පළමුවන විජයබාහු රජතුමා චෝල බලය පැරදවීම ක්‍රි.ව. 1055
 

චෝල බලය මුලිනුපුටා දමා නැවත ලංකාව එක්‌සේසත් කළේ රුහුණේ උපන් කීර්ති කුමාරයා හෙවත් 1 වන විජයබාහු රජතුමා ය. ඔහුගේ පියා වූයේ අනුරාධපුර මානවම්ම රජ පෙළපතින් පැවත ආ මොග්ගලාන කුමරු ය. මව දාඨෝපතිස්‌ස රජ පෙළපතට අයත් ලෝකිතා කුමරියයි. ඔහු ක්‍රි.ව. 1055-1110 කාළය තුළ පොළොන්නරුවේ රජකම් කළේය.


විජයභාහු රජු විසින් නිකුත් කළ රන් කහවණු


 

කීර්ති කුමරුගේ ළමා කාලය බෙහෙවින්ම කටුක විය. චෝලයන් සිංහල රාජ කුමාරවරුන් සොය සොයා ඝාතනය කිරම සඳහා වරින් වර රුහුණ ආක්‍රමණය කළ නිසා කීර්ති කුමාරයාට අප්‍රසිද්ධව ජීවත් වමට සිදුවිය. මානවම්ම රජ පෙලපතකින් පැවතෙන්නෙකු වූ බුද්ධරාජ හෙවත් බුදල්නා නමැති ප්‍රාදේශීය නායකයෙකකු කීර්ති කුමාරයාට හා පවුලේ අයට ආරක්ෂාව සලසා දුන් බව ඔහු රජවූ පසු කරවන ලද පනාකඩුව තඹ සන්නසේ මෙසේ සඳහන් කර ඇත.

"රුහුණේ දණ්‌ඩනායක වූ බුදල්සාමි තෙමේ මොග්ගලාන රජ කුමරු ද ඔහුගේ පවුල ද පුතකුද සොළින්ගෙන් හා අනෙකකුත් සතුරන්ගෙන් ආරක්ෂා කරමින් අල හා කොළ වර්ග ආහාර වශයෙන් දෙමින් ...................... රැක ගත්තේ ය.''

 විජයබාහු රජතුමාගේ සටන් මාර්ගය
කුඩාකල කීර්ති නමින් හැඳින්වූ මෙකුමරු අවුරුදු 14 වන විටම දක්ෂ දුනුවායෙකු මෙන්ම සටන්කාමියෙකු ද විය. රුහුණේ සිටි සෙන්පතියන්ගේ ආධාරය ඇතිව 1055 දී රුහුණේ රජකම ලබාගැනීමට කීර්ති කුමාරයාට හැකිවිය. ඉන්පසු උපක්‍රම ශීලීව මහා සටනක් කරමින් කීර්ති කුමරා 1 විජයබාහු නමින් රජ විය.

 

පොළොන්නරුව දිනාගැනීමට කළ සටනේදී එක් සේනාවක් ලංකාවේ බටහිර වෙරළ ඔස්සේ ගොස් එවකට වැදගත් වරායක් වූ මහාතිත්ථ අල්ලා ගෙන චෝලයිනට සිය මවුරාජ්‍යයෙන් ලැබෙන ආධාර නැවැත්වීමයි. දෙවන කණ්ඩායම නැගෙනහිර වෙරළ දෙසින්ද, තෙවන කණ්ඩායම මහියංගනය හරහා ගොස් පොළොන්නරුව ආක්‍රමණය කිරීමටද යෙදවීය. මේ අනුව අවුරුදු 58 ක් පමණ සොළී බලයට යටත්ව තිබූ පොළොන්නරුව අල්ලාගත් විජයබාහු රජතුමා එයට 'විජයරාජපුර' යනුවෙන් නම් තැබීය.

 

ඔහු සිය අභිෂේකය අනුරාධපුරයේ පැවැත් වූ නමුත් රාජධානියේ අගනුවර වශයෙන් පොළොන්නරුව තෝරාගත්තේය. පොළොන්නරු යුගයේ ආරම්භක සිංහල රජතුමා වන්නේ පළමුවන විජයබාහු රජතුමාය. ඔහු අවුරුදු 55 ක්‌ රජකම් කළේ ය.

ඉතා දුෂ්කර කටුක අත්දෑකීම්වලට මුහුණ දෙමින් වුවද නොපසුබස්‌නා වීර්යයෙන් හා දැඩි අධිෂ්ඨාන ශක්‌තියෙන් යුක්‌තව කටයුකු කිරීමට තමාට මුලින් උදව් උපකාර කළවුන් රාජ්‍යශ්‍රීයට පත්වූ පසු ද අමතක නොකර ඔවුනට සේවට කිරීමත් මෙතුමාගේ චරිතයේ කැපී පෙනෙන ලකෂණයන් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017