රුහුණු පුරයෙහි රජකළ කාවන්තිස්ස මහරජතුමා සහ විහාරමහා දේවියගේ වැඩිමහල් පුත් ලෙස උපන්, ගැමුණු කුමරු මුල දී හැදින්වූයේ 'ගාමිණී අභය' යන නමිනි. කාවන්තිස්ස රජුගේ කාලයේ අනුරාධපුර රාජ්‍යය එළාර නම් සොළී පාලකයා විසින් පාලනය කරන ලදී. කාවන්තිස්ස රජතුමාට අනුරාධපුර රාජ්‍යය ලබාගැනීමේ අපේක්ෂාව තිබූ නමුදු යඑට කල්වේලා නොවේ යයි හෙතෙම සිතීය. එසේ සිතා යුද්ධයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළේය.
රුහුණු රට කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කිරීම, අවශ්‍ය සේනා සම්පාදනය ආදී කටයුතු කාවන්තිස්ස රජතුමා විසින් කළ බව පෙනේ. පසුකලෙක සිය පුතුට අනුරාධපුරය ජය ගැනීමට අවැසි කටයුතු මෙසේ සම්පාදනය කළ අතර එළාර රජුගේ ධාර්මික භාවයත් වැසියාගේ සිත් දිනාගෙන කටයුතු කළ ආකාරය නිසා සටනක් කිරීම සඳහා ඉක්මන් නොවීය. ගැමුණු කුමරු කුඩා කාලයේ පියරජතුමා වු කාවන්තිස්ස රජු විසින් සේනාවට දසමහ යෝධයන් බඳවාගෙන පුහුණු කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. කාවන්තිස්ස රජතුමා තම රාජධානියේ උන්නතිය සඳහා වෙහෙසුන අතර සතුරා දුබල වනතුරු ඉවසිල්ලෙන් බලා සිටි බව පෙනේ. එනිසා මෙම කාර්යය ඉදිරියට ගෙනයාමේ පහසුව ගැමුණු කුමරු සතු වු බව සිතිය හැකිය.
ගැමුණු කුමරුට කුඩාකල සිටම රජරට රාජධානිය සොළීන්ගෙන් බේරාගැනීමේ අදහස ඇතිවිය. එළාර රජුගේ බලවත්කම දත් කාවන්තිස්ස රජතුමා සංඝයාවහන්සේ ඉදිරිපිට දී ගැමුණු කුමරු සහ බාල සොහොයුරු තිස්ස කුමරු යන දෙදෙනා කරුණු තුනක් සම්බන්ධව සපථකරවා ගැනීමට උත්සාහ දැරීය. ඉන් පළමුවැන්න වූයේ බුÀු සසුනට සහ සංඝයා වහන්සේලාට දිවිහිමියෙන් සැලකීමටය. දෙවැන්න වූයේ සොහොයුරන් දෙදෙනා අතර අසමගියක් නොවන අයුරින් කටයුතු කිරීමයි. තෙවැන්න වූයේ කිසවිටෙකත් සොළීන් සමඟ සටනට නොයන බවට පොරොන්දු වීමයි.

නමුත් ගැමුණු කුමරු සංඝයාවහන්සේ ඉදිරිපිට දී පියරජු දුන් බත් පිඩ මුවට නොගෙන ගොස් යහනේ වැතිර නිදන්නට විය. මේ බැව් දුටු මව්බිසව යහන් ගැබට ගොස් යහනේ වකුටු වී නිදන ගැමුණු කුමරුගෙන් ඉඩකඩ ඇති යහනේ වකුටු වී නිදන්නේ මන්දැයි පිළිවිසීය. එවිට ගැමුණු කුමරු ගේ පිළිතුර වූයේ 'දකුණින් ගොළු මුහුදය, උතුරින් හැඩිදෙමළුන්ය, කෙසේ අත්පා දිගහරින්න ද?' යන්නයි. මෙම ප්‍රවෘත්තියෙන් පෙනීයන්නේ ද කුඩාකල සිටම අනුරාධපුර රාජ්‍යය සොළීන්ගෙන් ගලවා ගැනීමේ අභිප්‍රාය ගැමුණු කුමරුන් තුළ තිබූ බවයි.
ගැමුණු කුමරු තරුණ වියට පත්වූ විට එළාර රජුට විරුද්ධව සටනට යාමට පියරජුගෙන් අවසර ඉල්වීය. එහිදී පියරජුගෙන් අවසරය නොලත් නිසා පියරජුට ස්ත්‍රී ආභරණ එවා කොත්මලයට පැන ගියේය. මෙම සිද්ධියෙන් පසු ගැමුණු කුමරු දුෂ්ඨ ගාමිණී හෙවත් දුටුගැමුණු ලෙස හැඳින්වූයේ යැයි සඳහන් වෙයි. එහිදී සේනා සංවිධානය කොට සොළීන් පැරද වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී. මෙකල බාලසොහොයුරු තිස්ස කුමරු දිගාමඩුල්ල ප්‍රදේශයේ යුවරජු තනතුර දරමින් එම ප්‍රදේශයේ කෘෂිකර්මික කටයුතු නංවමින් සිටින අතර කාවන්තිස්ස රජතුමා මියගියේය. රජුගේ අභාවයත් සමඟම රුහුණේ මාගමට ආ තිස්ස කුමරු රාජ්‍ය පාලනය භාරගත්තේය. මෙය දැනගත් ගැමුණු කුමරු මාගමට පැමිණ සටනක් කොට රාජ්‍ය බලය ලබාගත් බවත් එහිදී සංඝයාවහන්සේ මැදිහත් වී සොහොයුරන් අතර සාමය ඇති කළ බවත් සඳහන් වෙයි.
ඉන්පසු රජරට අල්ලා ගැනීමේ මහා සංග්‍රාමය දියත්කළ දුටුගැමුණු රජතුමා සිය මෑණියන් වු විහාර මහා දේවියත් දසමහ යෝධයන් ගෙන් යුත් චතුරංගනී සේනාවත් භික්ෂූන් පන්සිය නමක් ද පිරිවරාගෙන සුභ මොහොතින් මහා සංග්‍රාමය සඳහා නික්මුණේය. මාගම සිට බුත්තල දක්වා පැමිණි සේනාව එහිදී කඳවුරු බැඳ ඉන්පසු මහවැලි ගංතෙර පිහිටුවා තිබූ ද්‍රවිඩ බලකොටු එකින් එක ජයගත්තේය. ඉන්පසු අවසාන බලකොටුව වූ විජිතපුර බලකොටුව ජයගැනීම සඳහා කටයුතු සම්පාදනය කළේය.

මෙහිදී එළාර රජු සමඟ මුහුණට මුහුණ ලා ද්වන්ද සටනට නියුතු වූ දුටුගැමුණු රජතුමා ඉන් ජය ලැබීය. මරණයට පත් වු එළාර රජතුමාට ශේ‍්‍රෂ්ඨ රජෙකුට දැක්වූ සියලු බුහුමන් දක්වා ආදාහනය කොට එම භෂ්මාවශේෂ නිධන්කර සෑයක් තැනවීය. එම සෑය පසුකර යන සෑම අයෙකුම දෝලාවකින් හෝ අසුපිටකින් ගමන් ගන්නේ නම් ඉන් බැස ගමන් කළ යුතු බවටත්, පංචතුර්ය නාද පවත්වමින් යන පෙරහැරක් නම් ඒ සියලු නාදයන් නවත්වා නිශ්ශබ්දව ගමන් කළ යුතු බවටත් රාජ නියෝගයක් ද පැනවීය. ප්‍රතිවාදියාගේ වුවත් උසස් ගුණධර්ම වලට ගරු කළ යුතු බවට දුටුගැමුණු රජතුමා මෙසේ ආදර්ශයෙන් වැසියාට කියා පෑහ.

මෙසේ දීර්ඝ යුද සංග්‍රාමයකින් පසු රජ වු දුටුගැමුණු රජතුමාගේ කාර්යය වූයේ බුදුදහම නගාසිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමයි. එතුමා විසින් යුද සංග්‍රාමයට පෙර පවසන ලද 'මේ මාගේ ව්‍යායාමය හුදෙක් රජසැප පිණිස නොව බුදුදහමේ චිරස්ථිතීය උදෙසාය' යන වැකිය සනාථ කරමින් මිරිසවැටිය, රත්න ප්‍රාසාද හෙවත් ලෝවාමහපාය, රුවන්වැලි මහසෑය හෙවත් මහා ස්ථූපය යන සිද්ධස්ථාන කරවන ලදී. මේ හැර වෙහෙර විහාර 89 ක් කර වූ බව ඉතිහාසයේ සඳහන් වන අතර රෝහල් කිහිපයක් ඉදිකර වූ බව සඳහන්වේ. මහියංගනයේ සොරබොර වැව කරවූයේ දුටුගැමුණු රජතුමා බව ජනප්‍රවාදයේ එයි.

