වසභ රජතුමා (ක්‍රි.ව. 67-111)
 

සුභ නම් දොරටුපාල රජුගෙන් පසු රජ බවට පත් වසභ හෙවත් වසහ රජතුමා ඉතිහාසයේ වාරිකර්මාන්තය කර වූ රජකෙනෙකු ලෙස ප්‍රසිද්ධය. ලම්බකර්ණ වංශයේ ප්‍රථම පාලකයා වු ඔහුගේ රාජ්‍ය කාලය හතළිස් හතර අවුරුද්දකි. මහාවංශයට අනුව ලක්දිව සියලු භික්ෂූන් රැස්කර සිවුරු පිරිකර අවුරුදු තුනකට වරක් පූජාකළ බව සඳහන්වේ. මහාවිහාරය ඉඳිකිරීම් රැසක් කරවන ලදී. අම්පාර ප්‍රදේශයේ ඇති නටඹුන් වී ඇති විහාරාරාම රැසකට වසභ රජතුමාගේ අනුග්‍රහය ලැබී තිබුණි. මෙම රජතුමාගේ සෙල්ලිපි යාපන අර්ධද්වීපය, කුරුණෑගල, අම්පාර, මඩකලපුව මෙන්ම රුහුණේ ද ලැබී ඇති නිසා විශාල ප්‍රදේශයක මෙතුමාගේ අණසක පැතිරී තිබෙන්නට ඇත.

වඩමරච්චි ප්‍රදේශයේ විෂ්ණු කෝවිලක ඉඩමක තිබී හමු වූ වල්ලිපුරම් රන් සන්නසට අනුව එම ප්‍රදේශය පාලනය කලේ වසභ රජුගේ ඇමතියෙකු විසින් බව පෙනේ. මේ අනුව ද වසභ රජුගේ පාලනය යාපනය ප්‍රදේශය දක්වා පැතිරී තිබුණි.ශ්‍රී ලංකාවේ වාරිකර්මාන්තයේ විශේෂ ස්ථානයක් වසභ රජතුමාට හිමිවේ. විශාල වැව් තැනවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ මෙතුමාය. එතුමා විසින් වැව් 11 ක් සහ ඇළවල් 12 කරවන ලද බව සඳහන්ය. දැනට හඳුනාගෙන ඇති වැව් අතර මහවිලච්චිය, මානාකැටිය, නොච්චිපොතාන සහ හිරිවඩුන්න වැව එතුමා විසින් කරවන ලදී. ඇළහැර ඇළ අඹන් ගඟ අසලින් බැඳි වේල්ලකින් ඇරඹී කිලෝමීටර් 48 ක් දුරට විහිදෙයි.

වසභ රජුගේ කාලයේ උම්මග්ග ජලමානිකා හෙවත් උමං ජලමාර්ග තැනූ බව සඳහන් වෙයි. අනුරාධපුරයේ රන්මසු උයනේ පොකුණුවලට තිසාවැවෙන් ජලය ගෙනගියේ මෙම උමං ජලමාර්ග ඔස්සේ බව අද සොයාගෙන ඇත. මෙතුමාගේ කාලයේ චීන අධිරාජයාට ත්‍යාග වශයෙන් ඇත්දත් සහ වෙනත් ත්‍යාග භාණ්ඩ රැගත් දූත පිරිසක් චීනයට යැවූ බව ද සඳහන් වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017