පැරණි ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන විය. ප්‍රධාන ආහාරය සඳහා වී ගොවිතැන කළ අතර එම නිසා මුල් ජනාවාස ගංඟා නිම්න ආශ්‍රිතව ඇතිවිය. සෑම ගමක්ම ස්වයංපෝෂිත වූ අතර ගමට අවශ්‍ය සෑම දෙයක්ම ගම තුළම නිපදවාගන්නා ලදී. ගොවිතැනට අවශ්‍ය උපකරණ, චෛත්‍ය කර්මාන්තය සඳහා අවශ්‍ය වූ උළු ගඩොල් නිපදවීම ආදී කර්මාන්ත රැසක් තිබූ බව පෙනීයයි. රෙදි විවීම කුවේණියගේ කාලයේ පටන් පැවතුන කර්මාන්තයක් ලෙස සඳහන් වෙයි. නැකැත් බැලීම,වෛද්‍ය ශාස්ත්‍රය සහ රජයේ නොයෙකුත් නිලතල ඉසිලූවන් ද සිටිබව පැරණි කථා ප්‍රවෘත්ති වලින් හෙළිවෙයි.
අනුරාධගම අනුර නැකතින් ඇතිකළ බවත් පණ්ඩුකාභය රජු මාමාවරුන් මරා රජවන බවත් ජෝතිෂ්‍යයකරුවන් පවසා තිබුණි. මෙනිසා ජෝතිෂ්‍යය කටයුතු දියුණු තත්ත්වයක තිබූ බව පෙනෙයි. පුරාවිද්‍යාත්මක කැණීම් වලින් ලැබී ඇති සියලුම කැටයම් සහිත ආභරණ වලින් පෙනීයන්නේ බොහෝ රන්රිදී ආභරණ තනන්නන්ද මෙකල සිටි බවය. කැටයම් වල සියුම් බවත් ඒවා රන් සහ රිදියෙන් කර ඇති නිසාත් එම කටයුතු වල නිපුන පුද්ගලයන් එම කර්මාන්තයේ යෙදුණු බව සිතිය හැකිය.
වෛද්‍ය විද්‍යාව ද ඉතා උසස් තත්ත්වයක තිබූ බව බෙහෙත් ඔරු සැත්කම් සඳහා භාවිතා කළ උපකරණ ආදිය ලැබී තිබීමෙන් පෙනෙයි. වෛද්‍ය ශාස්ත්‍රයෙහි නිපුන බුද්ධදාස වැනි රජවරු ද සිටි බව ඉතිහාසයේ සඳහන් වෙයි.
වෙළඳාම පිළිබඳ සැලකීමේ දී රට අභ්‍යන්තරයේ මෙන්ම විදේශ වෙළඳාම ද මෙකල තිබී ඇත. භාතිකාභය රජුගේ කාලයේ රෝමයෙන් පබළු ගෙන්වා රුවන්වැලි මහා සෑය සැරසූ බව කියැවේ. එම නිසා අපරදිග රටවල් සමඟ දියුණු වෙළඳාමක් පැවති බව පෙනේ. මාතොට, ඌරාතොට, දඹකොළ පටුන, ගෝනකන්න සහ කල්යාණි වෙළඳාම පවත්වාගෙන ගිය ප්‍රධාන වරායන් වේ. මාතොට, සීගිරිය වැනි තැන්වලින් ලැබී ඇති රෝම කාසිවලින් දෙරට අතර වෙළඳාම පිළිබඳව සාක්ෂි සපයයි. චීනය සමඟ ද ඈත අතීතයේ වෙළඳ සබඳතා පැවති බව දෙරටින්ම ලැබී ඇති තොරතුරු වලින් හෙළිවෙයි. මැදපෙරදිග සහ බටහිර ලෝකයත් සමඟ වෙළඳාමට අරාබි ජාතිකයන් මෙරටට පැමිණ ඇත. මුතු, මැණික්, කුළුබඩු, ඇත්දල, කැස්බෑ පොතු ආදිය මෙරටින් වෙළඳාමට ගෙනගොස් ඇති අතර පටපිළි, සුවඳ විලවුන්, ආභරණ, අශ්වයින් සහ පිඟන් භාණ්ඩ මෙරට වෙළඳාම සඳහා ගෙන එන ලදී.
