාධපුරය දක්වා එම මාර්ගය ප්‍රධාන පාරක් ලෙස පාවිච්චි විය. මෙහැර සංඝමිත්තා මෙහෙණින්වහන්සේ ශ්‍රී මහ බෝධි ශාඛාවන් රැගෙන දඹකොළ පටුනට පැමිණි බවත් ගොඩබිම් මාර්ගයක් ඔස්සේ අනුරාධපුරයට පැමිණි බවත්, වංශ කථාවල දැක්වෙයි. ඒ අනුව අනුරාධපුරය සහ යාපනය සම්බන්ධ කළ මාර්ගයක් ද වූ බව පෙනෙයි. මහාතිත්ථ, යනු වයඹ දිග වෙරළේ පිහිටි ප්‍රධාන වරායයි. එම වරායන් අගනගරය වු අනුරාධපුරයත් යා කළ මාර්ගයක් ද එකල විය.
අලි ඇතුන්ට පවා ගමන් කළ හැකි තනි කළුගලෙන් සෑදූ පාලම් අනුරාධපුරයට ආසන්න මල්වතු ඔය හරහා දමා තිබීමෙන් පෙනීයන්නේ විශාල ජන සංඛ්‍යාවක් මෙම මාර්ග භාවිතා කළ බවයි. පේරියම්කුලම ප්‍රදේශයේ ඇති එවැනි එක් ගල් පාලමක කණු පවා තනි කළුගල් වලින් කරවා එවැනිම ගල් ඇතිරුම් වලින් පාලම සකස්කර ඇත. යුද කටයුතු සඳහා ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාවන් සහභාගි වූ බව වංශකථා අනුව පෙනීයයි. මේ සඳහා මෙම මංමාවත් භාවිතා කරන්නට ඇතැයි සැලකේ.
වළගම්බා රජතුමා ගේ කථා ප්‍රවෘත්තියේ එතුමා පලායාම සඳහා රථයක් භාවිතා කළ බව දැක්වෙන නිසා ප්‍රභු පක්ෂයේ අය අශ්වයන් සහ ගොනුන් යෙදවූ රථ පාවිච්විකර ඇති බවක් පෙනෙයි. සේන සහ ගුත්තික යනු ඉන්දියාවේ සිට පැමිණි අශ්ව වෙළෙදුන් දෙදෙනෙකි. ඔවුන් මෙරටට අශ්වයින් ගෙන ආවේ රජවරු, සෙන්පතීන් ආදීන්ගේ ප්‍රයෝජනයට බව වියහැකිය. සුරනිමල යෝධයා අනුරාධපුරයේ සිට රුහුණට අශ්වයකු පිට පලාගිය පුවත ද මෙයට කදිම නිදසුනකි.
