තුන්වැනි ධර්ම සංගායනාව පැවැත්වූයේ පැළලුප්නුවර අශෝකාරාමයේ දී ය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ ප්‍රත්‍යන්ත දේශ කරා ධර්ම දූත පිරිස් පිටත්කර හැරීමයි. මේ අනුව අශෝක රජතුමාගේ පුත්‍රයා වු මහින්ද හෙවත් මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛපිරිස් විසින් ලක්දිවට බුදුදහම ගෙන එන ලදී. මිහිඳු හිමියන් ප්‍රමුඛ ඉට්ඨීය,උත්තිය, සම්හල සහ භද්දසාල යන රහතුන් වහන්සේලාත් සුමන සාමණේර සහ භණ්ඩුක උපාසක යන පිරිස මෙම ධර්ම දූත කණ්ඩායමට අයත් වූහ. ක්‍රි.පූ. 247 දී මිහිඳු මාහිමි ප්‍රමුඛ පිරිස ඉන්දියාවෙන් පිටත්ව පොසොන් මස පුර පසළොස්වක දින මිහින්තලේ මිස්සක පර්වතයට වැඩම කළහ.
මෙහි දී දේවානම්පියතිස්ස සහපිරිවරින් දඩකෙලියේ යෙදී සිටි අතර එතැනදී මිහිඳු හිමියන් මුණගැසීමෙන් පසු ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම හමුවීම සිදුවිය. රජතුමා තෙරුවන් සරණ ගොස් බුදුදහම වැළඳගත් අතර මිහිඳු හිමියන් රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්ති පදෝපම සූත්‍රය ආශ්‍රයෙන් ධර්මය දේශනා කළහ. මේ අනුව දේවානම් පියතිස්ස රජතුමා ලංකා ඉතිහාසයේ ප්‍රථම බෞද්ධ රජතුමා ලෙස සඳහන් කළ හැකිය.
මුටසීව රජතුමා විසින් තනවන ලද අලංකාර මහමෙවුනා උයන සංඝයා වහන්සේට සඟසතු කොට පූජාකළ අතර එම උයනෙහි සංඝයා වහන්සේට ප්‍රයෝජනවත්වන විහාරාම ඉඳිකරවන ලදී. ඉන්පසු මහමෙවුනා උයන ලක්දිව බෞද්ධ සංස්කෘතියේ උරුමයක් බවට පත් වු මහාවිහාර සංකීර්ණ මූලස්ථානය බවට පත්විය. මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කොට ථූපාරාම චෛත්‍ය ඉදිකරවන ලදී. ලංකා ඉතිහාසයේ සඳහන් වන ප්‍රථම ස්ථූපය ලෙස ථූපාරාම චෛත්‍ය සඳහන් කළ හැකිය.


