මහසෙන් රජතුමා (ක්‍රි.ව. 275-301)
 

ගෝඨාභය රජතුමාගේ කණිෂ්ඨ පුත්‍රයා වූ මෙතුමා කුඩා කාලයේ ශිල්ප හැදෑරුවේ වෛතුල්‍යවාදී භික්ෂුවක් වු සංඝමිත්තා නම් තෙරුන්වහන්සේගෙනි. එම නිසා වෛතුල්‍යවාදයට නැඹුරු වු අදහස් මෙතුමා තුළ විද්‍යාමාන විය. ගෝඨාභය රජුගේ වැඩිමහල් කුමරු වු දෙටුතිස් කුමරු ඇවෑමෙන් රජ බවට පත් මහසෙන් රජතුමා මගින් වෛතුල්‍යවාදය පැතිරවීමට සංඝමිත්ත තෙරණුවන්ට අවැසි විය.

මේ නිසා රජ වී නොබෝකලකින්ම මහාවිහාරයට විරුද්ධ කටයුතු කිරීමට රජු පොළඹවා ගත්තේය. සිය ගුරුවරයාගේ අදහස් ක්‍රියාවට නැංවූ රජතුමා මහායාන අදහස් පිළිගන්නා ලෙස මහාවිහාරික භික්ෂුන්ට අණකළේය. එසේ නොපිළිගන්නා භික්ෂූන්ට දන්දීම තහනම් කළ මෙතුමා එසේ දන්දුන් කෙනෙකුට කහවණු සියයක දඩයක් නියම කර රාජආඥාවක් ද පැනවීය. මෙකල භික්ෂූන්වහන්සේලා යැපුනේ දායකයන් විසින් පිරනමන ලද සිව්පසයෙනි. මේ නිසා අසීරු තත්ත්වයකට පත් භික්ෂූන්වහන්සේලා මහාවිහාරය හැරපියා මලය රටටත් රුහුණු දේශයටත් පිළිසරණ පතා ගියහ. මෙනිසා මහාවිහාරය අවුරුදු නවයක පමණ කාලයක් ජනශුන්‍යව පැවතිණි. මහාවිහාර භුමිය රජතුමා විසින් උඳු වැපිරීමට භාවිතාකළ බව සඳහන්වේ. රජුගේ ඇමතිවරයෙකු වු ඝෝණ ලවා සංඝමිත්ත භික්ෂුව මහාවිහාරය විනාශ කළ අතර මහාවිහාරයට අයත් ප්‍රතිමාවන් ද අභයගිරියට ගෙනයන ලදී. ලෝවාමහාපාය හා වෙනත් ගොඩනැඟිලි ද කඩා බිඳ දමන ලද අතර අභයගිරි විහාරය මෙකල දියුණුවේ අග්‍රස්ථානයට පත්විය.

රජතුමාගේ මේ ආගම් විරෝධි ක්‍රියා කලාපය වැසියාගේ සිත් කලකිරවන්නක් විය. රජුගේ ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ මේඝවර්ණ අභය මලය දේශයට පැණගොස් රජුට විරුද්ධව කැරැල්ලක් පවා ඇතිකළේය. රජුගේ කුඩා කළ සිට මිත්‍රයෙකු වූ මේඝවර්ණ අභය දිනක් රජු සමඟ සටනට පැමිණ සූරතිස්ස වැව අසල කඳවුරු ලා සිටි අතර එය දැනගත් රජතුමා ද වැවෙහි අනෙක් පස කඳවුරු බැඳගත්තේය. එදින මේඝවර්ණ තිස්ස ඇමතියාට මලය රටින් ලැබුණු රසවත් ආහාරයක් රජතුමා සමඟ බෙදාහදා ගනිමින් අනුභව කිරීමට සිත් වී රාත්‍රියෙහි රජතුමාගේ කඳවුර වෙත ගියේය. එහිදී පැරණි මිත්‍රත්වය මත දෙදෙනා සමඟි වී සටනට හේතුව විමසීය. මහාවිහාරය විනාශ කිරීම නිසා ඇතිවූ සිත්තැවුල යඑට හේතුව බැව් මේඝවර්ණ පැවසීය.

රජතුමා මහාවිහාරය නැවත ගොඩනැංවීමට ප්‍රතිඥා දුන්පසු සටන එතෙකින් නිමවිය. මහාවිහාරය විනාශයට මුල් වු ඝෝණ ඇමතියා ද සංඝමිත්ත භික්ෂුව ද ඝාතනයට ලක්විය. මෙසේ රජතුමා මහාවිහාරයට අනුග්‍රහ දැක්වීමට එකඟ වුව ද සාගලික නම් තවත් නිකායක භික්ෂුවක් වූ තිස්ස නම් භික්ෂුවකගේ අවශ්‍යතාව මත මහාවිහාර සීමාවේ පිහිටි ජෝතියවනය නම් උයනෙහි ජේතවනාරාමය නම් විහාරයක් කරවා තිස්ස නම් එම භික්ෂුවට පූජා කරන ලදී.

මහසෙන් රජතුමාගේ රාජ්‍යකාලය ලංකා ශාසන ඉතිහාසයේ දීර්ඝ කාලීන ගැටළු ඇති කිරීමට හේතුවිය. මෙතෙක් පැවති ථේරවාදි මහා විහාරයට අමතරව වළගම්බා රජතුමා ඇතිකළ අභයගිරිය මුල්කරගෙන ඇති වූ ධම්මරුචි නිකායත්, මහසෙන් රජතුමා ගොඩනැංවූ ජේතවනාරාමය මුල්කරගෙන සාගලික නම් තවත් නිකායක් මෙසේ ආරම්භ විය. මෙසේ මෙම නිකාය භේදය පොළොන්නරු යුගය දක්වාම ලංකාවේ භික්ෂූන් අතර පැවතුනි. ජේතවන චෛත්‍ය කර්මාන්තය ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාවේ අති දැවැන්ත නිර්මාණයකි.

මහසෙන් රජතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය අනුව එතුමාගේ දූරදර්ශි ක්‍රියාකලාපය මැනවින් පසක්වෙයි.මේ රජුගේ රාජ්‍ය කාලය ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැකිය. අතිවිශාල වැව් ඉදිකිරීම මෙකල ආරම්භ විය. මහසෙන් රජු වෑව් දහසයක් සහ පබ්බතන්න නමින් ඇළ මාර්ගයක් ද ඉදිකරන ලදී. මින්නේරි වැව, රත්මල්කඩ වැව, මාගල්ල වැව, මාමිණියා වැව, මොණර වැව, මහා දාරගල්ලක වැව, හුරුළු වැව, මහකනදරා සහ කවුඩුල්ල එතුමා විසින් කරවන ලද වාරි කර්මාන්ත සමහරකි. එතෙක් ලංකාවේ තනවන ලද විශාලතම වැව වු මින්නේරිය වැව එතුමාගේ ශේ‍්‍රෂ්ඨ නිර්මාණයකි. මෙය මණිහිරවාපී ලෙස පැරණි පාලි ග්‍රන්ථවල සඳහන් වන අතර මිණිහිර ලෙස තවත් ග්‍රන්ථ වල සඳහන්ව ඇත. අඹන් ගඟේ වේල්ලක් බැඳ මිණිපේ ඇළ මගින් උතුරු ප්‍රදේශයට ජලය ගෙන ගියේ වසභ රජු විසින්ය.

මිණිපේ ඇළ තවදුරටත් දීර්ඝකර තල්වතු ඇළ ඔස්සේ ජලය ගෙනගොස් මින්නේරි ඇළ පොෂණය කළ බව වංශ කථාවල සඳහන් වෙයි. මෙසේ මින්නේරිය වැව තැනවීම නිසා කෘෂිකර්මාන්තයටත් ජන ජීවිතයටත් ඇතිවූ විශාල සේවය නිසා මහසෙන් රජතුමා මින්නේරිය දෙවියෝ, හත්රජ්ජුරු බංඩාර නමින් අදත් රජරට ප්‍රදේශයේ වැඳුම් පිදුම් ලබයි.

(c) Shilpa Sayura Foundation 2006-2017