ධාතුසේන රජතුමා රජබවට පත්වූයේ වසර විසි පහකට අධික කාලයක් දකුණු ඉන්දීය රජවරු සය දෙනෙකු විසින් රට පාලනය කිරීමෙන් අනතුරුවය. කුඩාකල මහණව සිටි මෙතුමා සිය මාමා කෙනෙකු වූ හිමි නමක් ඇසුරෙහි හැදී වැඩුණි. එම තෙරුන්වහන්සේ මෙම මෞර්යවංශික කුමරා ආරක්ෂා කරගනු පිණිස අනුරාධපුරයේ සිට ගෝණ නදිය (කලාඔය) තරණය කර මායා රටට පැමිණීමට පිටත්වූහ.
කලාඔය අසලට පැමිණි මෙම දෙදෙනාට එදින කලාඔය පිරී ඉතිරී තිබුණු නිසා එගොඩ වීම දුෂ්කර විය. මේ දුටු තෙරුන්වහන්සේ "මෙම ඔය අප වළක්වන්නේ යම්සේද, කෙදිනක හෝ ඔබත් මෙහි වැවක් බැඳ ජලමාර්ගය අහුරව" යනුවෙන් උපදෙස් දුන්නේය. එතුමා නිසි වයසේ පිරුණු කල්හි සිවුරු හැරපියා සේනා සංවිධානය කොට අවසාන ද්‍රවිඩ රජ වූ පීඨීය මරා නැවත ලක්දිව රජකම සිංහලයෙකු ලෙස ලබාගත්තේය.
පාලන බලය ලබාගත් ධාතුසේන රජතුමා පිරිහීගිය ශාසනය ප්‍රකෘතිමත් කිරීමට කටයුතු කළ අතර මහාපාලීදාන ශාලාව කරවා භික්ෂූන්ට දන් දුන්නේය. ශ්‍රී මහබෝධි ගෘහය කරවූ අතර පිටකයට අදාල බොහෝ පොත්පත් ලියැවීමට ආධාර උපකාර ලබා දුන්නේය. මේ හැර විහාර 18 ක් ද කරවීය. රුවන්වැලිසෑය, ජේතවනාරාමය සහ අභයගිරිය යන විශාල ස්ථූප තුනට අකුණු සන්නායකයන් සවිකළ බව ද සඳහන් වේ. මිහින්තලේ අම්බස්තල ෛෙචත්‍යයද මෙතුමා විසින් කරවන ලදී. බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍රවන අවුකන පිළිම වහන්සේ කරවන ලද්දේද ධාතුසේන රජතුමා විසිනි.
මෙතුමාගේ ශේ‍්‍රෂ්ඨතම නිර්මාණය ලෙස සැලකෙන්නේ කලා වැවයි. මෙය කලා ඔයෙන් ජලය ලබාගන්නා කලා සහ බළලු යන වැව් දෙක එක්කොට තනවන ලද්දකි. මෙය අක්කර 600 පමණ භුමියකට කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සපයයි. කලාවැවේ සිට අනුරාධපුරයේ තිසාවැවට ජලය ගෙනයන ජයගඟ හෙවත් යෝධ ඇළ ද මෙතුමා විසින් කරවන ලදී. යෝධ ඇළෙහි බැස්ම සැතපුමකට අඟල් හයක් වන තරම් සූක්ෂම ලෙස නිර්මාණය කර ඇත. යෝධ ඇළෙහි මුළු දිග ප්‍රමාණය සැතපුම් 54 කි. මෙහි සිට තැනින් තැනට විහිද් යන අතුරු ඇළවල් මඟින් කුඩා වැව් රාශියකට ජලය සැපයිණි. කලාවැව ඇතුළු තවත් වැව් 18 ක් මෙතුමා විසින් කරවන ලදී. ඝානාමතු වැව හෙවත් යෝධවැව, පාණම් වැව, මැද්දකැටියවැව, මාඑළිය වැව ආදී වැව් එතුමා විසින් කරවන ලද දැනට හඳුනාගත් වැව් වේ.
