ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස ඇතිවී ඇත්තේ ආර්යාගමනයත් සමඟය. ක්‍රි.පූ. හයවන සියවසේ දී ලංකාවට පැමිණි විජය ඇතුළු පිරිස පැමිණීමත් සමඟම මෙරටට ඉන්දීය සංස්කෘතික ආභාෂය ලැබුණි. විජය ඇතුළු පිරිස මෙරට ගොඩනැගු ග්‍රාමයන් පසුකාලීනව නගර දක්වා සංවර්ධනය විය. ඉන්දියාවේ සිට පැමිණි පඩුවස්දෙව් සහ භද්දකච්චායන දෙපලගේ දියණිය වු චිත්‍රා කුමරියගේ පුත් පණ්ඩුකාභය කුමරුගේ රාජාභිෂේකයෙන් පසු අනුරාධග්‍රාමය අනුරාධපුරය බවට පත්විය.

ශ්‍රී ලංකාවේ කලාශිල්ප වල ආරම්භය ඇතිවී ඇත්තේ මහින්දාගමනයත් සමඟය. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් ඇතිවිය. මූලික වශයෙන් සංවිධානාත්මක ආගමක් සමඟම ඒ හා බැදුණු කලා ශිල්ප, ගෘහ නිර්මාණ ශිල්ප රැසක් අපට ලැබුණි. මහින්දාගමනයට පෙර තිබූ ස්ථීර ගොඩනැගිලි දැනට සොයාගෙන නැත. එයට පෙර තිබූ ගොඩනැගිලි දැවයෙන් හෝ මැටියෙන් කළ ඒවා නිසා විනාශ වී යන්නට ඇත. සංඝමිත්තා මෙහෙණින්වහන්සේ ශ්‍රී මහබෝධියත් රැගෙන මෙරටට පැමිණි අවස්ථාවේ ශ්‍රී මහ බොධීන්වහන්සේගේ උවටැන් සඳහා අටළොස් කුලයක විවිධ ශිල්ප දත් අය මෙහි පැමිණි බව සඳහන්වේ. මොවුන් අතර මණිකාර, පේෂකාර, කම්මකාර ආදී විවිධ ශිල්ප ශ්‍රේණිවලට අයත් ශිල්පීහු පැමිණියහ. මේ අනුව කුලයට ආවේණික ශිල්ප මෙසේ වැඩි දියුණු වී එක් ගමකට ස්වයංපෝෂිත වියහැකි ආකාරයේ ශිල්ප ශ්‍රේණිීන් වැඩිදියුණු විය.

විශේෂයෙන්ම ආගමික ගොඩනැගිලි සම්බන්ධයෙන් මෙහි බලපැම දක්නට ඇත. මිනිසුන්ගේ සිතුම් පැතුම්වල වෙනසක් ඇතිවී අධ්‍යාත්මික ගුණධර්ම දියුණු වීමත් සමඟම ලක්දිව පුරා විවිධ ආගමික ගොඩනැඟිලි ඇතිවිය. මේවා අතරින් වඩා වැදගත් වන්නේ චෛත්‍ය නිර්මාණයයි. ලංකා ඉතිහාසයේ සඳහන් වන ප්‍රථම චෛත්‍යය කර්මාන්තය වන්නේ දේවානම්පියතිස්ස රජසමයෙහි කරවන ලද ථූපාරාමයයි. එය මිහිදු හිමියන් ගෙන් උපදෙස් ලබා බුදුන් වහන්සේගේ අකු ධාතුව නිධන්කර ඇතැයි සැලකෙන මෙහි මුල් ස්වරූපය අද දක්නට නැත. ඉන්පසු මිහින්තලේ අම්බස්තල චෛත්‍යය මිහිදු හිමියන්ගේ ශාරීරික ධාතු නිධන් කර උත්තිය රජතුමා විසින් කරවන ලද බව සඳහන්වෙයි. අනුරාධපුර යුගයේ විශාල ස්ථූප ඉදිකරවන ලද්දේ දුටුගැමුණු, වළගම්බා, මහසෙන් යන රජවරුන් විසිනි. රුවන්වැලි මහසෑය, අභයගිරිය සහ
ජේතවනාරාමය වැනි අති විශාල චෛත්‍යය මෙසේ ගොඩනගන ලද ඒවාය.
මහාසෑය හෙවත් රුවන්වැලි මහසෑය තැනූ ආකාරය ගැන මහා වංශයේ සදහන් වන්නේ "සත්රියන් යටට කැණ පස් ඉවත්කර, යෝධයන් ලවා විශාල වට ගල් පත්ලෙහි අතුරුවා, ඇතුන්ගේ පාද සම්කඩ වලින් ආවරණය කොට උන්ලවා
ගල් තට්ටුව පාගවා.." ආදී ලෙසිනි. මෙයින් හැඟී යන්නේ අද දක්වා ඉතා හොඳ තත්ත්වයෙන් පැවතීමට සුදුසු පරිදි මනාවු පාදමක් සහිත චෛත්‍යය කර්මාන්තයකට අඩිතාලමක් දැමූ බවය. අද ජේතවනාරාම පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හෙළිවී ඇත්තේ චෛත්‍යයක බර දරා සිටීමට සුදුසු පාදමක් මීටර් ගණනාවක් පොළොව යටට යනතුරු දමා තිබෙන බවයි. මෙයින් පෙනීයන්නේ එදා සිංහලයා සතු තාක්ෂණික සහ ජ්‍යාමිතික දැනුමයි. නැතහොත් අව්වැසි සුළං වලට ගොදුරු වී මෙතුවක් කල් මේවා ආරක්ෂා වී නොපවතිනු ඇත.

පසුකලෙක චෛත්‍ය අලංකාරය පිණිස නොයෙකුත් අංග එයට එකතු වී ඇත. ප්‍රධාන වශයෙන්ම චෛත්‍යය මළුව ප්‍රධාන මළු තුනකින් සමන්විතය. එනම් ගජන් මළුව, වැලි මළුව සහ සලපතල මළුව වශයෙනි. ගජන් මළුව ඇත් පවුරට එපිටින් ඇති කොටසයි. ඉන්පසු සුදුවැලි අතුරා ඇත්තේ වැලි මළුවයි. චෛත්‍යයට ආසන්නව ගල් පුවරු අතුරා සකස් කොට ඇත්තේ සලපතල මළුවයි. සමහර චෛත්‍යය වල ගල්පුවරු යොදා ඇත්තේ දායකයන් විසින් බව සඳහන් කර ඇත. ඒවාවල ගර්භයන්ද විවිධ ආකාරයේ හැඩයන් ගෙන් තනා තිබේ. වැඩිපුරම දක්නට ඇත්තේ ගෝලාකාර ගර්භය සහිත ඒවාය.
චෛත්‍ය ගර්භය තනා ඇති ආකාර :
බුබ්බුලාකාර (දිය බුබුලක හැඩය)
ධාන්‍යාකාර (වී ගොඩක හැඩය)
ඝන්ඨාකාර (සීනුවක හැඩය)
ඝටාකාර (කළගෙඩියක හැඩය)
පද්මාකාර (නෙළුම් මලක හැඩය)
අම්ලාකාර (නෙල්ලි ගෙඩියක හැඩය)
දැනට ලංකාවේ ඉතිරිව ඇත්තේ මෙයින් මුල් තෙවැදෑරුම් චෛත්‍යන්ය.
වාහල්කඩ කල්යාමේ දී චෛත්‍යයට එකතු වූ තවත් විශේෂාංගයකි. චෛත්‍යයේ හතර පැත්තේ දක්නට ලැබෙන වාහල්කඩ චෛත්‍යයට අලංකාරයක් එක්කරයි. මෙම වාහල්කඩ ගණදෙවි රූප, වාමන රුප, ඇත් රූප යනාදියෙන් කැටයම් කර ඇත. දාගැබෙහි පේසාවළලුවට නැගීමට ඇති පඩි පේළිය ඇත්තේ වාහල්කඩ පිටුපසිනි. සමහරවිට මේවා මල් ආසන ආසන්නයේ තනා තිබූ අලංකාර නිර්මාණයන් ලෙස ද පැවසිය හැකිය.
චේතියඝරය හෙවත් වටදාගෙය ද චෛත්‍යයට අයත් තවත් අංගයකි. කුඩා චෛත්‍යය සඳහා ඉඳිකළ සෑගෙය මෙසේ හැඳින්වෙයි. ගෝලාකාර වහලක් සහිතව චෛත්‍යයය ඉඳිකළ පියස්ස වට දා ගෙය නම් වෙයි.
අනුරාධපුරයේ ථූපාරාමය, ලංකාරාමය, අම්බස්තල ආගැබ, තිරියාය සහ මැදිරිගිරිය යන දා ගැබ් සඳහා වට දා ගෙවල් තනා තිබූ බව ඉතිරි වී ඇති ගල් කණු වලින් පෙනීයයි. මෙහි වහල දැවයෙන් කළ නිසා විනාශ වී යන්නට ඇත. චෛත්‍යය වටාම ගල් කණු පිහිටා ඇති නිසා ගෝලාකාර වහල පිළිබඳ සාක්ෂි හමුවෙයි. අලංකාර ගල්කණුවල හිස කලාත්මක ගල්කැටයම් වලින් යුක්තය. මෙය සිංහලයා ගේ කලා කෞශල්‍යය පෙන්වන තවත් කදිම නිදසුනකි.
මෙය ද බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයට එකතු වු තවත් වැදගත් අංගයක් වේ. මුලදී ලෙන් විහාරවල විසූ භික්ෂූන්වහන්සේලා ප්‍රමාණයෙන් වැඩිවත්ම රජවරුන් උයන්වතු වල , විහාරාරාම තනවා සංඝයාවහන්සේලාට පූජා කරන ලදී. මහාවිහාරය, අභයගිරිය සහ ජේතවනාරාමය මෙසේ ඉදිවූ විහාර සංකීර්ණයන් වේ. අනුරාධපුරයට නුදුරු හත්තිකුච්චි විහාරය ද එකල ඇතිවු ආරාම සංකීර්ණයක් ලෙස හදුනාගෙන ඇත. මේවා භික්ෂූන්වහන්සේලාට දානශාලා, පධන්ඝර හෙවත් භාවනාකළ ගොඩනැගිලි, ගිලාන ශාලා, උපෝසතඝර හෙවත් පොහොය ගෙය නම් වූ විනය කර්ම කළ ස්ථානය වැනි සියලුම අංගයන් ගෙන් පරිපූර්ණ විය. එමෙන්ම බෞද්ධ ධර්මය ඉගෙනීමට පිටරටවලින් පැමිණි ශිෂ්‍යයන් පවා මෙම විහාරාරාමවල සිටි බව සඳහන්වේ. ලෝවාමහාපාය ද මෙසේ මහා විහාර සංකීර්ණයට අයත් වූ පොහොය ගෙයක් ලෙස සැලකේ. මෙම ආරාමවල භික්ෂූන්වහන්සේලා 5000 පමණ වැඩ විසූහ. මහාපාලි වැනි දානශාලා වල දැක්වෙන ගලින් කළ බත් ඔරු දෙස බැලූ විට එය සත්‍යයක් බව පෙනේ. විශාල ප්‍රමාණයක සංඝයාවහන්සේලාට දන් පිළියෙල කළ ස්ථානයක් ලෙස එම බත්ඔරු සහ කැඳ ඔරුවලින් සිතාගත හැකිය.
ආගමික ගොඩනැගිලි වලට ඇතුළුවන ස්ථානයේ ඇති දොරටුපාල රුව සහ එයට පිටුපසින් පිහිටා ඇති කොරවක් ගල් ද කලාත්මක නිර්මාණයන්ට කදිම නිදසුන්ය.
