කාශ්‍යප රජතුමා (ක්‍රි.ව. 437-491)
 

කාශ්‍යප රජු අනුරාධපුරයට ගිණිකොණ දෙසින් පිහිටි , සීගිරිය , නම් වූ ගල් පර්වතය තම රාජධානිය වශයෙන් පවත්වා ගති. ආරක්ෂාව සඳහා ඉදි කල දිය අගල් ද කලා සෞන්දර්යයේ අභිවෘද්ධිය සඳහා ඇති කල සීගිරි චිත්‍ර හා පිදුරන්ගල චිත්‍ර ද සාහිත්‍ය උන්නතිය සඳහා කැටපත් පවුරේ කවි ලිවීමට කවීන්ට ලබාදුන් වාතාවරණය අනුවද කාශ්‍යප රජු ජනාදරයට පත් වූ බව කිව යුතූයි.

ධාතුසේන රජතුමාට කාශ්‍යප සහ මුගලන් යන කුමාරවරු දෙදෙනෙකු විය. මෙයින් කාශ්‍යප රජු දෙවැනි බිසවකගෙන් ලද පුතෙකු විය. මෙයින් රාජ්‍ය උරුමය තිබුණේ පළමු බිසවගේ පුතෙකු වු මුගලන් කුමරුටය. නමුත් කාශ්‍යප කුමරුට බලය ලබා ගැනීමට අවශ්‍ය විය. ඔහුට මේ සඳහා උපකාරවූයේ ධාතුසේන රජුගේ සොහොයුරියකගේ පුතෙකු වූ ද, ධාතුසේන රජුගේ බෑණා කෙනෙකු වු මිගාර සෙනෙවියාය. මිගාර විවාහ වී සිටියේ රජුගේ දියණිය සමඟය.

දිනක් මිගාර විසින් තම බිරිඳ වූ රජකුමරියට පහර දී තුවාල සිදුකළේය. මේ ගැන සැලවූ රජතුමා මිගාර සෙනෙවියා අල්ලා ගැනීමට තැත්කළ නමුත් ඔහු සැඟවී ගත්තේය. කෝපයට පත් රජතුමා මිගාරගේ මව නග්න කොට පණ පිටින් ගිනි තබා මරාදැමීය.එතැන් සිට රජු සමඟ වෛර බැඳගත් මිගාර, කාශ්‍යප කුමරු සමඟ එක්වී ධාතුසේන රජු මරාදැමීමට යත්ත දැරීය. මේ අවස්ථාවේදී රජු සිරගත කරන ලද අතර මුගලන් කුමරු ඉන්දියාවට පලාගියේය.

මිගාර සෙනෙවියාට අවශ්‍යවූයේ කෙසේ හෝ ධාතුසේන රජු මැරවීමටය. මේ නිසා උපායශීලි ලෙස මුගලන් කුමරුට රහසේ දීම සඳහා වස්තුව සඟවා ඇතැයි කාශ්‍යප රජුට ගතු කීවේය. මෙයින් කෝපයට පත් කාශ්‍යප රජු එම වස්තුව ඉල්ලා ධාතුසේන රජුට බලකර සිටියේය. එවැනි වස්තුවක් තමන් වෙත නැතිබව පැවසුව ද කාශ්‍යප රජු එය නොපිළිගත්තේය. අවසානයේ දී තමා කලාවැව වෙත ගෙනයන ලෙස රජු ඉල්ලා සිටියේය. කලාවැවට බැස දිය දෝතක් ගත් මහරජ තමාගේ වස්තුව මේ යයි දක්වා සිටියේය. මෙයින් කෝපයට පත් කාශ්‍යප රජතුමා පියා මැරවීමට අණ කළේය. මිගාර සෙනෙවියා කැමැත්තෙන් එම කාර්යය ඉටුකල බව සඳහන් වෙයි. ඒ අනුව රජතුමා පණ පිටින්ම කලාවැවේ බැම්මට තබා මැටි ගස්සවා මරාදමන ලද බව මහා වංශය කියයි.

පියා මැරූ පාපය නිසා ඉන් ගැලවීමක් නොවූ කාශ්‍යප රජු ඉතා චංචල වු සිතකින් පසුවිය. මුගලන් කුමරුගෙන් කෙදිනක හෝ තමාට ආක්‍රමණයක් එල්ල වන බව දත් කාශ්‍යප රජු තමා රාජධානිය අනුරාධපුරයෙන් පර්වත බලකොටුවක් වු සීගිරියට මාරු කළේය. සියවස් ගණනාවක් රාජධානිය වශයෙන් පැවති අනුරාධපුරය මෙසේ ප්‍රථම වරට සීගිරියට මාරුවිය. සීගිරිය රාජධානියක් මෙන්ම අංග සම්පූර්ණ බලකොටුවක් ද විය.

සීගිරිය යනු සම්පූර්ණ කලාගාරයකි. සීගිරි ගල මුදුනට නඟිනු සඳහා සිංහයකුගේ මුඛය ආකාරයට තනා තිබූ පඩිපෙළක් ඔස්සේ මාර්ගය යොදා තිබූ නිසා සිංහගිරිය සීගිරිය වී යැයි සැලකේ. මුගලන් කුමරුට බියෙන් මෙසේ සීගිරි පර්වතය මුදුනේ මාලිගාවක් තනා කාශ්‍යප රජු එහි විසූ බව පැවසෙතත් මෙතරම් මනරම් ආකාරයට සීගිරිය කරවන ලද්දේ එවකට රජවරුන්ට දේවත්වය ආරෝපණය කරගැනීමට තිබූ බලවත් කැමැත්ත නිසායැයි සිතිය හැකිය. පරණවිතාන ශුරීන්ට අනුව එතුමා ආලකමන්දාවේ සිටින ධනයට අධිපති කුවේරයා ලෙස පෙනීසිටීමට අවශ්‍ය වූ නිසා මෙවැනි ස්ථානයක් ගොඩනඟන්නට ඇතියි මතයක් පළකරයි.

සැලසුම් කරන ලද උද්‍යාන, ජල තාක්ෂණය සහ වාස්තු විද්‍යා අංශයන්ගෙන් දුටුවන් විස්මයට පත්කරවන සීගිරි නගර නිර්මාණ ශිල්පය නිසා මෙය ලෝකයේ අටවන පුදුමය ලෙස නම් කරන ලෙස ද ඉල්ලීම් කර ඇත. සීගිරි චිත්‍ර ලෝක ප්‍රසිද්ධය. මෙය තෙත බදාමයේ අඳින ලද රේඛාචිත්‍ර වේ. සීගිරියේ ඇති තවත් වැදගත් අංගයක් වන්නේ චිත්‍ර ඇති ගුහාවලට පහළින් පිහිටා ඇති කැටපත් පවුරයි. මෙය සීගිරිය නැරඹීමට පැමිණි බොහෝ දෙනා විසින් ලියන ලද පද්‍ය හෙවත් කුරුටු ගී වලින් සමන්විතය. සිංහල අක්ෂරවල සංවර්ධනය මෙම ගී වලින් අධ්‍යනය කළහැකිය.

ඉන්දියාවට පැනගිය මුගලන් නැවත ලංකාවේ උතුරු ප්‍රදේශයේ කඳවුරු බැඳ සේනා රැස්කළේය. ඉන්පසු කාශ්‍යප රජු සමඟ සටනට පැමිණ ඔහු පරාජය කළේය. කාශ්‍යප රජු සියතින්ම ගෙල සිඳගත් අතර දහ අට වසක් රජකළ කාශ්‍යප රජුගේ රාජ්‍ය කාලය එයින් නිමවිය. ඉන්පසු මුගලන් කුමරු රජවී නැවත රාජධානිය අනුරාධපුරයට ගෙන ගියේය.

(c) Shilpa Sayura Foundation 2006-2017