දේවානම් පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 250-204)
 

පණ්ඩුකාභය රජතුමාගෙන් පසු ලක්දිව රජවූයේ එතුමාගේ පුත් මුටසීව කුමරුය. මුටසීව රජතුමාගේ දෙවන පුත් වශයෙන් රජ පැමිණි දෙවන පෑතිස් හෙවත් දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍යකාලයේ ඉන්දියාවේ රජකළේ අශෝක රජතුමාය. මෙම දෙදෙනා අතර දීර්ඝකාලීන මිත්‍රත්වයක් තිබුණු බවට තොරතුරු හෙළිවී ඇත. දෙදෙනා මුණගැසී නොතිබුණ ද තෑගිබෝග හුවමාරු කරගත් බව පෙනේ. දේවානම්පියතිස්ස රජතුමා රාජ්‍යත්වයට පත්වූ පසු ස්වකීය මිතුරා වු ඉන්දියාවේ අශෝක රජතුමා වෙත තෑගිබෝග සහිත පිරිසක් යැවූ බව සඳහන් වේ.

මෙම පිරිසේ නායකත්වය අරිට්ඨ නම් රජුගේ බෑණා වන කුමරෙකු විසින් දරන ලදී. මෙම පිරිස පැළලුප්නුවරදී අශෝක රජු මුණගැසී එම තෑගි භාණ්ඩ පිරිනමා රජුගේ සුභපැතුම් පිරිනැමීය. පෙරලා පැමිණි පිරිසට රාජාභිෂේකය සඳහා අවශ්‍ය රාජකකුධ භාණ්ඩ හෙවත් මඟුල් කඩුව, සේසත්, මිරිවැඩි සඟල සහ දක්ෂිණා වෘත ශංඛයක් ආදී වශයෙන් අභිෂේකයට අවශ්‍ය භාණ්ඩ අශෝක රජතුමා විසින් මෙහි එවන ලදී. ඒ අනුව නැවත රාජාභිෂේක උත්සවය පැවැත් වු දේවානම්පියතිස්ස රජතුමා තමාගේ නම වු තිස්ස යන නාමයට මුලින් දෙවියන්ට ප්‍රිය හෙවත් 'දේවානම් පිය' යන නාමය භාවිතා කරන ලදී.

 

 

මෙය එවකට ඉන්දියාවේ අශෝක රජතුමා විසින් භාවිතා කරන ලද ප්‍රශස්ති නාමයක් විය. එය මෞර්ය පෙළපතේ රජවරු භාවිතා කළ විරුදනාමයක් ද විය. එමෙන්ම අශෝක රජතුමා විසින් තමා තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වන නිසා බුදු දහම වැළඳගෙන ශ්‍රද්ධාවත් රජතුමෙකු වන්නැයි දේවානම්පියතිස්ස රජතුමාගෙන් අයැද සිටියේය. මෙයින් ප්‍රීතියට පත් දේවානම්පියතිස්ස රජතුමා බුදුදහම වැළඳ ගැනීමට කැමති විය. පසුව අශෝක රජ ඉල්ලීමෙන් මිහිඳු මාහිමියන් වැඩම කරවා දේවානම්පියතිස්ස රජතුමාට ලංකාවට බුදු දහම හඳුන්වා දිණි.

දේවානම්පියතිස්ස රජතුමා අවුරුදු 40 කාලයක් රාජ්‍යත්වය දැරූ අතර එතුමාගෙන් පසු ඔහුගේ බාල සොහොයුරු උත්තිය රජබවට පත්විය.

(c) Shilpa Sayura Foundation 2006-2017