මහා ඇලෙක්සැන්ඩර් රජුගේ අධිරාජ්‍යය
 

The Empire of Alexander the Great
ක්‍රී.පූ 431 සිට 404 දක්වා කාලයේ ඇතිවුන පෙලොපොනෙසියන් යුදයෙන් ග්‍රීසියට උතුරින් පිහිටි මැසිඩොනියන් රාජ්‍යය බලයෙන් වැඩෙමින් තිබුනි. ඔවුන් ග්‍රීක භාශාවට සමාන භාෂාවක් කතා කළ අතර ඇතන්ස්හි ඔලිම්පික් ජයග්‍රහණද අත්කර ගත්හ. ක්‍රි.පූ 359 දී බලයට හා කීර්තියට අභිමතාර්තයක් හා යුද හා දේශපාලන හැකියාවාන් සහිතවූ පිලිප් නම් නායකයකු මැසිඩෝනියාවේ රජ විය.


පිලිප් මුලදී ග්‍රීසියේ එදිරිවාදියකු වූ අතර ප්‍රාණ ඇපකරුවකව හා සිරකරුවකුව සිට ග්‍රීක අධ්‍යාපනයක් ලද්දෙක් විය. ඔහුට ග්‍රීක ඉතිහාසඥහෙරඩෝටස්ගේ ඒකාබද්ධ ග්‍රීසියක් මගින් ආසියාව විජයග්‍රහණය පිළිබඳ අදහස් හා පසුව ඒවා දියුණු කළ ඉසෝක්‍රේට්ස් ගේ අදහස් ගැන දැනුමක්ද තිබෙන්නට ඇත.

ඔහු පළමුව ඔහුගේ රාජධානිය හා හමුදාව නැවත සැලසුම් කර සවිමත් කිරීමට කටයුතු කළ අතර මෙතුවක් පැවති අශ්ව යුද රථ ප්‍රධාන කොටගත් සටන් ක්‍රමය වෙනුවට අශ්වාරෝහක නායකත්වයෙන් යුත් ගුලියක් මෙන් කඩා වදින කුඩා පාබල කණ්ඩායම් ප්‍රහාර ක්‍රමයද නිර්මාණය කළේය. අශ්වාරෝහක හමුදාවල නිර්මාතෘ පිලිප් රජුය. සේනාවේ මුලම සිටියේ පාබල සේනාව වන අතර අශ්වාරෝහකයෝ සතුරු හමුදාව තුලට රිංගා අසුන්ට හානිකර සතුරන් බිමට දමා පාබල හමුදාව සමග සටනට සැලසූහ. යුධ රථ වල යෙදූ අශ්වයින්ට විදි දුනුවායන් කෙරින් යුධරථ අඩපණ කෙරිණි.

නව යුධ ක්‍රමයකට පුහුණුව ලත් තම හමුදාව සමග පිලිප් තෙසෙලිය සිට ග්‍රීසිය දක්වා තම සීමා පුළුල් කළ අතර ක්‍රී.පූ. 338 චැරෝනියා හිදී ඇතන්ස් හා මිතුරු හමුදා සමග කළ සටනින් මුලු මහත් ග්‍රීසියම අල්ලා ගති.


පසුව ඇතිකර ගත් සම්මුතිය අනුව සියලු ග්‍රීක නගර පිලිප් රජු තම පර්සියාවට එරෙහි ග්‍රීක මැසිඩෝනියා රාජ්‍ය හවුලේ හමුදා නායකයා ලෙස (Græco-Macedonian confederacy against Persia) තොරාගති.

ක්‍රි.පූ 336 දී ඔහු ආසියාව ආක්‍රමණය කළ අතර ඝාතනයට ලක්විණි. ඔහු දෙවන බිසවක් පාවාගැනීම නිසා උරණ වූ ඔහුගේ මැස්ඩෝනියානු බිසව ඔලිම්පියා එනම් ඇලෙක්සැන්ඩර් රජුගේ මව විසින් වසදී ඔහු ඝාතනය කළ බව විශ්වාස කෙරේ.

පිලිප් රජුගේ පුත් වූ 20 හැවිරිදි ඇලෙක්සැන්ඩර් කුමරු මේ වනවිට අශ්වාරෝහක හමුදාවේ අණදෙන නිළධාරියා වූ අතර ලයිසියම් හි ඇරිස්ටෝටල්ගේ ශිෂ්‍යකු වීමෙන් ලබාගත් දැනුම් සම්භාරයකින්ද යුක්ත විය. ඔහුගේ පියා විසින් පර්සියාව පරාජය කිරීමට සංවිධානය කළ ශක්තිමත් ග්‍රීක හමුදාවක්ද ග්‍රීසිය සතුවිය. ග්‍රීක ප්‍රධානීන් විසින් ආසියාව විජයග්‍රහණයේ කිරීමේ කාර්යය නිම කිරීමට ඇලෙක්සැන්ඩර් කුමරු තෝරාගැනිණි.

ඇලෙක්සැන්ඩර් කුමරු රජවන විට ඉතා ලාබාල වියේ සිටි නිසා ඔහුගේ රාජධානිය තුළ විවිධ කැරලි හටගත්තේය. නමුත් අති දක්ෂ රණශුරයෙකු වු ඇලෙක්සැන්ඩර් ඉතා පහසුවෙන් සියල්ල මර්දනය කළේය.

ඔහු වසර දෙකක් පුරා මැසිඩෝනියාවේ හා ග්‍රීසියේ තම බලය තහවුරු කරගැනීමේ කටයුවල යෙදුනු අතර ක්‍රි.පු. 334 දී පර්සියානු අධිරාජ්‍යය ආක්‍රමණය කරමින් යුද උපක්‍රම මගින් තම කුඩා හමුදාවෙන් විශාල පර්සියානු හමුදා පරාජය කරමින් මුහුදු තීරය දිගේ එක් එක් නගර අල්ලා ගත්තේය.

එයට හේතුව වූයේ ඔහු එක වරායක් හෝ සතුරා අත තිබුණහොත් පර්සියානු නෞකා හමුදු එහි ගොඩ බැස ඔහුගේ සන්නිවේදන හා සැපයුම් කපා හැරිය හැකි බැවිනි. ඔහු විසින් අත්කරගත් නගර පර්සියානු ජාතීන් විසින් පෙර අත්කරගත් නගර වූ හෙයින් පර්සියානුවන්ට වඩා උගත් ග්‍රීකයින් එම නගර වාසීන් විසින්ද පිළිගන්නට ඇතැයි යන්නද මෙහිදී සිතිය හැක.

ක්‍රි.පූ 333 දී ඔහු පර්සියාවේ 3 වන දාරියස් ගේ විශාල හමුදාවක් ඉසුස් හිදී පරාජය කළේ ඊට වසර 150 කට පෙර පර්සියානු අදිරද සෙරෙක්සස් ග්‍රීකයන් අතින් ලද පරාජය නැවත දාරියස්ට සිදුකරමීණී. මෙවර ආක්‍රමණිකයා වූයේ ග්‍රීසිය යි.
සිඩන් නගරය ඇලෙක්සැන්ඩර්ට යටත් වූ අතර ටයරයේ හා ගාසාවේ ද සටන් සිදුවිනි.

ක්‍රි.පූ. 332 වනවිට ඇලෙක්සැන්ඩර් පර්සියානුවන්ට හිමිවී තිබුණු ඊජිප්තුවේ බලය අල්ලා ගති. මෙම කාලය වන විට ශ්‍රී ලංකාවේ විජයාගමණයෙන් වසර 90 ක් ගතවී තිබුණු බවද සිතීම යෙහෙකි.

ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්රාටා හා ඇලෙක්සැන්ඩ්‍රියා නමින් ගොඩබිමින් ලඟා විය හැකි හා කැරළි ඇති කිරීමට අපහසු ශක්තිමත් නගර දෙකක් අළුතින්ම ඉදි කළේය. ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන වූ ෆිනීසියන් නගරවල වෙළඳාම මෙම නගර වලට යොමු කළ අතර මධ්‍යධරණියේ නව බලස්ථානය ඇලෙක්සැන්ඩ්රියාව විය. මේ අතර ඇලෙක්සැන්ඩර් තම මාර්ගයේ කුඩා නගර ගණනක් ද ඉදිකළ අතර ඒවා සියල්ල එකිනෙකට පෑහුණි. ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ පුස්තකාල, කෞතුකාගාර, නෘත්‍යයශාලා, මාලිගා සහ නාන තටාක ඉඳිකර තිබුණි. ඔහු විසින් එම නගරයේ ඉදිකරන ලද ප්‍රදීපාගාරය අඩි 400 පමණ උස් වු අතර එය ඔහුගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස හැඳින්වෙයි.

මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කාලයේ ග්‍රීක සංස්කෘතියේ පිබිඳීමක් ඇතිවිය. විශේෂයෙන්ම චිත්‍ර මූර්ති කලාවන්ට ධනවතුන්ගේ අනුග්‍රහය ලැබුණි. ඔහුගේ අධිරාජ්‍යය පුරා නව නගර 70 ක් පමණ ඉඳිකළේය. ඇලෙක්සැන්ඩර් රජුගේ කාලයේ ග්‍රීක භාෂාව ඉතා ජනප්‍රිය ප්‍රචලිත භාෂාවක් විය. ග්‍රීක සාහිත්‍යය මෙන්ම දර්ශනයද ඊගෙනීමට ශිෂ්‍යයෝ ඉමහත් කැමැත්තක් දැක්වූහ.

ක්‍රි.පු 331 දී ඊජිප්තුවේ සිට බැබිලොනය ආක්‍රමණය කළ අතර නටඹුන් වූ සුමේරියානු අග නගරය නිනේවා අසල අබේලාහිදී පර්සියානු අධ්රාජ්‍ය 3 වන දාරියස් සමග කළ තීරණාත්මක යුද්ධයකින් ජය ලැබුවේය. ඇලෙක්සැන්ඩර්ගේ මැසිඩෝනියානු අශ්වාරෝහක හමුදාව අති විශාල පර්සියානු යුද රථ හමුදාව තුලට රිංගා එහි ගාමක බලය අඩපණ කළ අතර පාබල හමුදා ජයග්‍රහණය සම්පූර්ණ කළහ. ග්‍රීක සෙබලුන් 4000 ක් විසින් දසගුණයකින් යුක්ත පර්සියානු හමුදාවක් පරාජය කළ බව සිතයි. දාරියස් උතුරට පලාගියේය.

ඇලෙක්සන්ඩර් තම අධිරාජ්‍ය පුළුල් කරමින් බැබිලෝනයටද, පර්සියානුවන්ගේ අගනගර සූසාටද, පර්සේපෝලිස්ටද ගොස් මධු උත්සවයකට පසු රජුන්ගේ රජු නමි විරුදාවලිය ලත් පර්සියානු අධිරාජ්‍යයා වූ දාරියස්ගේ මාලිගාවට ගිනි තැබුවේය.ඉන් අනතුරුව ඇලෙක්සැන්ඩර් දාරියස් ලුහුබැඳ උතුරට ගියේය. ඇලෙක්සැන්ඩර්ට දාරියස් හමුවන විට, දාරියස් තමන්ගේම මිනිසුන් අතින් මරාදමා තිබුණි. ඇලෙක්සැන්ඩර් කැස්පියන් මුහුද වටේ තර්කිස්තානයේ බටහිර කඳුවැටිය දක්වා ගියේය.

අනතුරුව ඇලෙක්සැන්ඩර් මධ්‍යම ආසියාවේ කාබුල් නගරය පසුකරමින් කයිබර් දුර්ගය හරහා පර්සියානු අධිරාජ්‍යයේ කෙලවර වූ ඉන්දියාවේ බටහිර කඳු වැටිය දක්වාම පැමිණියේය. එහිදී මැස්ඩෝනියානු හමුදා අලි සේනාංක සහිත ඉන්දු රජවරුන් හා මහා සටනක් ඇතිවිය. ඉන් ඇලෙක්සැන්ඩර්ගේ හමුදා වලට බරපතල හාණි පැමිණුනි. මහා ඇලෙක්සැන්ඩර්ගේ ඉන්දියාව ආක්‍රමණය මේ අනුව අසාර්ථක විය. පසුව ඔහු නැව් හමුදාවක් ගොඩ නැගූ අතර මුහුදින් ඉන්දියාව යාත්‍රා කළ අතර පසුව ඉන්පසු නැවත අරාබි මුහුද ඔස්සේ යාත්‍රා කොට බෙලුචිසාන් මුහුදු තීරය දිගේ නැවත ක්‍රි.පූ 324 දී සූසාවට ආවේය. කාලගුණ හරස්වීමත් දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුවීමත් නිසා මෙම අවස්ථාව මඟහැරී ගියබව ඉතිහාසඥයින්ගේ මතයයි.

තවත් වසර හයක් ගෙවීමෙන් පසුව ඔහු තම අධිරාජ්‍යය ඒකාබද්ධ කර සැලසුම් සහගත පාලනයකට ගෙන ඒමට සූදානම් වූයේය. ඔහු පර්සියානු රජ පෙළපතේ පරිදි නිල රජ ඇඳුමක් ඇඳ, ඔටුනු පැළඳ පර්සියානු සුරූපියක් විවාහ කරගති.

මෙය ඔහුගේ මැසිඩෝනියානු අණදෙන නිලධාරීන්ට නුරුස්සන්නක් හා ඊර්ශ්‍යා සහගත විය. ඔහු පර්සියානු හා බැබිලෝනියානු තරුණියනි හා ඔහුගේ නිළධාරීන් අතර විවාහ සිදු කළේය. ඔහු ඒවා හැඳින්වූයේ කළේ බටහිර හා නැගෙනහිර විවාහ ලෙසිනි. නමුත් ඒවායේ ප්‍රතිඵල දැකීමට ඔහු ජීවත් නොවිණි. බැබිලෝනයේදී අධිකව බීමත් වූ ඔහු නොසුව වෙන උණක් සෑදීමෙන් ක්‍රි.පූ. 323 දී මරණයට පත්විය. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යායාගේ වයස අවු 33 ක් විය.

ඔහුගේ මරණයත් සමග ග්‍රීක අධිරාජ්‍යය කැබලි වලට කැඩුණි. ඔහුගේ හමුදා නායකයන් එක් එක් පෙදෙස අයිති කර ගත්හ. සිලේසස් පැරණි පර්සියන් අධිරාජ්‍යයේ විශාල ප්‍රදේශයක් තබාගත් අතර ටොලමි ඊජිප්තුව අල්ලා ගත්තේය. ඇන්ටිගොනස් මැසිඩෝනියාව සුරක්‍ෂිත කර ගත් අතර අන් ප්‍රදේශ අස්ථායීව තිබිණි. දේශීය බලය ලබාගැනීම් හා උතුරෙන් පැමිණි බාබේරියානු මංකොල්ලකරුවන් ගේ ක්‍රියා නිසාත් රෝමානුවන් බලවත් වීම නිසාත් ග්‍රීක අධිරාජ්‍යය ක්‍රමයෙන් බිඳ වැටුණි.

 

(c) Shilpa Sayura Foundation 2006-2017