වළගම්බා රජතුමා (ක්‍රි.පූ. 89-77)
 

වට්ට ගාමිණී අභය නමින් ද හැඳින්වෙන මෙම රජතුමා දුටුගැමුණු රජුගේ සොහොයුරු වු සද්ධාතිස්ස රජතුමාගේ බාලම පුත්‍රයාය. මෙකල ද්‍රවිඩ බලය රටේ තැනින් තැන පැවතුණ අතර රජතුමා සිහසුනට පත් වී ටික කලෙකින්ම රුහුණේ නකුල නම් ග්‍රාමයෙන් තීය නම් බමුණෙකු රජුට විරුද්ධව කැරැල්ලක් ඇති කළේය. මෙකල විශාල සේනාවක් කැටිව ලංකාවට දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ නායකයින් හත්දෙනෙකු මහාථිත්ථ වරායට ගොඩබැස්සේය. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ ලංකා රාජ්‍යය ලබාගැනීමය.

උපායෙහි දක්ෂ වු වළගම්බා රජු තීය නම් බමුණාට හසුන් පත් යවා ද්‍රවිඩ ආක්‍රමණිකයින්ට විරුද්ධව සටන් කර ජය ලබාගතහොත් ලංකා රාජ්‍යය ඔහුට ලබාදෙන බව පැවසීය. මෙයින් උද්දාමය පත් තීය බමුණා ආක්‍රමණිකයින්ට විරුද්ධව සටනට ගොස් ජීවිතක්ෂයට පත්විය. මෙම ජයග්‍රණය නිසා ආක්‍රමණික හමුදාව අනුරාධපුර රාජ්‍යය ලබාගැනීමට වළගම්බා රජු සමඟ සටනට එළැඹියේය. මෙයින් වළගම්බා රජු පරාජයට පත් වු අතර එතුමා මලය රටට පසුබැස්සේය. ද්‍රවිඩ ආක්‍රමණිකයන් හත්දෙනා අතර සිටි පළමුවැන්නා පලායමින් සිටි වළගම්බා රජුගේ දෙවන බිසව වු සෝමාදේවිය රැගෙන ඉන්දියාවට පලාගිය අතර දෙවැන්නා අනුරාධපුරයේ තිබූ පාත්‍රා ධාතුන්වහන්සේ රැගෙන ඉන්දියාවට පලාගියේය. ඉතිරි පස්දෙනා වූයේ පුළහත්ථ, බානිය, පණයමාර, පිලියමාර සහ දාඨිය යන අයය. මොවුන් එකිනෙකා මරා ගනිමින් අවුරුදු 14 ක් අනුරාධපුරයේ රජකම් කළෝය.

අනුරාධපුරයෙන් පලායමින් සිටි වළගම්බා රජුගේ රථයෙහි රජ පවුලේ සියලු දෙනා විය. මෙයින් රජුගේ අගමෙහෙසිය වු අනුලා දේවිය ගැබ්බරින් යුතුව සිටි අතර, කුඩා කුමාරවරු දෙදෙනෙක්, රජතුමා සහ දෙවන බිසව වූ සෝමා දේවිය ද විය. ද්‍රවිඩයන් පිරිස රජු ලුහු බඳින බව දැනගත් සෝමාදේවිය රථයේ ගමන ඉක්මන් කරනු සඳහා රථයෙන් බැස්ස බවත්, එනිසා ඇය ද්‍රවිඩයන්ට නතුවූ බවත්, ඉන්පසු ඇය සිරකාරියක ලෙස දකුණු ඉන්දියාවට ගෙනගිය බවත් කියනු ලැබේ. සොළී රජතුමා සෝමාදේවිය දියණියක ලෙස සලකා සැලකුම් කළ බවත් දැක්වෙයි.

මෙසේ රජු ඇතුළු පිරිස පලායමින් තවත් ඉදිරියට යද්දී අනුරාධපුර නගර සීමාවේ තිබූ නිඝන්ඨාරාමයක සිටි ගිරිනම් ජෛන ආගමික නායකයෙකු 'මහා කළු සිංහලයා පලායන්නේ යැයි' කෑ ගැසීය. මලල රටට පලාගිය රජතුමා නොයෙක් වෙස්වලා ගනිමින් භික්ෂූන්වහන්සේලාගේ සහ ගම්ප්‍රධානීන්ගේ ආධාර ඇතිව රහසිගතව සේනා සංවිධානය කොට අනුරාධපුර රාජ්‍යය නැවත ලබාගැනීමට උනන්දු විය. මෙකල ඇති වු බැමිණිටියා නම් සාගතය නිසා භික්ෂූන්වහන්සේලාට පවා දානය සපයාගත නොහැකි වූ බව කියැවේ. බොහෝ භික්ෂූන් සිවුරු හැරගිය අතර සමහරුන් දිවිගලවා ගැනීමට විදේශවලට පවා ගියබව සඳහන් වේ. ඉතිරි වු භික්ෂූන් වනගතව කර කොල කා දිවි ගැටගසාගෙන ධර්මය ආරක්ෂා කළහ.

මලය දේශයේ ආරක්ෂක ස්ථානවල සැඟවෙමින් කල් ගතකල වලගම්බා රජතුමාට බොහෝ උපකාර කළේ කුපික්කුල තිස්ස හෙවත් මහාතිස්ස නම් තෙරුන්වහන්සෙ නමකි. පිඩුසිඟාගත් ආහාරවලින් රජතුමා සහ රජපවුලේ අය පෝෂණය කළේ මහාතිස්ස තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍ය පිරිස විසිනි. මෙසේ වනගතව සේනා සංවිධානය කළ වලගම්බා රජු සහ රජුගේ ඇමතියන් අතර ඇති වූ මතභේදයක් සමථයකට පත්කිරීමට ද මෙම තෙරුන්වහන්සේට සිදුවිය. මහා සේනාවක් පිරිවරාගත් වලගම්බා රජතුමා අනුරාධපුරයට පැමිණ දාඨිය නම් ද්‍රවිඩ පාලකයා මරා නැවත ලංකා රාජ්‍යය ලබාගත්තේය.

පාලන බලය ලබාගත් රජුගේ ප්‍රථම කාර්යය වූයේ ද්‍රවිඩ පාලන සමයේ පිරිහීමට පත් ව තිබූ රටත් සම්බුද්ධ ශාසනයත් නඟා සිටුවීමයි. එතුමා පලායද්දී රජතුමාට අපහාස කළ ගිරිනම් නිඝණ්ඨ පූජකවරයාගේ ආරාමය බිඳ එතැන පිරිවෙන් දොළොසකින් යුත් විහාරයක් තැනවීය. එම විහාරයට රජුගේ නමෙහි කොටසක් වන අභය සහ නිඝණ්ඨ පූජකවරයාගේ නම වූ 'ගිරි' යන කොටස ද එක්කර 'අභයගිරි' නමින් නම් තැබීය. ඉන්පසු රජතුමා සැඟවී සිටිය දී උපකාර කළ කුපික්කුලතිස්ස මහතෙරුන් ගෙන්වා අභයගිරි විහාරය පූජාකළේය. මෙය ශාසන ඉතිහාසයේ එක් භික්ෂු නමක් වෙනුවෙන් කරන ලද ප්‍රථම ආරාම පූජාවයි. මුලදී ආරාම පූජාකළේ සතර දිගින් වඩින සියලුම සංඝයා වහන්සේ උදෙසාය.

පසුකලෙක විනය විරෝධි ක්‍රියාවකට සම්බන්ධ වූයේ යැයි කුපික්කුලතිස්ස මහතෙරුන්වහන්සේ මහාවිහාරයෙන් තාවකාලිකව නෙරපා දැමීමට මහාවිහාර භික්ෂූන් කටයුතු කළ අතර මෙම ක්‍රියාව නිසා එම තීන්දුවට විරුද්ධ වු බහුලමස්සතිස්ස නම් ගෝලහිමි නමක් 500 ක් පමණ භික්ෂු පිරිසක් සමඟ මහාවිහාරය හැරදමා අභයගිරියට ගොස් නතර වූහ. බුදුදහම ලක්දිව පිහිට වු දා සිට මූලස්ථානය ලෙස පැවතියේ මහාවිහාරයයි. මෙසේ විශාල භික්ෂූන් පිරිසක් එක්වර අභයගිරියට යෑම නිසා එය තවත් බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය විය.

දඹදිව සිට වැඩම කළ ධම්මරුචි නම් තෙරණු කෙනෙකුගේ මූලිකත්වයෙන් ධම්මරුචි නම් නව නිකායයක් ද අභයගිරිය මුල්කරගෙන ඇතිවිය. මෙය ලංකා ශාසන ඉතිහාසයේ මුල්ම නිකාය භේදයයි.

දෙවන වරට රජකමට පත්වූ වලගම්බා රජු තමාට සැඟව සිටීමට උපකාර වූ දඹුල්ල, වාරණ ආදී ස්ථාන ගණනාවකම ලෙන්විහාර තනවා භික්ෂූන් වහන්සේලාට පූජාකරන ලදී. මෙතුමාගේ කාලයේ සිදුවූ වැදගත්ම ශාසනික කටයුත්ත වූයේ මාතලේ අළුවිහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීමයි.

(c) Shilpa Sayura Foundation 2006-2017