වාරි කර්මාන්ත
 


ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් ආර්යයන්ට ජලය අත්‍යවශ්‍ය සාධකයක් විය. මුලදී ගංගා අසල ජීවත් වූ ඔවුන් සිය ජල අවශ්‍යතාවය ගංගා වලින් සපයා ගත්හ. නමුත් කල්යාමේ දී ජනගහනය වැඩිවත්ම ජනාවාස ගංඟාවලින් පිට ප්‍රදේශවලට විහිදීගිය අතර ලැබෙන වැඩි ජලය ද ප්‍රමාණවත් නොවූ නිසා අවුරුද්දේ එක් කාලයකදී පවතින නියඟය හේතුවෙන් ජලය රැස්කර තබා ගැනීමේ අවශ්‍යතාව මතුවිය. මේ හේතුව නිසා ඔවුහු ගම් ආශ්‍රිතව කුඩා වැව් තනා ගත්හ. මුලදී ගම් ආශ්‍රිතව වැව් තැනූවත් පසුකාලීනව වැව් තැනීමෙන් පසු ඒ ඒ ස්ථානවල ගම් ඇතිවිය.

ආර්යයන් වැව්තැනීම සඳහා උතුරුදිග අභ්‍යන්තර තැනිතලාවේ ඇති භු විෂමතා ලක්ෂණ උපයෝගි කරගත්හ. මේ අනුව අභ්‍යන්තර තැනිතලාවේ ඇති පටු හෙල්වැටි දෙකක් මැදිකරගෙන ගංගාවක් ගලා බැසීමේ දී කදුවැටියේ පටු ස්ථාන දෙකක් යා කොට වේල්ලක් බැඳීමෙන් වැවක් නිර්මාණය කරගත්හ. ගංගාවක් වංගු සහිතව ගලන අවස්ථාවක දී ගංගාවේ ජලපහරේ වේගය අඩු අවස්ථාවකදී අමුණක් බැඳීමෙන් එමගින් ජලය ඇලමාර්ග වලට යොමුකොට අවශ්‍ය ප්‍රදේශවලට ජලය හරවා ගත්හ. මෙසේ ලබාගත් ජලය වැව්වලට යොමුකර ජලය ආරක්ෂාකර ගැනීමට පැරැන්නෝ පියවර ගත්හ. සමහර විට එක් වැවකින් පිටවන අතිරික්ත ජලය තවත් වැවකට යොමුකර වැව් මාලාවක් තනාගත්හ.

වාරි තාක්ෂණයේ විස්මිත නිර්මාණය වන්නේ වැවක ජලපාලනය සඳහා යොදා ඇති බිසෝ කොටුවයි. මෙය වැව් බැම්මට හානි නොවන අයුරින් සොරොව්ව ඔස්සේ ජලය මුදාහැරීමට පෙර ජලයේ වේගය පාලනය කරන උපක්‍රමයකි. මෙය විශාල කළුගල් කුට්ටි යොදා තැනූවකි. මෙම උපක්‍රමය යොදා වැව්බැම්ම සේදීයාමෙන් වලක්වාගත් අතර ජලයේ වේගය පාලනය කර ඇලමාර්ග වලට යොමුකළහ.

(c) Shilpa Sayura Foundation 2006-2017