ඇතන්ස් නගරයේ ස්වරණමය යුගය
 

සෙරෙක්සස්ගේ අසාර්ථක පර්සියානු ආක්‍රමණයට පසුව එළඹි ශත වර්ෂය ග්‍රීසියේ විභූතිය නැවීමට හේතු විය. ක්‍රි.පූ 431-404 අතර කාලයේ සිදුවූ පෙලොපොනීසියන් යුදයෙන් මැසිඩෝනියන් වරු ග්‍රීසියේ බලවතුන් බවට පත්විණි. මෙකළ ග්‍රීසියේ සිදුවූ බුද්ධිමය සංවර්ධනය හේතු කොටගෙන කලා හා අනිකුත් ශාස්ත්‍රද නිර්මාණශීලිත්වයද දියුණු වූයේ අවට ලෝකයටද ඒවා දායාද කරමිනි.

ඇතන්ස් නගරය බුද්ධිමය දියුණුවේ කේන්ද්‍රය විණි. පර්සියානුවන් අළු කළ ඇතන්ස් නගරය තිබුණාටත් වඩා හොඳින් ගොඩ නැගූ ඔවුහු ග්‍රීක සමාජයේ නිදහස් අදහස් සඳහා වටිනාකමක්ද ඇති කළහ. පෙරික්ලීස් (ක්‍රි.පූ 466 - 428) නම් ඔද තෙද හා නිදහස් මතධාරී පඬ්වරයා ඇතන්ස් නගරය හා නව ග්‍රීක සමාජය ගොඩනැගීමේ ලා මුල් විය. අදත් ඇතන්ස් නගරයට යන්නකුට එම මහා උත්සාහයේ නටබුන් දැකගත හැක. ඇතන්ස් නගරය නැවත ගොඩනැගුණේ ගඩොලින් පමණක් නොවේ, එහි සමාජය බුද්ධිමය, සංස්කෘතිමය, ආර්ථික හා දේශපාලන වශයෙන්ද ගොඩ නැගී අසල්වැසි ග්‍රීක නගර වලට ආදර්ශයක් විය.

පෙරික්ලීස් තවදුරටත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ඉදිරියට ගෙන ගියේය. පාලනය සඳහා මණ්ඩලයක් පත්කිරීම, ජූරි සභාවක් සහිත නඩු විසදීම, දුප්පත් පුරවැසියන් පවා රාජ්‍ය පාලනයට හවුල් කරවා ගැනීම සහ ඇතන්ස් නගරය අලංකාරවත් අන්දමින් ගොඩනැංවීම, සුප්‍රසිද්ධ ඇතීනා දෙව්මැදුර ගොඩනැංවීම මෙකල සිදුවූ වැදගත් සිද්ධීන්ය.

පෙරිලීක් කාලයේ දී ඇතන්ස් හි ඇතිවූ අසීමිත නිදහස නිසා ද ග්‍රීක දාර්ශනිකයන්ට සිය නිදහස් අදහස් ප්‍රකාශ කළ හැකිවිය. සොක්‍රටීස් මෙකල බිහිවූ ශේ‍්‍රෂඨ දාර්ශනිකයෙකි.

(c) Shilpa Sayura Foundation 2006-2017