උතුරු ඉන්දියාවේ සිට මාර්ග 3 ක් ඔස්සේ ආර්යයන් ලංකාවට පැමිණි බව ඉතිහාසය සාක්ෂි දරයි. ඒවානම්..
1. බටහිර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ මන්නාරම අවට ප්‍රදේශ කරා පැමිණි කණ්ඩායම, එය විජයාවතරණය ලෙස හැදින්වේ.
2. නැගෙනහිර ඉන්දියාවේ සිට ආර්ය කණ්ඩායම් ශ්‍රී ලංකාවේ නැගෙනහිර තොටුපලවල් කරා පැමිණීම, උදාහරණ ලෙස භද්දකච්චායන ඇතුළු පිරිස ගෝකණ්නයට එනම් ත්‍රිකුණාමළයට ගොඩබැසීම.
3. උතුරු ඉන්දියාවේ සිට ගොඩබීම් මාර්ගය ඔස්සේ පැමිණ ලංකාවේ උතුරු දිග වෙරළට ගොඩබැසීම, සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු පිරිස දඹකොළ පටුනට ගොඩබැසීම.
ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම ආර්ය කණ්ඩායම ලෙස සැලකෙන්නේ විජය ඇතුළු 700 පමණ වු පිරිසයි. ඔහු කුවේණියගේ ආධාරය ඇතිව එහි සිටි ගෝත්‍රික ජනයා පරාජය කොට පාලකයා බවට පත්විය. විජය සමඟ පැමිණි ආර්ය කණ්ඩායම ගංඟා මිටියාවත් ආශ්‍රිතව මුල් ජනාවාස පිහිටුවා ගත්හ.

එසේ තම්මැන්නාව, උපතිස්සගාම, විජිතගාම, උරුවේලගාම යන ගම් පිහිටුවා ගත්හ. කුවේණිය සරණපාවාගත් විජයට දරුවන් දෙදෙනෙක් විය. ඔවුන්ට රාජ්‍ය උරුමයක් නොවූ නිසා විජය ඉන්දියාවෙන් බිසවක් ගෙන්වාගත් බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඉන්දියාවෙන් ගෙන්වාගත් බිසවට දරුවන් නොමැති වූ නිසා විජයගෙන් පසු රාජ්‍ය උරුමයට කෙනෙකු නොවීය.
මේ නිසා විජය සොහොයුරා වෙත දූතයන් යවා ඔහු මෙහි ගෙන්වා ගැනීමට උත්සාහ කළ නමුත් ඔහු එවකට සිංහපුරයේ රජවී සිටියේය. නමුත් සිය සොහොයුරාගේ වචනය ඉවත නොදමා ඔහුගේ පුත් පණ්ඩුවාසදේව මෙහි එවීය. එතුමා සමඟ තිස්දෙනෙකුගෙන් යුක්ත වූ පිරිසක් මෙහි පැමිණි බව සඳහන්වේ. ඔහු පැමිණීමට පෙර විජය රජු මියගොස් සිටි අතර පාලනය සිදුකළේ උපතිස්ස ඇමතියා විසිනි.
