5 වන මිහිඳු රජතුමා (ක්‍රි.ව. 982-1029)
 

5 වන මිහිඳු රජු අනුරාධපුර රාජධානියේ අවසාන සිංහල රජුය. මෙකල දකුණු ඉන්දියාවෙන් පැමිණි විවිධ ජාතීන්ට අයත්, එනම් කේරල, කර්ණාට, චෝළ ආදී සේනාවන් රජරට විවිධ ප්‍රදේශවල පදිංචි වී සිටියහ. ඒ අනුව විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය පාලනයන් ද පවත්වාගෙන යන්නට ඇතියි සිතිය හැකිය. මහා වංශයට අනුව 5 වන මිහිඳු රජුට රටවැසියන්ගේ අයබදු පවා ලබාගැනීමට නොහැකි වූ බවත්, රාජ භාණ්ඩාගාරය හිස්ව තිබූ නිසා සිය හමුදාවට වැටුප් පවා ගෙවාගත නොහැකි වූ බවත් සඳහන්වේ. මෙයට හේතුවන්නට ඇත්තේ විවිධ ප්‍රදේශවල පදිංචිව සිටි ඉන්දීය ද්‍රවිඩ පිරිස් නිසා අයබදු අයකර ගැනීමේ දුෂ්කර තත්වය නිසා විය හැකිය.

මෙම තත්වයෙන් ප්‍රයෝජනය ගත් 1 වන රාජරාජ නම් සොළී රජෙක් විශාල හමුදාවක් එවා ලංකාවේ උතුරු දිග ප්‍රදේශ කිහිපයක් අල්ලා ගත්තේය. අනුරාධපුරයේ රැදීසිටි රජු ඇතුළු සිංහල පිරිස් ආරක්ෂාව පතා රුහුණට පැන ගියහ. සොළීන් අනුරාධපුරයේ තිබූ වෙහෙර විහාර කොල්ලකා එහි තිබූ සියලු වටිනා වස්තුව දකුණු ඉන්දියාවට රැගෙන ගියහ.

පළමුවන රාජරාජගෙන් පසු ඔහුගේ පුත් පළමුවැනි රාජේන්ද්‍ර රජු සොළී රාජ්‍යයේ පාලකයා විය. ඔහු නැවත වරක් ලංකාව ආක්‍රමණය කොට පස්වන මිහිඳු ජීවග්‍රහයෙන් අල්ලා සිරකරුවෙකු ලෙස ඉන්දියාවට ගෙනයන ලදී. මෙම ආක්‍රමණය නිසා ලංකාවේ විශාල ප්‍රදේශයක් චෝළ ආධිරාජ්‍යයට හිමි වූ අතර චෝළ අධිරාජ්‍යයයේ ප්‍රත්‍යන්ත දේශයක් ලෙස පාලනය කරන ලදී. ඉන්පසු සියවස් ගණනාවක් මුළුල්ලේ රාජධානියේ අගනුවර වශයෙන් පැවති අනුරාධපුරය නගරයෙන් පොළොන්නරුවට අගනුවර මාරුවිය. ක්‍රි.ව. 1017 දී සොළීන් විසින් පොළොන්නරුව "ජනනාථපුරය" යනුවෙන් නම්කර අහනුවර වශයෙන් තබාගන්නා ලදී.

(c) Shilpa Sayura Foundation 2006-2017