මහමෙවුනා උයන සංඝයා වහන්සේට පූජාකළ දින දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග කුමරුගේ බිසව වු අනුලා දේවිය මහණ වීමට අවසර ඉල්ලා සිටියාය. විනය නීති අනුව කාන්තාවන් පැවිදි කිරීමට භික්ෂූන්ට අකැප විය. ඒ නිසා ඉන්දියාවේ එවකට මහණ වී සිටි මිහිඳු හිමියන්ගේ සොහොයුරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ මෙරටට ගෙන්වා ගතයුතු බවට උපදෙස් ලැබුණි. මෙම කටයුත්ත සඳහා දේවානම්පියතිස්ස රජතුමා විසින් අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිසක් නැවත ඉන්දියාවට යවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස අශෝක රජතුමාගේ දියණිය වු සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස බුද්ථගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රැගෙන ලංකාවට වැඩම කළහ.
ක්‍රි.පූ. 247 උඳුවප් මස පුරපසළොස්වක දින රජතුමා සහ පිරිස උතුරේ ජම්බුකොලපට්න හෙවත් දඹකොළපටුනට ගොස් කරවටක් දියට බැස මුහුදු මගින් පැමිණි යාත්‍රාව අසලට ගොස් ශ්‍රී මහ බෝධීන්වහන්සේ පිළිගත් බව මහාවංශයේ සඳහන් වෙයි. ඉන්පසු පුදපූජා පවත්වා මහපෙරහරින් අනුරාධපුරයට වැඩමවාගෙන අවුත් මහමෙවුනා උයනෙහි රෝපණය කරවන ලදී. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස සමඟ කුල 18 කට අයත් පිරිස පැමිණි බව සඳහන්වේ. මොවුන් මුලදී ශ්‍රී මහා බෝධීන්වහන්සේට ආවතේව කටයුතු සඳහා පැමිණි අය වුවත් පසුකාලීනව ඔවුහු කුල ක්‍රමය මත රැඳුණු කර්මාන්ත කරගෙන යන පිරිසක් බවට විකාශනය වූහ.
ඉන්පසු කුඹල් කුලය, රන්කරු කුලය, බෙර වයන්නන්ගේ කුලය ආදී වශයෙන් මෙම කර්මාන්ත සහ කුල එකිනෙකට සමාන්තරව වර්ධනය විය. භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා දානශාලා, ලැගුම්හල්, පොහොය ගෙවල් ආදි ගොඩනැගිලි සංකීර්ණ මහමෙවුනා උයනේ ඉදිකරන ලදී. විශේෂයෙන්ම මෙරටට සංවිධානාත්මක වූ අවිහිංසාවාදී ආගමක් හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ දේවානම්පියතිස්ස රජතුමාටය. ධතුමා බුදුදහම වැළඳගැනීමත් සමඟ රටවැසියෝ ද එතුමා අනුගමනය කර බුදුදහම වැළඳ ගත්හ. ඉන්පසු බුදුදහම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට පත්විය.


